Showing posts with label මගේ නිරීක්ෂණ. Show all posts
Showing posts with label මගේ නිරීක්ෂණ. Show all posts

Thursday, March 14, 2013

රත්නපුර මහ සමන් දේවාලයේ පිහිටි පෘතුගීසි නිර්මාණය - Stone Sculpture of Portuguese Captain & Jaffna King


කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන තිබෙන ඓතිහාසික අතින් වැදගත් වෙන විජාතික නිර්මාණ පිළිබඳව e-අටුවාවේ පසුගිය ලිපි කීපයෙන්ම අවදානය යොමු කෙරුණු නිසා අදත් සූදානම කොළඹ නගරයෙන් බැහැරව පිහිටලා තියෙන වැදගත් පෘතුගීසී නිර්මාණයක් පිළිබඳව කරුණු කියන්න.  

ඊතලෙන් දක්වා තිබෙන්නේ මේ නිර්මාණය පිහිටා තිබෙන ස්ථානය

මේ නිර්මාණය පිහිටලා තියෙන්නේ ප්‍රකට රත්නපුර මහ සමන් දේවාල පරිශ්‍රයේ. ප්‍රධාන දොරටුවෙන් දේවාල භූමියට ඇතුල් වුණාම දිග් ගෙයට ඇතුල් වීම සඳහා තිබෙන පඩි පෙළට දකුණු පසින් තිබෙන දිගු ගොඩනැගිල්ලේ තමා මේ නිර්මාණය තියෙන්නේ. අඩි 4 ක් පමණ උස අඩි 2 ක් පමණ පළල කළුගල් පුවරුවක සංග්‍රාමීය අවස්ථාවක් දැකගන්න ලැබෙනවා වගේම ඊට පහළින් පෘතුගීසි බසින් ලියපු වාක්‍ය පේළි 4 ක් පමණ දැකගන්න ලැබෙනවා.

මේ නිර්මාණය කුමක්ද කියලා කිව්වොත් රණවිරුවන් වෙනුවෙන් ස්මාරක ඉදි කරන එක වර්තමානයේ සුලභව දැකගන්න පුලුවන්. තිස් වසරක් පුරා ලංකාවේ තිබුණු ත්‍රස්තවාදය නිමා කරපු රණවිරුවන් සිහිපත් කරන්න ත්‍රස්තවාදය පැතිර තිබූ ප්‍රදේශවල වගේම අනෙක් ප්‍රදේශවලත් තිබෙන රණවිරු ස්මාරක ඔයාලත් දැකලා ඇතිනේ. මේ නිර්මාණයත් ඒ ආකාරයෙන්ම වසර 620 කට පමණ කලින් පෘතුගීසීන් විසින් පිහිටවපු රණවිරු ස්මාරකයක්. 

පෘතුගීසී නිර්මාණයක් මෙතනට ආවේ කොහොමද කියන ගැටලුවත් එක්ක මේ නිර්මාණය සම්බන්ධ ඉතිහාසය පිළිබඳව මුලින්ම කතා කරමු. ලංකාවට පෘතුගීසීන්ගේ ආගමනයත් එක්ක ක්‍රමයෙන් කෝට්ටේ රාජධානිය ඇතුළේ තමන්ගේ ආදිපත්‍ය පතුරුවන්න ඔවුන් සමත් වෙනවා. 

අවසානයේදී කෝට්ටේ අවසන් පාලකයා වුණු ධර්මපාල රජතුමා කතෝලික දහම වැළඳගෙන දොන් ජුවන් පෙරිය බණ්ඩාර නමින් බෞතිස්ම වෙනවා පමණක් නෙමේ තමන්ගෙන් පස්සේ රාජ්‍යයට උරුමකරුවෙක් නැති නිසා 1580 අගෝස්තු 12 වෙනිදා තෑගි ඔප්පුවක් මඟින් කෝට්ටේ රාජධානිය පෘතුගාල රජතුමාට පවරනවා.

කැලණි රාජ මහා විහාරය විනාශ කරන පෘතුගීසීන්

මේ සිදුවීම වගේම 1597 මැයි 27 ධර්මපාල රජතුමා මියයාමත් එක්ක කෝට්ටේ රාජධානියේ එකම උරුමකරුවා වීමත් එක්ක තමන්ගේ බලය හැකිතාක් අනෙක් ප්‍රදේශවලට ව්‍යාප්ත කරන්න ඔවුන් කටයුතු කරනවා වගේම කතෝලික දහම ව්‍යාප්ත කරන්නත් කටයුතු කරනවා. 

1580 ඉදන් වගේම ඊටත් කලින් ඉදන්ම පෘතුගීසීන් දියත් කරපු කතෝලික දහම ව්‍යාප්ත කිරීම වගේම බෞද්ධ හින්දු ආගමික ස්ථාන කඩා බිඳ දැමීම යටතේ රත්නපුර මහ සමන් දේවාලයත් කඩා බිඳ දැමෙනවා. ඒ ස්ථානයේ පෘතුගීසීන් තමන්ගේ බලකොටුවක් වගේම ශාන්ත සැල්වදෝර් නමින් පල්ලියකුත් ඉදි කරනවා.  

ඒ කාලෙදී සමන් දෙවියන්ගේ දේවාභරණ ආරක්ෂාවට තැන්පත් කර තැබුණා කියන්නේ බොල්තුඹේ සුමන සමන් දේවාලයේ. මුල්ම e-අටුවා සටහන වෙන් වුණේ බොල්තුඹේ සුමන සමන් දේවාලය ගැන කතා කරන්න.  

බොල්තුඹේ සුමන සමන් දේවාලය

පසුව දෙවන රාජසිංහ සමය වෙද්දී නැවත වරක් පෘතුගීසී බලකොටුව වගේම පල්ලිය බිඳ දමලා රත්නපුර මහ සමන් දේවාලය ඉදි කළත් මේ පෘතුගීසි නිර්මාණය ඒ ස්ථානයේම තිබෙන්නට හැරියා කියලා හිතන්න පුලුවන්. 


අඩි 4 ක් පමණ උඩ අඩි 2 ක් පමණ පළල මේ නිර්මාණය කළුගලින් නිමවූවක්. ඉහළින්ම ගල් කට්ටයක් කපා තිබෙනවා. ඊට පසුව පෘතුගීසී සොල්දාදුවෙක්ගේ නිල ඇඳුමකින් සැරසුණු අයෙක් අසිපතක් සහ පලිහක් දරාගෙන සිටින ආකාරයත් ඔහුගේ පයට පෑගි සිටින ධෝතියක් වැනි ඇඳුමකින් සැරසුණු උඩුකය නිරුවත් හිසේ ජටාවක් වැනි යමක් පැළැඳ සිටින අයෙක් දැකගන්න පුලුවන්. 

බිම වැටී සිටින පුද්ගලයාගේ අසිපත සහ පලිහ පසෙකින් වැටී තිබෙන ආකාරය පෙනෙනවා. ඔහු දකුණු අතින් පෘතුගීසී සොල්දාදුවාගෙන් එල්ල වන පහරක් වළකන ආකාරයක් පෙනෙනවා.


ඊට පහළින් පහත දැක්වෙන පෘතුගීසී ලේඛනය දැකගන්න පුලුවන්.  

COM-ESTA-RENDI ESTE-HA 2-3
ANNOS-QUANDO-NA-INDIA-E
HA-16-QUE-SIRVO-DE-CAPITAO
-E-AOQUE-OS-PEIS-VEDES-HE-
O-REI-DE  IAFANAPATAO-EU-
SIMEN-PINHAO-C-VENCI

එහි අර්ථය විදිහට අරගෙන තිබෙන්නේ 

"මින් (මේ කඩුවෙන්) මම මොහු මර්දනය කළෙමි. මා ඉන්දියාවට පැමිණ දැන් වසර 23 කි. ඉන් වසර 16 ක් කපිතාන්වරයෙක් ලෙස සේවය කළෙමි. මා පාමුල වැටී සිටිනු ඔබට පෙනෙනුයේ යාපා පටුනේ රජතුමාය. මම සයිමන් පිඤ්ඤෝ ඔහුව පරාජය කළෙමි"

යාපනයේ ආර්ය චක්‍රවර්ති මාළිගාව

මේ කතාව මොකක්ද කියලා පැහැදිලි කළොත් 15 වන සියවසේ මැද භාගයේ විතර ඉදන් ආර්ය චක්‍රවර්තීන් නමින් හඳුන්වපු පාලකයන් යටතේ යාපනයේ ස්වාධීන පාලනයක් ඇතිවෙනවා. පෘතුගීසීන් මුල් කාලයේ යාපනය ගැන එතරම් අවදානයක් යොමු නොකළත් පස්සේ ඒ ගැන අවදානය යොමු කරන්න පටන් ගත්තේ 16 වන සියවසේ මුල භාගයේ යාපනයේ පාලකයා වුණු සංකිළි යාපන රාජ්‍යයට අයිති වෙරළාසන්න ප්‍රදේශ ආසන්නයේ විනාශ වෙන පෘතුගීසී භාණ්ඩ නෞකාවල භාණ්ඩ අත්පත් කරගැනීම සිදු කිරීමත් එක්ක.  

මේ නිසා 1543 දී සංකිළිට විරුද්ධව මාර්ටින් අපොන්සු ද සූසා යටතේ ආක්‍රමණයක් දියත් කරනවා. මේ සටන නිසා පෘතුගීසී පාලනය සංකිළි පිළි අරගෙන කප්පම් ගෙවන පාලකයෙක් බවට පත් වෙනවා. ඒත් ඊට පස්සේ අවුරුද්දේදී ෆ්‍රැන්සිස් ක්ෂේවියර් පියතුමා මන්නාරමේ ධීවරයන් පිරිසක් බෞතිස්ම කිරීමත් එක්ක සංකිළි ඒ ප්‍රදේශවාසීන්ට නැවත වරක් පැරණි ආගමට එන්න කියලා නියෝග කරනවා. මේකත් එක්ක ආයි පාරක් පෘතුගීසීන් එක්ක ගැටුමක් ඇතිවෙනවා. 

