Saturday, December 29, 2012

වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාව - Statue of Queen Victoria

 වික්ටෝරියා මහා රාජිනිය

කොළඹ නගරයේ පිහිටලා තියෙන ලංකාවේ අවසන් රජතුමා සමඟ සම්බන්ධ වෙන අවසන් සිහිවටනය විදිහට නම් කරන්න පුලුවන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සිරකර තැබූ සිර මැදිරිය ගැන කලින් සටහනෙන් අපි කතා කළා. අදත් e-අටුවාවේ බලාපොරොත්තුව කොළඹ නගරයේ තිබෙන තවත් ඓතිහාසික නිර්මාණයක් පිළිබඳව කතා කරන්න. 

අද කතා කරන නිර්මාණය ගැන කතා කරන්න ප්‍රවේශයක් ගත්තොත් මහා බ්‍රිතාන්‍යය ඇතුළු එක්සත් රාජධානියේ මහා රාජිනිය වශයෙන් 1837 ඉදන් 1901 වෙනකම් රාජ්‍යය පාලනය කරපු වික්ටෝරියා මහා රාජිනිය බොහොම ප්‍රසිද්ධ චරිතයක්.

වසර 63 ක් තමන්ගේ පාලනය අරගෙන ගිය වික්ටෝරියා මහා රාජිනිය වැඩිම කාලයක් මහා බ්‍රිතාන්‍යය ඇතුළු එක්සත් රාජධානිය පාලනය කරපු පාලිකාව විදිහටත් ඒ වගේමයි ලෝක ඉතිහාසයේ වැඩිම කාලයක් රාජ්‍යයක් පාලනය කරපු පාලිකාව විදිහටත් වාර්තාවක් පිහිටවලා තිබෙනවා.


ඉතින් වික්ටෝරියා මහා රාජිනිය ගැන මේ විදිහට කරුණු කීපයක් කතා කළේ ඇය සම්බන්ධ වෙන ඓතිහාසික නිර්මාණයක් ලංකාවේ පිහිටලා තිබෙන නිසා. ඒ ඇයගේ දියමන්ති ජුබිලිය සිහිපත් කරමින් නිර්මාණය කෙරුණු ඇගේ ප්‍රතිමාව. 

ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් වෙස්මිනිස්ටර් ඇබේහි පැවැත්වුණු දේව මෙහෙය

වික්ටෝරියා මහා රාජිනිය තමන්ගේ පාලන කාලය අවුරුදු 50 ක් පසු කිරීමත් එක්ක ස්වර්ණ ජයන්තිය පවත්වන්න නියම කරනවා 1887 ජූනි 20 වෙනිදා. ඒ සැමරුමත් එක්ක මහා බ්‍රිතාන්‍යයේ ලොකු උත්සවයක් පවත්වනවා වගේම ඊට සමගාමී මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතවලත් විවිධාකාර සැමරුම් උත්සව පවත්වනවා. 

ශ්‍රීමත් ආතර් හැමිල්ටන් ගෝර්ඩන්

ඒ වෙද්දී ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වුණු ශ්‍රීමත් ආතර් හැමිල්ටන් ගෝර්ඩන් කොළඹ රැජිණ මන්දිරය [ආණ්ඩුකාර නිල නිවස] ආසන්නයේ අක්කර 4 භූමි භාගයක් තමන්ගේ පුද්ගලික මුදලින් මිළට අරගෙන විවිධාකාරයේ අලංකාර ගස් රැසක්ම මේ උද්‍යානයේ රෝපණය කරලා අලංකාර උද්‍යානයක් බවට පත් කරනවා. මේ උද්‍යානය "ගෝර්ඩන් උද්‍යානය" වශයෙන් හැඳින්වෙනවා.

 ගෝර්ඩන් උද්‍යානය - දකුණු පස කෙළවරේ ඇත්තේ වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාවයි

1897 ජූනි 20 වෙනිදා තමන්ගේ පාලන කාලය අවුරුදු 60 ක් වීමත් එක්ක දියමන්ති ජුබිලිය පවත්වන්න වික්ටෝරියා මහා රාජිනිය තීරණය කරනවා. ඒ යටතේත් කලින් ස්වර්ණ ජයන්තියේදී සිදුවුණා වගේම මහා බ්‍රිතාන්‍යයේ වගේම යටත් විජිතවලත් උත්සව ගණනාවක් පැවැත්වෙනවා.