මේ විදිහට කටයුතු සිද්ධ වෙද්දී සංකිළිගෙන් පස්සේ රජ වෙන එයාගේ පුතා පුවිරාජ පණ්ඩාරම්ට විරුද්ධව කාසි නයිනර් කැරළි ගහලා පාලන බලය ලබාගන්නවා. ඊට පස්සේ එයාව බලයෙන් පහ කරලා පෘතුගීසි සහය මත පෙරිය පුල්ලේ කියන පුද්ගලයා චෙගරාජසේකරන් කියලා රජවෙනවා. 

සංකිලි රජු තම පිය රජු සහ සොයුරන් සමඟ

ඔහුගෙන් පස්සේ නැවත රජවෙන පුවිරාජ පණ්ඩාරම් කැලිකට් පාලක සැමොරින්ගේ උදව් අරගෙන පෘතුගීසීන් අල්ලාගෙන මන්නාරම ප්‍රදේශයට පහර දෙනවා වගේම කතෝලිකයන්ටත් හිරිහැර කරනවා. මේ නිසා 1591 දී සයිමන් පිඤ්ඤෝ කියන පෘතුගීසී කපිතාන්වරයා යටතේ සේනාවක් යාපනය ආක්‍රමණය කරලා පුවිරාජ පණ්ඩාරම මරා දාලා නැවත වරක් යාපනයේ පෘතුගීසී බලය පිහිටවනවා. 

ඒත් සෘජුවම යාපනයේ බලය තමන්ගේ අතට නොගත්තු පෘතුගීසීන් ඒ වෙද්දී ජීවත් වෙලා හිටිය පෙරියපුල්ලේ හෙවත් චෙගරාජසේකරන් රජතුමාගේ පුත්‍රයාව හෙන්දර්මනසිංහ නමින් රාජ්‍යත්වයට පත් කරනවා. 

ආර්ය චක්‍රවර්තීන්ගේ රාජකීය ලාංඡනය

ඉතින් 1591 දී සිද්ධ වුණු යාපන ආක්‍රමණයේදී පෘතුගීසි කපිතාන් සයිමන් පිඤ්ඤෝ යාපනයේ රජතුමා වුණු පුවිරාජ පණ්ඩාරම්ව යටත් කරගන්න ආකාරය තමා මේ ආකාරයෙන් සමන් දේවාල පරිශ්‍රයේ තිබෙන පෘතුගීසි නිර්මාණයෙන් දැක්වෙන්නේ. 

සයිමන් පිඤ්ඤෝ සිදුකරන ලද වීර ක්‍රියාව සිහිපත් වෙන්න මේ නිර්මාණය කරවලා රත්නපුරයේ පිහිටි ඔවුන්ගේ පල්ලියේ තැන්පත් කරවන්න සයිමන් පිඤ්ඤෝම හරි එහෙමත් නැත්නම් පෘතුගීසී බලධාරීන් හරි කටයුතු කරන්න ඇති. 

මේ සයිමන් පිඤ්ඤෝ ගැන විස්තර කියන ෆර්නාඕ ද ක්වේරෝස් රචනා කරපු Conquista Temporale Espiritual da Ceylao, Ordenado pelo Pedre Fernao de Queyroz Da Companhia de Jesus, Da Provincia De Goa, Com muytas outras proveytozas noticias pertencentes a dispocicao e gouverno de Estado de India කෘතියේ ඔහු දක්වන්නේ 

"....පෘතුගාලයේ පුන්හේටාවල ඉපැදී, ක්සෙරෙස් හා ටාගුස් හි මුහුදුවල පන්නරය ලබා සිටි මේ රණශූරයා ඒ වන විට සතළිස් වියේ පසු වූ, ඉතා ශක්ති සම්පන්න සිරුරකට හිමිකම් කියූ අයෙක් විය. රාජතාන්ත්‍රිකයෙකුට වඩා ඔහු රණශූරයෙක් විය. එක ඇසක් අහිමිව තිබුණේ සටනකදී ලන්ස පහරක් එල්ල වීම නිසාය. හිස වටකුරුය. සිරුර දුඹුරු පැහැතිය. පාංශු දේහදාරීය. දිගු යටි රැවුල තඹ පැහැතිය. විසල් උඩු රැවුලක්ය. මනා ශාරීරික ශක්තියකින් යුතු වූ ඔහු නිරතුරුවම අවදිව සටනට සූදානම්ව සිටියේය. කිසිම විටෙක පසුපසට නොඟිය ඔහු දිවයිනේ වඩාත්ම ප්‍රචලිත සටන් ක්‍රමය වූ සැඟවී සිර පහර එල්ල කිරීමේ සහජ හැකියාවක් ඇත්තෙක් විය. ඔහු නිර්ලෝභීය. කතාබහ ඉතා අඩුය. කෝපාවිෂ්ඨ වූ විට රාක්ෂයෙකු බඳුය. තම ආගමට මහත් ලැදිය. එමෙන්ම ඔහුගේ විශේෂිත ලක්ෂණයක් වූයේ ඔහු කාමුකයෙක් නොවීමයි....."

කෝට්ටේ රාජධානියේ ධර්මපාල රජතුමා ජීවත්ව සිටි සමයේ ඉදන්ම සිංහල හමුදාවේ වික්‍රමසිංහ හෙවත් සේනාධිපති ධූරය දරන්නේ සයිමන් පිඤ්ඤෝ. ඒ වෙද්දී කෝට්ටේ රාජධානියේ උසස් නිලයක් දරපු එකම පෘතුගීසි ජාතිකයා විදිහටයි ඔහු සැලකෙන්නේ.

ඒ වගේමයි මීට පෙර Arts Degree එකක් කළ මුල්ම සහ අවසාන සිංහල රජතුමා කියන සටහනේදී කිව්ව විදිහට සීතාවක රාජසිංහ රජතුමාගේ අනුප්‍රාප්තිකයෙක් වුණු නිකපිටියේ බණ්ඩාර කුමාරයාගේ සහෝදරිය වුණු දෝන මරියා පෙරේරාව විවාහ කරගන්නේ සයිමන් පිඤ්ඤෝ. ඒක නිසා ලංකාවේ සිහසුනටත් ඔහුට හිමිකමක් තිබුණු බව කියන්න පුලුවන්. 

 මායාදුන්නේ රජ පවුලේ පවුල් සටහන

1603 දී සිදුවුණු බලන සටන වගේ උඩරට I විමලධර්මසූරිය රජතුමා සමඟ පෘතුගීසීන් සිදු කරපු ප්‍රබල සටන්වලදීත් සයිමන් පිඤ්ඤෝ තමන්ගේ දායකත්වය ලබාදීලා තියෙනවා. ඒ අවස්ථාවේදී රජතුමා සයිමන් පිඤ්ඤෝ තමන්ගේ පාර්ශවයට ගන්න උත්සහ කළත් උපායශීලී වුණු පිඤ්ඤෝ රජතුමාව රවට්ටලා රජතුමාව මරා දමන්න කටයුතු කළත් ඒ උපාය අසාර්ථක වුණු බව තමා කියවෙන්නේ. 

නැවතත් ප්‍රධාන කතාවට ආවොත් මේ පෘතුගීසි නිර්මාණය පෘතුගාල සොල්දාදුවෙක් සිංහල භටයෙක්ව පරාජය කරන ආකාරය කියලා වගේම සිංහල සොල්දාදුවෙක් පෘතුගාල භටයෙක්ව පරාජය කරන ආකාරය කියලාත් මත ඉදිරිපත් වෙලා තිබෙනවා. 


ඒත් මේ නිර්මාණය දිහා සැලකිල්ලෙන් බලද්දී සිටගෙන සිටින පුද්ගලයාගේ හිස් වැස්ම, මුහුණ පුරා වැවුණු රැවුල, සන්නාහය, දකුණු අතේ තිබෙන අසිපත වගේම පැළඳගෙන ඉන්න බූට් යුගල නිසා මේ සිංහල සොල්දාදුවෙක් නොව පෘතුගාල සොල්දාදුවෙක් බව පැහැදිලියි. ඒ වගේමයි පහතින් තිබෙන විස්තරයෙන් වගේම ක්වේරෝස් සයිමන් පිඤ්ඤෝ ගැන කරන විස්තරයෙන් මේ සයිමන් පිඤ්ඤෝ බව සිතාගන්න පුලුවන්. 

කතාව ලියන්න පාදක කරගත්තේ

පෝල් ඊ. පීරිස්ගේ ලංකාව - පෘතුගීසි යුගය, ටිකිරි අබේසිංහයන්ගේ පරංගි කෝට්ටේ, එස්.ජී. පෙරේරා පියතුමාගේ ලංකා ඉතිහාසය - පෘතුගීසී යුගය සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ලංකා ඉතිහාසය - තුන්වන කොටස කියන කෘති

Saturday, December 29, 2012

වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාව - Statue of Queen Victoria

 වික්ටෝරියා මහා රාජිනිය

කොළඹ නගරයේ පිහිටලා තියෙන ලංකාවේ අවසන් රජතුමා සමඟ සම්බන්ධ වෙන අවසන් සිහිවටනය විදිහට නම් කරන්න පුලුවන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සිරකර තැබූ සිර මැදිරිය ගැන කලින් සටහනෙන් අපි කතා කළා. අදත් e-අටුවාවේ බලාපොරොත්තුව කොළඹ නගරයේ තිබෙන තවත් ඓතිහාසික නිර්මාණයක් පිළිබඳව කතා කරන්න. 

අද කතා කරන නිර්මාණය ගැන කතා කරන්න ප්‍රවේශයක් ගත්තොත් මහා බ්‍රිතාන්‍යය ඇතුළු එක්සත් රාජධානියේ මහා රාජිනිය වශයෙන් 1837 ඉදන් 1901 වෙනකම් රාජ්‍යය පාලනය කරපු වික්ටෝරියා මහා රාජිනිය බොහොම ප්‍රසිද්ධ චරිතයක්.

වසර 63 ක් තමන්ගේ පාලනය අරගෙන ගිය වික්ටෝරියා මහා රාජිනිය වැඩිම කාලයක් මහා බ්‍රිතාන්‍යය ඇතුළු එක්සත් රාජධානිය පාලනය කරපු පාලිකාව විදිහටත් ඒ වගේමයි ලෝක ඉතිහාසයේ වැඩිම කාලයක් රාජ්‍යයක් පාලනය කරපු පාලිකාව විදිහටත් වාර්තාවක් පිහිටවලා තිබෙනවා.


ඉතින් වික්ටෝරියා මහා රාජිනිය ගැන මේ විදිහට කරුණු කීපයක් කතා කළේ ඇය සම්බන්ධ වෙන ඓතිහාසික නිර්මාණයක් ලංකාවේ පිහිටලා තිබෙන නිසා. ඒ ඇයගේ දියමන්ති ජුබිලිය සිහිපත් කරමින් නිර්මාණය කෙරුණු ඇගේ ප්‍රතිමාව. 

ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් වෙස්මිනිස්ටර් ඇබේහි පැවැත්වුණු දේව මෙහෙය

වික්ටෝරියා මහා රාජිනිය තමන්ගේ පාලන කාලය අවුරුදු 50 ක් පසු කිරීමත් එක්ක ස්වර්ණ ජයන්තිය පවත්වන්න නියම කරනවා 1887 ජූනි 20 වෙනිදා. ඒ සැමරුමත් එක්ක මහා බ්‍රිතාන්‍යයේ ලොකු උත්සවයක් පවත්වනවා වගේම ඊට සමගාමී මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතවලත් විවිධාකාර සැමරුම් උත්සව පවත්වනවා. 

ශ්‍රීමත් ආතර් හැමිල්ටන් ගෝර්ඩන්

ඒ වෙද්දී ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වුණු ශ්‍රීමත් ආතර් හැමිල්ටන් ගෝර්ඩන් කොළඹ රැජිණ මන්දිරය [ආණ්ඩුකාර නිල නිවස] ආසන්නයේ අක්කර 4 භූමි භාගයක් තමන්ගේ පුද්ගලික මුදලින් මිළට අරගෙන විවිධාකාරයේ අලංකාර ගස් රැසක්ම මේ උද්‍යානයේ රෝපණය කරලා අලංකාර උද්‍යානයක් බවට පත් කරනවා. මේ උද්‍යානය "ගෝර්ඩන් උද්‍යානය" වශයෙන් හැඳින්වෙනවා.

 ගෝර්ඩන් උද්‍යානය - දකුණු පස කෙළවරේ ඇත්තේ වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාවයි

1897 ජූනි 20 වෙනිදා තමන්ගේ පාලන කාලය අවුරුදු 60 ක් වීමත් එක්ක දියමන්ති ජුබිලිය පවත්වන්න වික්ටෝරියා මහා රාජිනිය තීරණය කරනවා. ඒ යටතේත් කලින් ස්වර්ණ ජයන්තියේදී සිදුවුණා වගේම මහා බ්‍රිතාන්‍යයේ වගේම යටත් විජිතවලත් උත්සව ගණනාවක් පැවැත්වෙනවා.

දියමන්ති ජුබිලි සැමරුම් උළෙල

ඒ හා සමගාමීව නිර්මාණය කෙරුණු වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාවක් 1902 අවුරුද්දේදී එවකට ලංකාවේ ආණ්ඩුකාර ශ්‍රීමත් ජෝශප් වෙස්ට් රිජ්වේගේ මූලිකත්වයෙන් ලංකාවට ගෙන එනවා. ඒ ප්‍රතිමාව ස්ථාපනය කරන්නේ වික්ටෝරියා මහා රාජිනියගේ ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් නිර්මාණය කෙරුණු ගෝර්ඩන් උද්‍යානයේ.  1902 ජූනි 25 වෙනිදා මේ ප්‍රතිමාව නිරාවරණය කෙරෙනවා.

1980 දක්වාම මහජනතාවට විවෘත පොදු උද්‍යානයක් විදිහට ගෝර්ඩන් උද්‍යානය පැවතුණත් 1980 පස්සේ ඒක ජනාධිපති මන්දිරයේ කොටසක් බවට පත් කිරීමත් එක්ක උද්‍යානයට ඇතුල්වීම සීමාසහිත වෙනවා.


ගෝර්ඩන් උද්‍යානයේ ස්ථාපනය කරලා තිබුණු වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාව 2006 වර්ෂයේදී එතැනින් ඉවත් කරලා ජාතික කෞතුකාගාර භූමියේ ස්ථාපනය කෙරෙනවා. වර්තමානයේ ජාතික කෞතුකාරයට ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වෙලා දකුණු පසට වන්නට තිබෙන ආපනශාලාව ආදිය පසු කරලා ජාතික කෞතුකාගාරයේ පිටුපසට වෙන්න තිබෙන අනෙක් ප්‍රවේශය ආසන්නයට ගියාම ඒ ප්‍රතිමාව ස්ථාපනය කරලා තිබෙනවා දැකගන්න පුලුවන්. 

ප්‍රතිමාව ගැන විස්තර කළොත් මාබල්වලින් නිර්මාණය කර ඇති මේ ප්‍රතිමාවේ පීඨිකාවද සහිතව සම්පූර්ණ උස මීටර් 4 ½ ක් පමණ වෙනවා. වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාවේ උස මීටර් 1½ ක් පමණ වෙනවා.


ප්‍රතිමාව ස්ථාපනය කරලා තිබෙන්නේ සෘජුකෝණාස්‍රාකාර පීඨිකාවක් මත. පීඨිකාව ඉදිරිපස මුහුණතේ ඉහළින්ම බ්‍රිතාන්‍ය රාජකීයයන්ගේ සංකේතය වෙන ශාන්ත එඩ්වඩ්ගේ ඔටුන්න කැටයම් කර තිබෙනවා. 

 ශාන්ත එඩ්වඩ්ගේ ඔටුන්න

ඊට පහළින් V R I කියන ඉංග්‍රීසි අකුරු තුන දැකගන්න පුලුවන්. ඒ අකුරු තුනෙන් අර්ථවත් කෙරෙන්නේ ලතින් බසින් "Victoria Regina et Imperatrix" වාක්‍යය. එහි අර්ථය තමා වික්ටෝරියා, මහා රාජිනිය සහ අධිරාජිනිය කියන එක.

ඊට පහළින් Diamond Jubilee Memorial එනම් දියමන්ති ජුබිලි ස්මාරකය යන්න සටහන් කරලා තිබෙනවා.
වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාව ගැන කතා කළොත් අසුන් ගෙන සිටින ඉරියව්වෙන් තමා ප්‍රතිමාව නිර්මාණය කරලා තිබෙන්නේ. අසුන පොළොවට සවිවන ස්ථානයේ මල් ලියකම් ඇති අතර අසුනේ ඉහළ කොටසේ සත්ව රූ දෙකක්ද ඒවා මැදි කොටගෙන ඉහළට විහිදුණු ත්‍රිකෝණාකාර මුදුනක් තිබෙනවා. 

ඒ මුදුනේ බ්‍රිතාන්‍ය කිරුළ නිර්මාණය කර තිබෙනවා. ත්‍රිකෝණාකාර මුදුන දෙපසට වන්නට ඇති සත්ව රූප දෙක වෙන්නේ බ්‍රිතාන්‍ය රාජකීය ලාංඡනයේ දැක්වෙන කිරුළු පළන් සිංහයා සහ කඟවේනායි.



මේ අසුනේ පිටුපස පැත්තට වන්නට වික්ටෝරියා මහා රාජිනිය භාවිතා කළ රාජකීය ලාංඡනය දැකගන්න පුලුවන්. එහි ඉහළින්ම විහිදෙන පටියක Hon Y Soit Qui Mal Y Pense යන වැකිය දක්වා තිබෙනවා.  නපුරු දෑ සිතන්නා පිළිබඳ ලැජ්ජා විය යුතුයි වගේ අර්ථයක් තමා ඒකෙන් කියවෙන්නේ.


ඊට පහළින් තිබෙන පලිහ කොටස් 4 කට බෙදලා විවිධාකාර රූ සටහන් දක්වා තිබෙනවා. එහි ඉහළ වම් පස සහ පහළ දකුණු පස තේජස් ලීලාවෙන් සිටින සිංහයන් තිදෙනාගෙන් එංගලන්ත රාජ්‍යයත් ඉහළ දකුණු පස කොටුකර තිබෙන නොදැමුණු ලීලාවෙන් ඉන්න සිංහයාගෙන් ස්කොට්ලන්ත රාජ්‍යයත් පහළ වම් පස තිබෙන හාප් සංගීත භාණ්ඩයෙන් අයර්ලන්ත රාජ්‍යයත් නිරූපණය කෙරෙනවා.

මේ පලිහට පහළින් ඉහළින් තිබුණු ආකාරයටම විහිදෙන පටියක Dieu et Mon Droit යන වැකිය දැක්වෙනවා. දෙවියන් වහන්සේ සහ මගේ අයිතීන් වගේ අර්ථයක් තමා ඒකෙන් කියවෙන්නේ.

මෙහි වම් පසින් ඇත්තේ වික්ටෝරියා මහා රාජිනිය පැළඳි Imperial State ඔටුන්නයි.
එහි කොටස් හා මැණික් භාවිතා කර 1937 ඔටුනු පළන් ජෝර්ජ් රජතුමා නව Imperial State ඔටුන්න නිර්මාණය කරවූ අතර අද දක්වා බ්‍රිතාන්‍ය රජුන් පළඳින්නේ එම ඔටුන්නයි.

Imperial State ඔටුන්න පළඳාගෙන ශරීරයම වැහෙන්න ගවුමකුත් හිසේ සිට පහළටම තියෙන වේල් එකකිනුත් වික්ටෝරියා මහා රාජිනිය සැරසී ඉන්නවා. ඇගේ මුහුණේ තිබෙන තේජස්බව මනාව කැපී පෙනෙන්න ප්‍රතිමාව නිර්මාණය කරලා තිබෙනවා. 