දියමන්ති ජුබිලි සැමරුම් උළෙල

ඒ හා සමගාමීව නිර්මාණය කෙරුණු වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාවක් 1902 අවුරුද්දේදී එවකට ලංකාවේ ආණ්ඩුකාර ශ්‍රීමත් ජෝශප් වෙස්ට් රිජ්වේගේ මූලිකත්වයෙන් ලංකාවට ගෙන එනවා. ඒ ප්‍රතිමාව ස්ථාපනය කරන්නේ වික්ටෝරියා මහා රාජිනියගේ ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් නිර්මාණය කෙරුණු ගෝර්ඩන් උද්‍යානයේ.  1902 ජූනි 25 වෙනිදා මේ ප්‍රතිමාව නිරාවරණය කෙරෙනවා.

1980 දක්වාම මහජනතාවට විවෘත පොදු උද්‍යානයක් විදිහට ගෝර්ඩන් උද්‍යානය පැවතුණත් 1980 පස්සේ ඒක ජනාධිපති මන්දිරයේ කොටසක් බවට පත් කිරීමත් එක්ක උද්‍යානයට ඇතුල්වීම සීමාසහිත වෙනවා.


ගෝර්ඩන් උද්‍යානයේ ස්ථාපනය කරලා තිබුණු වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාව 2006 වර්ෂයේදී එතැනින් ඉවත් කරලා ජාතික කෞතුකාගාර භූමියේ ස්ථාපනය කෙරෙනවා. වර්තමානයේ ජාතික කෞතුකාරයට ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වෙලා දකුණු පසට වන්නට තිබෙන ආපනශාලාව ආදිය පසු කරලා ජාතික කෞතුකාගාරයේ පිටුපසට වෙන්න තිබෙන අනෙක් ප්‍රවේශය ආසන්නයට ගියාම ඒ ප්‍රතිමාව ස්ථාපනය කරලා තිබෙනවා දැකගන්න පුලුවන්. 

ප්‍රතිමාව ගැන විස්තර කළොත් මාබල්වලින් නිර්මාණය කර ඇති මේ ප්‍රතිමාවේ පීඨිකාවද සහිතව සම්පූර්ණ උස මීටර් 4 ½ ක් පමණ වෙනවා. වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාවේ උස මීටර් 1½ ක් පමණ වෙනවා.


ප්‍රතිමාව ස්ථාපනය කරලා තිබෙන්නේ සෘජුකෝණාස්‍රාකාර පීඨිකාවක් මත. පීඨිකාව ඉදිරිපස මුහුණතේ ඉහළින්ම බ්‍රිතාන්‍ය රාජකීයයන්ගේ සංකේතය වෙන ශාන්ත එඩ්වඩ්ගේ ඔටුන්න කැටයම් කර තිබෙනවා. 

 ශාන්ත එඩ්වඩ්ගේ ඔටුන්න

ඊට පහළින් V R I කියන ඉංග්‍රීසි අකුරු තුන දැකගන්න පුලුවන්. ඒ අකුරු තුනෙන් අර්ථවත් කෙරෙන්නේ ලතින් බසින් "Victoria Regina et Imperatrix" වාක්‍යය. එහි අර්ථය තමා වික්ටෝරියා, මහා රාජිනිය සහ අධිරාජිනිය කියන එක.

ඊට පහළින් Diamond Jubilee Memorial එනම් දියමන්ති ජුබිලි ස්මාරකය යන්න සටහන් කරලා තිබෙනවා.
වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාව ගැන කතා කළොත් අසුන් ගෙන සිටින ඉරියව්වෙන් තමා ප්‍රතිමාව නිර්මාණය කරලා තිබෙන්නේ. අසුන පොළොවට සවිවන ස්ථානයේ මල් ලියකම් ඇති අතර අසුනේ ඉහළ කොටසේ සත්ව රූ දෙකක්ද ඒවා මැදි කොටගෙන ඉහළට විහිදුණු ත්‍රිකෝණාකාර මුදුනක් තිබෙනවා. 

ඒ මුදුනේ බ්‍රිතාන්‍ය කිරුළ නිර්මාණය කර තිබෙනවා. ත්‍රිකෝණාකාර මුදුන දෙපසට වන්නට ඇති සත්ව රූප දෙක වෙන්නේ බ්‍රිතාන්‍ය රාජකීය ලාංඡනයේ දැක්වෙන කිරුළු පළන් සිංහයා සහ කඟවේනායි.



මේ අසුනේ පිටුපස පැත්තට වන්නට වික්ටෝරියා මහා රාජිනිය භාවිතා කළ රාජකීය ලාංඡනය දැකගන්න පුලුවන්. එහි ඉහළින්ම විහිදෙන පටියක Hon Y Soit Qui Mal Y Pense යන වැකිය දක්වා තිබෙනවා.  නපුරු දෑ සිතන්නා පිළිබඳ ලැජ්ජා විය යුතුයි වගේ අර්ථයක් තමා ඒකෙන් කියවෙන්නේ.


ඊට පහළින් තිබෙන පලිහ කොටස් 4 කට බෙදලා විවිධාකාර රූ සටහන් දක්වා තිබෙනවා. එහි ඉහළ වම් පස සහ පහළ දකුණු පස තේජස් ලීලාවෙන් සිටින සිංහයන් තිදෙනාගෙන් එංගලන්ත රාජ්‍යයත් ඉහළ දකුණු පස කොටුකර තිබෙන නොදැමුණු ලීලාවෙන් ඉන්න සිංහයාගෙන් ස්කොට්ලන්ත රාජ්‍යයත් පහළ වම් පස තිබෙන හාප් සංගීත භාණ්ඩයෙන් අයර්ලන්ත රාජ්‍යයත් නිරූපණය කෙරෙනවා.

මේ පලිහට පහළින් ඉහළින් තිබුණු ආකාරයටම විහිදෙන පටියක Dieu et Mon Droit යන වැකිය දැක්වෙනවා. දෙවියන් වහන්සේ සහ මගේ අයිතීන් වගේ අර්ථයක් තමා ඒකෙන් කියවෙන්නේ.

මෙහි වම් පසින් ඇත්තේ වික්ටෝරියා මහා රාජිනිය පැළඳි Imperial State ඔටුන්නයි.
එහි කොටස් හා මැණික් භාවිතා කර 1937 ඔටුනු පළන් ජෝර්ජ් රජතුමා නව Imperial State ඔටුන්න නිර්මාණය කරවූ අතර අද දක්වා බ්‍රිතාන්‍ය රජුන් පළඳින්නේ එම ඔටුන්නයි.

Imperial State ඔටුන්න පළඳාගෙන ශරීරයම වැහෙන්න ගවුමකුත් හිසේ සිට පහළටම තියෙන වේල් එකකිනුත් වික්ටෝරියා මහා රාජිනිය සැරසී ඉන්නවා. ඇගේ මුහුණේ තිබෙන තේජස්බව මනාව කැපී පෙනෙන්න ප්‍රතිමාව නිර්මාණය කරලා තිබෙනවා. 

 Sceptre with the Cross

ඇගේ දකුණු අතේ Sceptre with the Cross [කුරුසය සහිත රාජ සෙංකෝලය]/ St. Edward's Sceptre [ශාන්ත එඩ්වඩ්ගේ රාජ සෙංකෝලය]/ Sovereign's Sceptre [මහා රාජිණියගේ රාජ සෙංකෝලය] කියන නම්වලින් හඳුන්වන රාජ සෙංකෝලය දැකගන්න පුලුවන්.මහා බ්‍රිතාන්‍යයේ රජුන් හෝ රාජිණියන් අභිෂේක කරන අවස්ථාවේදී ඔවුන් දකුණු අතේ තබාගන්නේ මේ රාජ සෙංකෝලය තමා. 

 Sceptre with the Cross හි ඉහළ කොටස

මේ සෙංකෝලයේ ඉහළින්ම කුරුසයකුත් ඊට පහළින් ලෝකයේ දෙවෙනියට විශාලම දියමන්තිය වුණු කුලිනන් දියමන්තියත් දැකගන්න පුලුවන්. සම්පූර්ණයෙන්ම රනින් නිම කරපු මේ යෂ්ටියේ විවිධාකරයේ වටිනා මුතු මැණික් අල්ලා තිබෙනවා.