 Sceptre with the Cross

ඇගේ දකුණු අතේ Sceptre with the Cross [කුරුසය සහිත රාජ සෙංකෝලය]/ St. Edward's Sceptre [ශාන්ත එඩ්වඩ්ගේ රාජ සෙංකෝලය]/ Sovereign's Sceptre [මහා රාජිණියගේ රාජ සෙංකෝලය] කියන නම්වලින් හඳුන්වන රාජ සෙංකෝලය දැකගන්න පුලුවන්.මහා බ්‍රිතාන්‍යයේ රජුන් හෝ රාජිණියන් අභිෂේක කරන අවස්ථාවේදී ඔවුන් දකුණු අතේ තබාගන්නේ මේ රාජ සෙංකෝලය තමා. 

 Sceptre with the Cross හි ඉහළ කොටස

මේ සෙංකෝලයේ ඉහළින්ම කුරුසයකුත් ඊට පහළින් ලෝකයේ දෙවෙනියට විශාලම දියමන්තිය වුණු කුලිනන් දියමන්තියත් දැකගන්න පුලුවන්. සම්පූර්ණයෙන්ම රනින් නිම කරපු මේ යෂ්ටියේ විවිධාකරයේ වටිනා මුතු මැණික් අල්ලා තිබෙනවා.

මේ රාජ සෙංකෝලයෙන් නිරූපණය කෙරෙන්නේ ක්‍රිස්තියානි ධර්මය යටතේ මහා රාජිනියට තමන්ගේ රාජධානියේ ඇතුළේ තිබෙන ලෞකික බලය.
   
 Sovereign's Orb

වික්ටෝරියා මහා රාජිනියගේ වම් අතේ තිබෙන්නේ Sovereign's Orb [මහා රාජිනියගේ ගෝලය] නමින් හඳුන්වන ගෝලාකාර නිර්මාණයත් සම්පූර්ණයෙන්ම රනින් නිම කරලා වටිනා කියන මුතු මැණික් අල්ලලා තිබෙන්නේ. එහි ඉහළ කොටසේ කුරුසය දැකගන්න පුලුවන්. මහා බ්‍රිතාන්‍යයේ රජුන් හෝ රාජිනියන් අභිෂේක කරන අවස්ථාවේදී ඔවුන් වම් අතේ තබාගන්නේ මේ ගෝලය තමා.

මේ ගෝලයෙන් නිරූපණය කරන්නේ ලෝකය පුරා විහිදී පවතින ජේසු ස්වාමිදරුවාණන්ගේ ආදිපත්‍යය වගේම ක්‍රිස්තියානි දහමේ ආරක්ෂකයා විදිහට මහා රාජිනියගේ භූමිකාව වගේම එංගලන්ත සභාවේ උත්තරීතර නායකයා විදිහට මහා රාජිනියට තිබෙන බලය. 

 ඉන්දියාවේ කල්කටා නුවර පිහිටි වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාව

ලංකාවේ පිහිටි වික්ටෝරියා මහා රාජිනියගේ  ප්‍රතිමාවට සමාන ප්‍රතිමා වගේම විවිධාකාර ඉරියව්වලින් යුක්ත වෙන වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමා රැසක් මහා බ්‍රිතාන්‍යයේ වගේම බ්‍රිතාන්‍ය යටත් විජිත වශයෙන් පැවති රාජ්‍යවලත් දැකගන්න පුලුවන්. ඉන් එකක් විදිහට අපේ අසල්වැසියා වෙන ඉන්දියාවේ කල්කටා නුවට වික්ටෝරියා මහා රාජිනිය වෙනුවෙන් නිර්මාණය කරල තියෙන ගොඩනැගිල්ල ඉදිරිපිට තිබෙන ප්‍රතිමාව දක්වන්න පුලුවන්. 

කළුතර පුස්තකාලය අසළ පිහිටි V ජෝර්ජ් රජුගේ ප්‍රතිමාව

මේ ප්‍රතිමාව ගැන මේ තරම් කරුණු හොයන්න මම පෙළඹුනේ මුහුණුපොතේ තිබෙන කළුතර රිච්මන්ඩ් කාසල්හි පිටුවේ තිබුණු කළුතර මහජන පුස්තකාලය ගාව ස්ථාපනය කරලා තිබුණු V ජෝර්ජ් රජතුමාගේ පිළිරුව සහිත ඡායාරූපය දැකලා. 

 පඩිකාර මුහන්දිරම් ආතර් සිල්වා විජේසිංහ සිරිවර්ධන

රිච්මන්ඩ් කාසල් ඉදි කරපු පඩිකාර මුහන්දිරම් ආතර් සිල්වා විජේසිංහ සිරිවර්ධන විසින් තමා 1916 ජූලි 22 තමා තමන්ගේ පුද්ගලික මුදලෙන් මේ ප්‍රතිමාව නිර්මාණය කරවලා විවෘත කරලා තියෙන්නේ.

ඒ ප්‍රතිමාව සිව් කොණේ සිංහ රූප 4 ක් තිබෙන පීඨිකාවක් මත තමයි නිර්මාණය කරලා තිබෙන්නේ. V ජෝර්ජ් රජතුමා Imperial State ඔටුන්න පැළඳ රාජකීය ලෝගුවත් ඇතුව දකුණු අතේ රාජකීය සෙංකෝලයත් වම් අතේ කුරුසය සහිත ගෝලයත් තබාගෙන හිටගෙන ඉන්න ආකාරය තමා ප්‍රතිමාවෙන් නිරූපණය කරන්නේ. 

මේ ප්‍රතිමාව තවමත් තිබෙනවාද කියලා මම කරපු සොයා බැලීමකදී දැනගන්න ලැබුණේ ටික කාලයකට කලින් මේ ප්‍රතිමාව මහා භාරකාර දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් කළුතර මහජන පුස්තකාලය ගාවින් ඉවත් කරලා මහා බ්‍රිතාන්‍යයට විකුණුවා කියන එක. ඒ විකිණීමෙන් ලබා ගත්තු මුදලෙන් බොහොම සුළු මුදලක් තමා කළුතර මහජන පුස්තකාලයට ලබාදීලා තියෙන්නේ.

V ජෝර්ජ් රජතුමාගේ ප්‍රතිමාව මහා බ්‍රිතාන්‍යයට විකුණපු නිසා මම විශ්වාස කරන විදිහට දැනට ලංකාවේ තිබෙන බ්‍රිතාන්‍ය පාලකයෙක්ගේ එකම ප්‍රතිමාව වෙන්නේ වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාව විතරයි. 

බ්‍රිතාන්‍යයන් වේවා වෙනත් යුරෝපා ජාතියක් නිර්මාණය කළා වේවා දැන් ඒවා ලංකාවේ ඉතිහාසයත් එක්ක බැඳුණු දේවල්. ඉතින් ඒවා මේ ආකාරයෙන් රටින් බැහැර කරන එක හරි විනාශ කරන එක නම් අනුමත කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඒත් අපේ සිංහල රජ දරුවන්ගේ නිර්මාණත් විනාශ කරන කාලෙක යුරෝපීයන් සම්බන්ධ නිර්මාණවලට වෙන දේවල් ගැන අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. 

පෘතුගීසීන් තම පැමිණීම සටහන් කළ පර්වත කැබැල්ල

ඊළඟ දවසේ e-අටුවාවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවට පෘතුගීසීන්ගේ පැමිණීම සිහිපත් කරන්න ඔවුන් ගල් කුට්ටියක කරපු නිර්මාණය ගැන. ඒ ගැන තවමත් තොරතුරු සොයමින් ඉන්නේ. කරුණු සොයාගත් සැණින් සටහන ලියන්න බලාපොරොත්තු වෙනවා.

වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාව සම්බන්ධ තවත් ඡායාරූප බලන්න මෙතනින් යන්න

විශේෂ ස්තුතිය : කළුතර මහජන පුස්තකාලය අසළ තිබුණු V ජෝර්ජ් රජතුමාගේ ප්‍රතිමාව ගැන තොරතුරු සොයන්න උදව් කරපු සරසවි මිතුරිය තිළිණි චාමිකා සිල්වාටත්, ඇයගේ තාත්තාටත්, ජාතික කෞතුකාගාර භූමියේ තිබෙන වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාවේ ඡායාරූප ගත්තු ඉසුරු නානායක්කාර මිතුරාටත්

Wednesday, May 16, 2012

කුෂ්ඨරාජගල අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව - Avalokitheshvara Bodhisattva Statue of Kushtarajagala


 අනුරාධපුර යුගයේ සිටම ථේරවාදී බුදු සමය ලක්දිව පිළිගත් දහම බවට පත්වෙලා තිබුණත් වරින් වර මහායාන බුදු සමය ලක්දිව පැන නැඟුණු බවත් ඒ ඒ කාලවල සිටි රජ දරුවන් විසින් ඒ මත යටපත් කළ බවත් වංස කතාවල සඳහන් වෙනවා. ඒ කෙසේ නමුත් ඒවා සම්පූර්ණයෙන්ම යටපත් කරන්න පුලුවන් වුණාද කියන එක ගැටළුවක්. විශේෂයෙන් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මහායන බුදු සමයේ ප්‍රධාන අංගයක් වෙන බෝධිසත්ව වන්දනාව කළ බවට සාධක තවමත් ඉතුරුව පැවතීමම එයට උදාහරණයක් විදිහට ගන්න පුලුවන්

 බුදුරුවගල අවලෝකිතේශ්වර ප්‍රතිමාව

මේ විදිහට බෝධිසත්ව ප්‍රතිමා හමුවීමේදී කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණය දක්වා ප්‍රතිමා හමුවෙලා තිබෙනවා. මේවායිනුත් විශාල ප්‍රමාණයේ බෝධිසත්ව ප්‍රතිමා ලෙසට ප්‍රකටව පවතින්නේ බුදුරුවගල පිහිටි බෝධිසත්ව ප්‍රතිමා, දඹේගොඩ අවලෝකිතේශ්වර ප්‍රතිමාව සහ වැලිගම කුෂ්ඨරාජගල අවලෝකිතේශ්වර ප්‍රතිමාවයි. 

මෑතකදී මම බලන්න ගිය වැලිගම කුෂ්ඨරාජගල අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව ගැනයි ටික කාලයකට පසුව අද ලියවෙන e - අටුවා සටහනෙන් කතා කෙරෙන්නේ

කොළඹ සිට මාතර දෙසට යන විට වැලිගම නගරය පසුකර කිලෝ මීටර් 5 ක් පමණ ඉදිරියට යන විට ප්‍රධාන මාර්ගයෙන් වම් පසට ඇති මාර්ගයකින් ටික දුරක් ගමන් කිරීමෙන් පසුව පාරේ දකුණු පස පිහිටි කුෂ්ඨරාජගල අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව අසළට ලඟා වෙන්න පුලුවන්

කුෂ්ටරාජගල අවලෝකිතේශ්වර බෝසත් ප්‍රතිමාව පිළිබඳව කතා  කරන්න කලින් කවුද මේ අවලෝකිතේශ්වර බෝධිසත්වයන් කියන්නේ වගේම මහායානික බෝධිසත්ව සංකල්පය ගැන සුළුවෙන් විස්තරයක් කරන්නම්

ථේරවාදී බුදු සමය තුළ දක්වන විදිහට ලොවුතුරා බුද්ධත්වය සඳහා පාරමිතා ධර්ම සම්පූර්ණ කරන පුද්ගලයින් බෝධිසත්වයන් ලෙස හඳුන්වනු ලබනවා. මහායාන බුදු සමය තුළ පිළිගැනෙන්නේ අපි සියලු දෙනාම බෝධිසත්වයන් වන බවත් ලොවුතුරා බුද්ධත්වයෙන් සසර ගමන නිමා කරන බවත්. ථේරවාදීන් දක්වන රහත් බෝධියෙන් හෝ පසේ බෝධියෙන් සසර ගමන නිමා කිරීම මහායානිකයන් ප්‍රතික්ෂේප කරනවා.

ඒ විදිහට මහායාන සංකල්පය අනුව බෝධිසත්වයින් සංඛ්‍යාව අසීමිත වුණත් ප්‍රධානම බෝධිසත්වයන් කීප දෙනෙක් ඔවුන් දක්වනවා. ඒ බෝධිසත්වයින් ධ්‍යානි බෝධිසත්ව, මහාස්ථාම ප්‍රාප්ත, ත්‍රෛලෝක්‍යවිජයී වැනි නම්වලින් හඳුන්වනා. 


ඒ බෝසත්වරුන් අට දෙනෙක් සිටින අතර ඔවුන් නම්
  • අවලෝකිතේශ්වර
  • මෛත්‍රෙය
  • ආකාශ ගර්භ
  • වජ්‍රගර්භ
  • ක්ෂිතිගර්භ
  • සමන්තභද්‍ර
  • මඤ්ජු ශ්‍රී
  • සර්ව නිවාරණ විෂ්කම්භ
මේ සෑම ධ්‍යානී බෝධිසත්වයෙක්ටම මුද්‍රාවක්, වාහනයක් මෙන්ම සංකේතයක් තිබෙනවා. ඒ වගේමයි මේ බෝධිසත්වයින් අතරින් අවලෝක්තිශේවර හා මඤ්ජු ශ්‍රී යන බෝසත්වරුන් ප්‍රමුඛත්වයේ ලා සලකන අතරම මීළඟට බුද්ධත්වයට පත්වන මෛත්‍රෛය බෝසතුන්ට විශේෂත්වයක් හිමිවෙනවා. කෙසේ නමුත් මේ බෝධිසත්වයින් අතරින් බොහෝ දෙනාගේ බුහුමනට ලක්වෙන්නේ අවලෝකිතේශ්වර බෝසතුන්ව.

සාමාන්‍යයෙන් ලංකාවේ මෙන්ම වැඩි වශයෙන් ඉන්දියාවේ සිදුවන දේව ඇදහිල්ල මෙන්ම බෝධිසත්වයින් වන්දනා කරමින් තමන්ගේ ලෞකික ජීවිතේ කරුණු කාරණා ඉටුකරගැනීමට පිහිට පැතීම මහායානිකයන් සිදු කරනවා. මේ බෝධිසත්ව වන්දනාව ලංකාවට පැමිණි මුල් කාලීනව ඒ ඒ ස්වරූපවලින්ම බෝධිසත්ව වන්දනාව සිදු කෙරුණත් පසු කාලීනව මේ බෝසත්වරුන් ලක්දිවට ගැලපෙන පරිදි දේශීය මුහුණුවරකට පෙරලුණු අතර අවලෝකිතේශ්වර බෝධිසත්වයින් උත්පලවර්ණ හා නාථ දෙවිවරු ලෙසද සමන්තභද්‍ර බෝසතුන් සුමන සමන් දෙවියන් ලෙසද වන්දනාවට පාත්‍ර වුණා.  


අවලෝකිතේශ්වර බෝසතුන් ගැන විශේෂයෙන් කතා කලොත් සියලුම ලෝ සතුන්ගේ ආරක්ෂකයා ලෙස එතුමා කටයුතු කරන අතරම සියලු සත්වයින් සංසාරයෙන් එතෙර වනතාක් එතුමා බුද්ධත්වයට පත් නොවන බවයි කියවෙන්නේ. ඒ වගේමයි ලෙඩ රෝගවලට පිහිටවීම ආදී කරුණු නිසා "භේසජ්ජ ගුරු" වශයෙනුත් එතුමාව පිළිගන්නවා.

නැවතත් ප්‍රධාන කතා බහට ආවොත් කුඩා බිමක තිබෙන ගල් කුළක ඇතුළට හෑරීම මඟින් මෙම අවලෝකිතේශ්වර බෝසත් ප්‍රතිමාව නිර්මාණය කර තිබෙනවා. ප්‍රතිමාවේ උස අඩි 8 ක් පමන වන අතර ප්‍රතිමාව පිළිබඳ විස්තරයක් කළොත් ධෝතියක් වැනි වස්ත්‍රයක් හැඳ ආභරණ හා ඔටුන්නක් පැළැඳ ගෙන රාජ ලීලාවෙන් සිටින අවලෝකිතේශ්වර බෝසතුන් මෙහිදී දැකගත හැකියි. 

මේ ආභරණ පලඳා ඇති ආකාරය මෙන්ම ධෝතිය හැඳ සිටින ආකාරය රාජ ප්‍රතිමාවලට සමාන වීම නිසා මෙය රාජ ලීලාව ලෙස හඳුන්වනවා. මෙලෙස ඇති රාජ ප්‍රතිමාවකට නිදසුන් ලෙස රුවන්මැලිසෑ පරිශ්‍රයේ ඇති දුටුගැමුණු රාජ ප්‍රතිමාව දැක්විය හැකියි

 දුටුගැමුණු රාජ ප්‍රතිමාව

හිසේ තිබෙන ඔටුන්න තුළ හෙවත් ජටා මකුටයේ ධ්‍යාන ඉරියව්වෙන් වැඩ සිටින බුදු රූ 4 ක් දැකගත් හැකි අතර ඉන් දෙකක් ඔටුන්නේ ඉදිරි පස එකක් මත එකක් සිටින සේත් අනිත් දෙක වම් කන හා දකුණු කනට ඉහළින් ඔටුන්නේ දක්වා තිබෙනවා. 



නමුත් ජටා මකුටය තුළ තවත් බුදුරුවක් ඇති බවත් එමඟින් මහායාන බුදු සමයේ දැක්වෙන අමිතාභ, වෛරෝචන, අක්ෂෝභ්‍ය, රත්නසම්භව, අමෝඝසිද්ධි යන ධ්‍යානි බුදුවරුන් පස් දෙනා නිරූපිත වන බවට මතයක් තිබෙනවා. 

ප්‍රතිමාවේ කන් ලම්භකර්ණව ලෙස දක්වා ඇති අතර කන්වලත් කුණ්ඩලාභරණ ආදිය පැලැඳි බවක් පෙනෙනවා. ගෙලටද මාල කීපයක් දමා ඇති අතර අත්වලටද වළලු ආකාරයේ පළඳනා දමා ඇති බවයි පෙනෙන්නේ.



දකුණු අතේ මාපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල එක් කර විතර්ක මුද්‍රාව දක්වන අතර වම් අතේ මහපට ඇඟිල්ල නොනමා දබර ඇඟිල්ල සහ සුළැඟිල්ල අර්ධයක් නමා ඇති අතර මැදැඟිල්ල හා වෙදැඟිල්ල සම්පූර්ණයෙන්ම නමා තිබේ. ඒ මුද්‍රාව කටක මුද්‍රාව නමින් හඳුන්වනවා.



ඉන වටා බඳ පටියක් දැකගත හැකි අතරම් ධෝතිය රැළි වැටෙන සේ සකසා තිබෙනවා. 

මේ ප්‍රතිමාව අවලෝකිතේශ්වර බෝසතුන් නොව වජ්‍රසත්ව බෝසතුන් බවත්, මේ සමන්තභද්‍ර බෝසතුන් බවටත් මත ඉදිරිපත් වී ඇති අතරම තවත් මතයක් වන්නේ මේ ප්‍රතිමාව අවලෝකිතේශ්වර හා සමන්තභද්‍ර යන බෝසතුන් දෙදෙනාගේම සම්මිශ්‍රණයක් ලෙස නිමවා ඇති බවයි. 

දඹේගොඩ අවලෝකිතේශ්වර ප්‍රතිමාව

දඹුලු විහාර අවලෝකිතේශ්වර ප්‍රතිමාව

මේ ප්‍රතිමාවේ ආකාරයෙන්ම රාජ ලීලාවෙන් නිර්මාණය කෙරුණු අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමා විදිහට දඹේගොඩ අවලෝකිතේශ්වර ප්‍රතිමාව, දඹුලු විහාර අවලෝකිතේශ්වර ප්‍රතිමාව දක්වන්න පුලුවන්. මේ ප්‍රතිමාවල තිබෙන ලක්ෂණ පල්ලව සම්ප්‍රදායට  නැඹුරුවක් පෙන්වන නිසා කුෂ්ඨරාජගල සහ දඹේගොඩ ප්‍රතිමා නිර්මාණය කරපු කාලය විදිහට නිගමනය කරන්නේ ක්‍රි.ව 7 හෝ 8 සියවස. 

මීට පෙරත් පල්ලව නිර්මාණ යටතේ වුණු නාලන්දා ගෙඩිගේ ගැන අපි කතා කළා මතක ඇතිනේ

මේ ආකාරයෙන් බෝධිසත්ව පිළිමයක් කුෂ්ඨරාජගල නිර්මාණයට වීමට හේතු සාධක පිරික්සීමේදී පිහිටි ස්ථානයේ නමේ අර්ථයෙන්ම ගතහොත් කුෂ්ඨ රෝගයක් වැළඳුණු රජතුමෙක් තම කුෂ්ඨ රෝගය සුවවීමෙන් තමන් වූ භාරයක් ඉටු කරමින් මේ ස්ථානයේ අවලෝකිතේශ්වර ප්‍රතිමාව නිර්මාණය කරවූ බව කියවෙනවා.

මෙහිදී මේ රජතුමා දෙවිනුවර දේවාලයට පැමිණ භාරවූ බව කියවෙන අතරම රූපයට රූපය භාර වූ බව කියවෙනවා. මේ රජතුමා IV අග්බෝ රජතුමා ලෙස විශ්වාස කරන අතර දෙවිනුවරට පැමිණ වූ භාරය මත මේ ප්‍රතිමාව කරවූ නිසා දෙවිනුවර තිබෙන්නට ඇත්තේද අවලෝකිතේශ්වර වන්දනාවක් බව අනුමාන කරන්න පුලුවන්. පසුකාලීන උත්පලවර්ණ ලෙස දේශීය මුහුණුවරක් ගන්නට ඇත්තේ අවලෝකිතේශ්වර බව එමඟින් අනුමාන කළ පුලුවන්.

 දෙවිනුවර උපුල්වන් දේවාලය

ඒ වගේම කලින් කිව්වා වගේම අවලෝකිතේශ්වර බෝසතුන් ලෙඩ සුව කරන්නෙක් ලෙස සැලකූ බව මේ ආකාරයෙන් රජතුමා තමන්ගේ අසනීපයට භාර වීමෙන් පෙනෙනවා. ඊට පසුවත් මේ ආකාරයෙන්ම රජවරු ලෙඩ සුව කරගැනීමට පිහිට පැතූ බව පෙනෙන්නේ දඹදෙණියේ සිට රාජ්‍ය කළ II පරාක්‍රමබාහු රජතුමාගේ කතාවේ ඇතිවූ විකලු සොබාවය නිසා ඒ පිළිබඳවත් දෙවිනුවර උපුල්වන් දෙවියන්ට කියා පිහිටාධාර පැතූ බව වංස කතාවල සඳහන් වීමෙන්.

ලෙඩ රෝග සුව කරන දෙවියෙක් ලෙසට අවලෝකිතේශ්වර වන්දනා කළා සේම නාවිකයන් විසින් සමුද්‍රයේදී ඔවුන්ව රැකගන්න දෙවියෙක් ලෙසට අවලෝකිතේශ්වර වන්දනා කරපු බව පෙනෙනවා. 
මෙහිදී කුෂ්ටරාජගල සහ දෙවිනුවර සමුද්‍රාසන්න ප්‍රදේශ වීම හැරෙන්නට තවත් ස්ථාන කීපයක් නිසාම ඒ නිගමනයට එළඹෙන්න පුලුවන්. 
 තිරියාය ගිරිහඬු සෑය
තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසින් බුදුරදුන්ගේ කේෂ ධාතු තැන්පත් කර ඉදිකළා යැයි සැලකෙන තිරියාය ගිරිහඬු සෑය අවලෝකිතේශ්වර බෝසතුන්ගේ නිවහන බව ඒ ස්ථානයෙන් හමුවූ සෙල්ලිපියක දක්වා තිබෙනවා

සෙල්ලිපියේ 4 වෙනි පෙළ එය දක්වන්නේ මේ ආකාරයෙන්

නිවසති යත්‍ර සිද්ධ සුර කින්නර පූජ්‍යතමඃ
ගුරුර් අවලෝකිතේශ්වර ඉතිප්‍රථිතො භගවාන්
තද් අහර් අහර් නමාමි ගිරිකණ්ඩික චෛත්‍යමි අහම්

මන්නාරම කුදිරමලේ ප්‍රදේශයෙනුත් බෝධිසත්ව පිළිමයක් තැන්පත් කලායැයි විශ්වාස කරන්න පුලුවන් පිළිම ගෙයක නටබුන් හමුවෙලා තිබෙනවා.

 මුහුදු මහා විහාර ප්‍රතිමාව

ඒ හැරෙන්න පොතුවිල් මුහුදු තීරය ආසන්නයේ තිබෙන මුහුදු මහා විහාරයේ පිළිම ගෙයි මේ ආකාරයෙන් රාජ ලීලාවෙන් නිර්මිත ප්‍රතිමා දෙකක් දැකගන්න පුලුවන්. ඒ පිළිම දෙක මෛත්‍රෙය හා අවලෝකිතේශ්වර බෝසත්වරුන් ලෙස විශ්වාස කරන අතරම අවලෝකිතේශ්වර බෝසතුන් යැයි අනුමාන කරන රුව බොහෝ දුරට කුෂ්ඨරාජගල ප්‍රතිමාවට සමානයි.  


මේ ආකාරයෙන් සමුද්‍රාසන්න ප්‍රදේශවල බහුලව අවලෝකිතේශ්වර වන්දනාව පැවතීම තුළින් කලින් කිව්වා වගේ සමුද්‍රාරක්ෂකයෙක් විදිහට අවලෝකිතේශ්වර බෝසතුන් පිළිගත් බවයි පෙනෙන්නේ.

නැවතත් කුෂ්ඨරාජගල ගැන කතාවට ආවොත් කුෂ්ඨරාජගල ආරක්ෂා කිරීමේ වැඩ පිළිවෙලක් 1980 දී ඒ ප්‍රදේශය පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය මොන්ටේගු ජයවික්‍රමගේ සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ඊ.එල්.බී. හුරුල්ලේ යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන්. ඒ යටතේ මේ ස්ථානයට විදුලි ආලෝකය ලබාදුන්නා වගේම බැම්ම බැදෙව්වා කියලයි ඒ ස්ථානයේ තිබෙන සමරු ඵලකයේ සඳහන් වෙන්නේ

 කැලණි විහාර අවලෝකිතේශ්වර ප්‍රතිමාව

අවසාන වශයෙන් ගත්තොත් කුෂ්ඨරාජගල ඇතුලු අනෙක් ස්ථානවල තිබෙන අවලෝකිතේශ්වර ප්‍රතිමා හේතුවෙන් නිගමනය කරන්න පුලුවන් වෙන්නේ ලෞකික අවශ්‍යතා උදෙසා කැපවුණු දෙවියෙක්ගේ තත්වයට අවලෝකිතේශ්වර බෝසතුන් පත්වූ බවයි. ඒ පිළිගැනීමේ නෂ්ඨ කොටස් අද දක්වා පවතින බව පේන්නේ මෑතකදී කැලණිය රාජ මහා විහාරයේත් අවලෝකිතේශ්වර ප්‍රතිමාවක් ඉදි කරවීමෙන්. ඒ හැරෙන්නට ඉහත දක්වපු බෝසත් ප්‍රතිමාවලටත් අද දක්වාම ජනයා මල් පහන් පූජා කිරීමත් දැකිය හැකියි

කුෂ්ඨරාජගල අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාවේ තවත් ඡායාරූප බලන්න මෙතනින් යන්න

ප.ලි.: සිංහල බ්ලොග් අවකාශයේ සහෘද බ්ලොග්කරුවෙක් වූ සනත් විජේවර්ධන හෙවත් ඔබා මාමාගේ වියෝව වෙනුවෙන් සාතිශය සංවේගය :(
සැන්දෑව එළඹීමත් එක්කම විවේකයක් ගන්නට ඉඩ සැලසිලා......
රාත්‍රිය උදාවුණත් නැවතත් පසු දින හිරු පායාවි.
අලුත් දවසක් උදාවේවි.....
එතෙක් ඔබට සුභ රාත්‍රියක් ඔබා මාමේ....................

Saturday, January 7, 2012

නාලන්ද ගෙඩිගේ - Nalanda Gedige [Image House]


ශ්‍රී ලංකාවේ හරි මැද කොහේද දන්නවාද ? ශ්‍රී ලංකාවේ හරි මැද යැයි විශ්වාස කරන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ නාලන්ද ප්‍රදේශයේ පිහිටා තිබෙන නාලන්ද ගෙඩිගෙයයි. අද e- අටුවාවේ අවධානය යොමුවෙන්නේ සුවිශේෂී ගෘහ නිර්මාණ සම්ප්‍රදායකටද උරුමකම් කියන මෙම නාලන්ද ගෙඩිගෙය පිළිබඳවයි.


නාලන්ද ගෙඩිගෙය නැරඹීමට යන මාර්ගය පිළිබඳ මුලින්ම සඳහන් කළහොත් මහනුවර යාපනය ප්‍රධාන මාර්ගයේ මාතලේ සිට දඹුල්ලට යාමේදී කිලෝ මීටර 48 කණුව ආසන්නයෙන් දකුණු දෙසට තිබෙන මාර්ගයේ කිලෝ මීටර 1.2 පමණ ගමන් කිරීමෙන් පසුව නාලන්ද ගෙඩිගෙයට ළඟා විය හැකියි.

විසිරී ඇති කැටයම් ආදිය සහිත ගල් කැබලි

මේ පුරාවිද්‍යා භූමියට පිවිසුණු විට මුලින්ම හමුවන්නේ තැන් තැන්වල විසිරුණු ගල් කැටයම් සහිත ගල් කැබලි මෙන්ම බිත්ති සඳහා භාවිත කළ ගල් කැබලි රාශියක්. ඒවා එක ස්ථානයකට ගොඩ ගසා ඇති අතරම කැටයම් සහිත ගල් කැටයම් මෙන්ම කුළුණු හිස් නාලන්ද ගෙඩිගෙයට යන මාර්ගය දෙපස තබා තිබේ.

මාර්ගය දිගේ ගමන් කළ පසු බෝවතැන්න ජලාශයෙන් වටවී ඇති උස් බිමක පිහිටා තිබෙන නාලන්ද ගෙඩිගෙය මෙන්ම වේදිකාවක් මත ඉදිකරපු ස්ථූපයක් සහ බෝධි වෘක්ෂයකුත් මේ ස්ථාන 3 වට කරමින් ඉදි කරලා තිබෙන ගඩොල් ප්‍රාකාරයත් දැකගත හැකියි.

නාලන්ද ගෙඩිගේ ඉතිහාසය ඒ සමඟ බැඳුණු අනෙක් අංගත් සමඟ කතා කරමු.

ශිලාමය නිර්මාණයක් වෙන නාලන්ද ගෙඩිගෙය සම්පූර්ණයෙන්ම කළු ගල් භාවිත කොට නිමවා නිමවී ඇති අතර ඉන්දියාවේ ක්‍රි.පූ.6 වන සියවසේ සිට 9 වන සියවස දක්වා පැවති පල්ලව අධිරාජ්‍යය සමයේ තිබුණු පල්ලව ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණුතම අවදිය ලෙස සැලකෙන නරසිංහවර්මන් හෙවත් මාමල්ල ශෛලිය ගෙඩිගේ නිර්මාණයට යොදා ගෙන තිබේ.



ඉහළ ඡායාරූපයේ ඇති මාමල්ලපුරම් සම්ප්‍රදායේ දෙවොලක් සහ පහළ ඡායාරූපයේ ඇති නාලන්ද ගෙඩිගෙයි ඇති සමානකම

පාලර් නදී මුවදොර පිහිටි මහාබලිපුරම්හි කඳුගැටයක තිබෙන මාමල්ල ශෛලියේ නිර්මාණවල සම්පූර්ණ කළු ගලින් නිමවා තිබීමත් වහලය ශිඛරයක් ආකාරයෙන් සකස් කොට තිබීමත් විශේෂ ලක්ෂණයි. එමෙන්ම විවිධ දෙවි දේවතාවුන්ගේ මෙන්ම සැරසිලිවලින් ගලින් කළ වහල ශිඛරය හැඩගැන්වීම පල්ලව ගෘහ නිර්මාණයේ අනන්‍යතාවයන්ය.

පල්ලව ගෘහ නිර්මාණ ශිල්පයේ හින්දු කෝවිලක ස්වරූපයෙන්ම නාලන්ද ගෙඩිගේ නිර්මාණය කර ඇති අතරම ඉදිකිරීම් කටයුතුවලදී ථේරවාද මෙන්ම මහායාන ඇදහිලිත් ඒ වගේම පෙර දැක්වූ පරිදි හින්දු ඇදහිලිත් මිශ්‍ර කර තිබේ. එලෙස පල්ලව ශෛලිය යටතේ ඉදිකළ වර්තමානය වනවිට ලංකාවේ ඉතිරිව තිබෙන එකම බුද්ධ ප්‍රතිමා මන්දිරය වන්නේ නාලන්ද ගෙඩිගෙයයි.

මේ නිර්මාණයේ කාල නිර්ණය සඳහා සාධක කීපයක් උපයෝගී කොටගෙන ඇති අතර ඒවා මෙලෙස දැක්විය හැකියි. ශ්‍රී ලංකාවේ නිර්මාණයන්ට පල්ලව ආභාෂය ලැබෙන්නේ ක්‍රි.ව 691 න් පසුවයි. ඒ ඒ වන විට ලංකාව පාලනය කළ හත්ථදාඨ රජු පරදා ලාංකික කුමරෙක් වුණු මානවම්ම කුමරුට රාජ්‍යය ලබාදීමට II නරසිංහවර්මන් රජු දායක වීමත් සමඟයි.

නිල්ලග්ගම බෝධිඝරය

ඉන් පසු පල්ලව ආභාෂය යටතේ ලංකාවේ ඉදිවුණු තවත් සුවිශේෂී නිර්මාණයක් විදිහට නිල්ලග්ගම බෝධිඝරයත් දැක්විය හැක.

ඉහත දක්වපු කරුණ මෙන්ම නාලන්ද ගෙඩිගේ කාල නිර්ණයට ඒ භූමියෙන් හමුවුණු ටැම් ලිපියකුත් පාදක වී ඇති අතර මේ වන විට නාලන්ද ගෙඩිගේ පුරාවිද්‍යා භූමියේ පිහිටි කෞතුකාගාරය එය තැන්පත්ව ඇත.

නාලන්ද ගෙඩිගේ ටැම් ලිපිය

එහි දක්වන්නේ විෂමාචාර ලෙස හැසිරෙන විහාර කාර්මිකයන් විහාර භූමියෙන් නෙරපිය යුතු බවත් මිනීමරුවන්, සොරුන් විහාර භූමියට වැද්ද නොගත යුතු බවත් විහාරයේ සියලු කටයුතු සංඝ සම්මුතියෙන් කළ යුතු බවත්ය. අක්ෂර විකාශනය අනුව මේ ලිපිය ක්‍රි.ව. 9 - 10 සියවස්වලට අයත් බව නිගමනය කර ඇති අතර මෙම කරුණු පාදක කොටගෙන නාලන්ද ගෙඩිගෙය ක්‍රි.ව. 8 - 10 අතර කාලයේදී නිමවන්නට ඇතැයි නිර්ණය කර ඇත.

ඉහත දැක්වූ ටැම් ලිපියෙන් මෙන්ම භූමියේ විසිරී පවතින ගල් කැබලිවලින්ද මෙහි විහාර සංකීර්ණයක් පිහිටා තිබූ බවත් එය මනා සංවිධානාත්මක බවකින් යුක්ත වූ බවත් අනුමාන කළ හැක.

මේ හැරෙන්නට නාලන්ද ගෙඩිගෙයට ඊටත් වඩා පැරණි ඉතිහාසයක් ඇති බවටද මත දක්වන අතර රාවණ රජ සමය දක්වා එය විහිදෙන බව කියවේ. රාවණා රජුගේ පුත් ඉන්ද්‍රජිත් තමන්ගේ යාග හෝම කටයුතු සඳහා මේ ස්ථානය භාවිත කළ බවත් මේ ස්ථානයේ විශ්ව ශක්තියක් ගැබ්ව ඇති බවත් කියවේ.

මේ ස්ථානයේ ප්‍රධාන ඉදිකිරීම වෙන නාලන්ද ගෙඩිගේ පිළිබඳව ප්‍රධාන අංග 3 ක් යටතේ කරුණු දැක්විය හැකි අතර ඒවා නම්

  • ඉදිරිපස පිවිසුම
  • මණ්ඩපය
  • ගර්භ ගෘහය
ඉදිරිපස පිවිසුම පිළිබඳ කතා කිරීමේදී මුලින්ම කැටයම් රහිත සඳකඩපහණක් හමුවෙන අතර පඩිපෙළ දෙපස සරල කැටයමින් යුක්ත වෙන කොරවක්ගල් දෙකක් දැකගත හැකිය. සඳකඩපහණ දෙපස මුරගල් දෙකක් වර්තමානය වන විට නොමැති වුණත් අතීතයේදී තිබුණා විය හැක.

ඉදිරිපස ආලින්දය වැනි කොටස

පඩිපෙළ නැගීමෙන් පසුව හමුවන ආලින්දය වැනි කොටසින් මණ්ඩප කොටසට පිවිසීමේදී ගල් උළුවස්සක් ඇති අතර එය පාදමට සවිවන ස්ථාන දෙපස ඇත් රූ දෙකක්ද දැකගත හැකියි. ගල් උළුවස්සේ හරි මැදට වන්නේ හින්දු ආගමේ වන්දනාවට ලක්වෙන ගජ ලක්ෂමී දෙවඟනගේ කැටයමක් දැකිය හැක.

නාලන්ද ගෙඩිගේ ඇති ගජ ලක්ෂ්මී කැටයම

පොළොන්නරු ගල් පොතේ ඇති ගජ ලක්ෂ්මී කැටයම

එවැනි කැටයමක් මීට පසුකාලීනව පොළොන්නරු යුගයේදී නිශ්ශංකමල්ල රජතුමාගේ ගල් පොත සෙල්ලිපියේ දකුණු පසට වන්නට ඇති අතර හින්දු ආභාෂය මෙම බෞද්ධ නිර්මාණයට තදින්ම හිමිව ඇති බවට එක් නිදසුනක් වන්නේ ඒ ගජ ලක්ෂ්මී රුවයි.

මණ්ඩප කොටසට පිවිසුණු පසු දෙපස එක් පේළියකට ගල් කුළුණු 4 බැගින් වූ ගල් කුළුණු 8 ක් ඇති අතර ඒ ගල් කුළුණු සියල්ලේම හිස කොටසේ සතර පැත්තේම එක හා සමානවම මුහුණක් වැනි කැටයමක් ඇති අතර ගල් කුළුණුවල පහළ කොටස්වලද එක හා සමානවම ගල් කැටයම් කර තිබේ.

කුළුණු සහිත මණ්ඩප කොටස

මණ්ඩපය පසු කරමින් ඉදිරියට ආවිට ගර්භ ගෘහය හමුවන අතර ගර්භ ගෘහය වටා ගමන් කළ හැකි අයුරින් එය නිමවා ඇත. ගර්භ ගෘහයට පිවිසෙන දොරටුවට ඉහළින් විමාන වැනි නිර්මාණ 5 කුත් බුදුන් වහන්සේගේ යැයි අනුමාන කළ හැකි ධ්‍යාන වඩන පුද්ගලයන් දෙදෙනෙකුගේ රූ ද කැටයම් කොට ඇත.

ධ්‍යානී පුද්ගලයන් සහ විමාන සහිත කැටයම

හින්දු කෝවිලක ගෝපුරක් ආකාරයට නිමවා ඇති ගර්භ ගෘහයේ වහළයේ විවිධාකාරයේ මුහුණු වැනි කැටයම්ද දැකගත හැකි අතර මුදුනේ දෙපස උල් හැඩයේ කොටස් දෙකක්ද නිමවා තිබේ. ඒ මුදුන් දෙකට පහළින් වන දෙපස කොටස්වලින් වම් පස කොටසේ එක් කකුලක් නමා අනෙක පහළට දමා සිටින පුද්ගලයෙකුගේ රුවක් දැකගත හැකි අතර දකුණු පස කොටසේ නිර්මාණය හඳුනා ගත නොහැකිය.

හින්දු ගෝපුර ආකාරයේ වහළ

වහළයේ දකුණු පස හා වම් පස පැති

ගර්භ ගෘහයට ඇතුලුවීමට එක් පඩියක් බැසිය යුතු අතර සරල ආකාරයේ සඳකඩපහණක් ඒ පඩිපෙළ පාමුල දැකගත හැකිය. ගර්භ ගෘහය තුළ ප්‍රතිමා 5 ක් දැකගත හැක. මධ්‍යයට වන්නට පද්මාසනයක් මත හිටි බුදු රුවක් දැකගත හැකි අතර එහි මුද්‍රාව අවුකන බුදුරුවේ මුද්‍රාවට සමානය. දකුණු අතින් ව්‍යාකරණ මුද්‍රාවද වම් අත වැලමියෙන් ඉහළට නැමී ඇඟිලි තුඩු වම් උරහිස ස්පර්ශ වන අයුරින්ද නිමවා ඇත.

ප්‍රධාන හිටි බුද්ධ ප්‍රතිමාව

ප්‍රධාන බුදු පිළිමයට දකුණු පසින් පද්මාසනයක් මත ඉදිකළ තවත් හිටි බුදුරුවක් දැකගත හැකි අතර එහි පපු ප්‍රදේශයෙන් ඉහළ කොටස විනාශ වී ඇත. ප්‍රධාන පිළිමයට වම් පසින් තවත් පිළිමයක කොටස් කීපයක් ඇති අතර එය බොහෝවිට බෝධිසත්ව පිළිමයක් විය හැක.

මේ හැරෙන්නට ගර්භ ගෘහය තුළ විශේෂ ප්‍රතිමා දෙකක් දැකගත හැකි අතර ඒවා නම් ගර්භ ගෘහයට පිවිසෙන ප්‍රධාන දොරටුව ආසන්නයට වන්නට ඉදිකර ඇති ගණ දෙවියන්ගේ පිළිමය හා අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ ප්‍රතිමාවයි.

ගණ දෙවියන්ගේ ප්‍රතිමාව

ප්‍රධාන දොරටුවෙන් වම් පස ඇති ගණදෙවියන්ගේ පිළිමය ඉදිකිරීමෙන් අතීතයේ පටන් නුවර කලාවිය ප්‍රදේශයේ ගණ දෙවියන් වන්දනා කිරීම පැවති බවට නිගමනය කළ හැකි අතරම හින්දු ආභාෂයේ බලපෑමත් හොඳින් දැකගන්න පුළුවන.

අවලෝකිතේශ්වර ප්‍රතිමාව

ප්‍රධාන දොරටුවෙන් දකුණු පස ඇති අවලෝකිතේශ්වර බෝසතුන්ගේ ප්‍රතිමාවෙන් එකල පැවති මහායාන බලපෑම ගැන මෙන්ම ආරක්ෂක දෙවියෙක් ලෙස අවලෝකිතේශ්වර බෝසතුන්ට වූ පිළිගැනීම වටහා ගත හැකියි. මුල්කාලීනව කළ සංරක්ෂණ කටයුතුවලදී මෙම අවලෝකිතේශ්වර ප්‍රතිමාව මුරගලක් යැයි වරදවා වටහා ගෙන තිබුණද පසුව කළ ප්‍රතිසංස්කරණවලදී එය නිවැරදි කොට මෙලෙස ගර්භ ගෘහය තුළ නැවතත් ස්ථාපනය කොට ඇත.

ප්‍රාකාරයේ ඇති මෛථුන කැටයම

නාලන්ද ගෙඩිගෙය බිත්ති පිටපැත්තෙන් නිරීක්ෂණය කිරීමේදී ඒ බිත්තිවලද කැටයම් සහිත ගල් දැකගත හැකි අතරම හින්දු කෝවිල්වල දැක්වෙන කාම සූත්‍රයේ විවිධාකාර කැටයම් අතුරින් මෛථූන සේවනයේ යෙදෙන ආකාරය දැක්වෙන කැටයමක්ද දැකගත හැකිය. එසේම ජලය මණ්ඩපය තුළට එක්වන ජලය බැසයාමට සකස් කළ කාණු කටවල්ද මෙහිදී දැකගත හැකිය.

ස්ථූපය

මේ භූමියේ පිහිටි අනෙක් නිර්මාණය වන්නේ පෙර දැක්වූ පරිදි වේදිකාවක් මත පිහිටවූ ස්ථූපයයි. ගෙඩිගෙයට උතුරින් පිහිටි මෙම ස්ථූපය පසුකාලීනව නිදන් හොරුන්ගේ ප්‍රහාරයට ලක්ව තිබුණු අතර සෙනරත් පරණවිතානයන්ගේ මූලිකත්වයෙන් මුල්වරට සංරක්ෂණ කටයුතු කරන ලදී.

මේ හැරෙන්නට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පිහිටුවා ඇති කෞතුකාගාරයක් මෙහි ඇති අතර මේ ස්ථානයෙන් හමුවුණු විවිධාකාරයේ ගල් කැටයම් මෙන්ම නාලන්ද ගෙඩිගේ ටැම් ලිපියද එහි තැන්පත් කර ඇත.

නාලන්ද ගෙඩිගේ මෑත කාලීන ඉතිහාසය සොයා බැලීමේදී ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා කටයුතු සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටවූ කාලයේදීම පුරාවිද්‍යා කොමසාරිස් H.C.P. බෙල් මහතාගේ අවධානය මෙයට යොමු වූ අතර ඒ යටතේ 1893 දී රජයේ පොදු වැඩ දෙපාර්තමේන්තුවෙන් පස්වලින් යටව තිබුණු ගෙඩිගේ දකුණු පස කොටස් රාශියක් පාදා ගන්නා ලදී. 1911 දී බෙල් මහතා මෙහි පස්වලින් යටව තිබූ සියලු කොටස් පාදා ගත් අතර තහවුරු කිරීමකට උපයෝගී කරගත හැකි අන්දමින් එම කොටස් එතුමාගේ මග පෙන්වීමෙන් තැන්පත් කෙරුණි.

බෙල් මහතා විශ්‍රාම යාමත් සමඟ නැවතත් නාලන්ද ගෙඩිගේ පිළිබඳ අවධානය යොමු නොවුණු අතර 1927-28 කාලවලදී ගෙඩිගෙයි වේදිකාව මත පැතිර තිබුණු නුග මුල් ඉවත් කිරීමක් වුණු අතර එහිදී වේදිකාවේ කොටසක් පවා ගලවා ඉවත් කරන්නට සිදුවුණි. ඊට පසුවද මෙම ගොඩනැගිල්ලේ ගස් ඉවත් කිරීමක් හැරෙන්නට වෙනත් ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදු නොවුණි. සෙනරත් පරණවිතාන සමයේදී එනම් 1953 දී ගෙඩිගෙයි මළුවේ පනා බැමි මතු කරගත් අතර පෙර දැක්වූ පරිදි ස්ථූපය ප්‍රතිසංස්කරණය කෙරුණි.

පසුව ගෙඩිගේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් වූයේ 1970 දශකයේ කළ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයෙන් ගෙඩිගේ තිබුණු ප්‍රදේශයට බෝවතැන්න ජලාශයට යටවීමට නියමිත වූ හෙයිනි. ඒ යටතේ ගෙඩිගෙය රැක ගැනීමට මිසරයේ අස්වාන් වේල්ල ඉදිකිරීමේදී අබු සිම්බල් දෙවොල ගලවා ඉවත් කර වෙනත් ස්ථානයක ඉදිකළ පරිද්දෙන් සියලුම කොටස්වල සංකේත යොදා ගෙඩිගෙය ගලවා පුරාවිද්‍යා කාර්යාලයේ තැන්පත් කෙරුණි.



අබු සිම්බල් දෙවොලේ නැවත ඉදිකිරීම

එනිසා ගෙඩිගේ පාදමද කැණීමට පුරාවිද්‍යාඥයින් සමත් වූ අතර චතුරශ්‍රාකාර ශිලාමය පදනමක් පාදා ගැනීමටද හැකිවිණි.

ගෙඩිගේ නැවත සැකසීම ඒ ප්‍රදේශයේ කඳු මුදුනක කිරීමට මුලින් යෝජනා වුවද පසුව නැවතත් එය මුලින් පිහිටි ස්ථානයේම ඉදිකිරීමට යෝජනා වූ නිසා 1977 දී එවකට සංස්කෘතික කටයුතු අමාත්‍ය E.L.B. හුරුල්ලේ මැතිතුමාගේ තීරණය මත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති මහාචාර්ය P.L. ප්‍රේමතිලක මහතාගේ අධීක්ෂණයෙන් එය සිදුකෙරුණි.


නාලන්ද ගෙඩිගේ නැවත සැකසීම

ඒ යටතේ මහවැලි සංවර්ධන අධිකාරිය මඟින් නාලන්ද ගෙඩිගේ පිහිටි ස්ථානයේ අඩි 23 ක් උස හතරැස් බිම්කඩක් මෙන්ම ඒ උසින්ම මාර්ගයක්ද ඉදිකෙරුණු අතර 1980 දී මහාචාර්ය P.L. ප්‍රේමතිලක සහ පෙදරේරු M. විමලදාස යටතේ වැඩ ආරම්භ වුණි.

මුල් කාලීන සංරක්ෂණයන්හිදී සිදුවූ වැරදි නිවැරදි කරමින් ගර්භ ගෘහයේ වහළ සම්පූර්ණ කරමින් මේ සංරක්ෂණය අවසන් වුණු අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ ආකාරයේ කාර්යයක් කළ ප්‍රථම අවස්ථාව මෙය වූ නමුත් මැනවින් පෙර පරිදිම නාලන්ද ගෙඩිගෙය තහවුරු කිරීමට පුරාවිද්‍යාඥයෝ සමත්වූහ.

නාලන්දා ගෙඩිගෙයි තවත් ඡායාරූප මෙතනින් බලන්න


මූලාශ්‍රය
නාලන්ද, මහාචාර්ය පී.එල්. ප්‍රේමතිලක - මධ්‍යම සංස්කෘතික අරමුදල