මේ රාජ සෙංකෝලයෙන් නිරූපණය කෙරෙන්නේ ක්‍රිස්තියානි ධර්මය යටතේ මහා රාජිනියට තමන්ගේ රාජධානියේ ඇතුළේ තිබෙන ලෞකික බලය.
   
 Sovereign's Orb

වික්ටෝරියා මහා රාජිනියගේ වම් අතේ තිබෙන්නේ Sovereign's Orb [මහා රාජිනියගේ ගෝලය] නමින් හඳුන්වන ගෝලාකාර නිර්මාණයත් සම්පූර්ණයෙන්ම රනින් නිම කරලා වටිනා කියන මුතු මැණික් අල්ලලා තිබෙන්නේ. එහි ඉහළ කොටසේ කුරුසය දැකගන්න පුලුවන්. මහා බ්‍රිතාන්‍යයේ රජුන් හෝ රාජිනියන් අභිෂේක කරන අවස්ථාවේදී ඔවුන් වම් අතේ තබාගන්නේ මේ ගෝලය තමා.

මේ ගෝලයෙන් නිරූපණය කරන්නේ ලෝකය පුරා විහිදී පවතින ජේසු ස්වාමිදරුවාණන්ගේ ආදිපත්‍යය වගේම ක්‍රිස්තියානි දහමේ ආරක්ෂකයා විදිහට මහා රාජිනියගේ භූමිකාව වගේම එංගලන්ත සභාවේ උත්තරීතර නායකයා විදිහට මහා රාජිනියට තිබෙන බලය. 

 ඉන්දියාවේ කල්කටා නුවර පිහිටි වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාව

ලංකාවේ පිහිටි වික්ටෝරියා මහා රාජිනියගේ  ප්‍රතිමාවට සමාන ප්‍රතිමා වගේම විවිධාකාර ඉරියව්වලින් යුක්ත වෙන වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමා රැසක් මහා බ්‍රිතාන්‍යයේ වගේම බ්‍රිතාන්‍ය යටත් විජිත වශයෙන් පැවති රාජ්‍යවලත් දැකගන්න පුලුවන්. ඉන් එකක් විදිහට අපේ අසල්වැසියා වෙන ඉන්දියාවේ කල්කටා නුවට වික්ටෝරියා මහා රාජිනිය වෙනුවෙන් නිර්මාණය කරල තියෙන ගොඩනැගිල්ල ඉදිරිපිට තිබෙන ප්‍රතිමාව දක්වන්න පුලුවන්. 

කළුතර පුස්තකාලය අසළ පිහිටි V ජෝර්ජ් රජුගේ ප්‍රතිමාව

මේ ප්‍රතිමාව ගැන මේ තරම් කරුණු හොයන්න මම පෙළඹුනේ මුහුණුපොතේ තිබෙන කළුතර රිච්මන්ඩ් කාසල්හි පිටුවේ තිබුණු කළුතර මහජන පුස්තකාලය ගාව ස්ථාපනය කරලා තිබුණු V ජෝර්ජ් රජතුමාගේ පිළිරුව සහිත ඡායාරූපය දැකලා. 

 පඩිකාර මුහන්දිරම් ආතර් සිල්වා විජේසිංහ සිරිවර්ධන

රිච්මන්ඩ් කාසල් ඉදි කරපු පඩිකාර මුහන්දිරම් ආතර් සිල්වා විජේසිංහ සිරිවර්ධන විසින් තමා 1916 ජූලි 22 තමා තමන්ගේ පුද්ගලික මුදලෙන් මේ ප්‍රතිමාව නිර්මාණය කරවලා විවෘත කරලා තියෙන්නේ.

ඒ ප්‍රතිමාව සිව් කොණේ සිංහ රූප 4 ක් තිබෙන පීඨිකාවක් මත තමයි නිර්මාණය කරලා තිබෙන්නේ. V ජෝර්ජ් රජතුමා Imperial State ඔටුන්න පැළඳ රාජකීය ලෝගුවත් ඇතුව දකුණු අතේ රාජකීය සෙංකෝලයත් වම් අතේ කුරුසය සහිත ගෝලයත් තබාගෙන හිටගෙන ඉන්න ආකාරය තමා ප්‍රතිමාවෙන් නිරූපණය කරන්නේ. 

මේ ප්‍රතිමාව තවමත් තිබෙනවාද කියලා මම කරපු සොයා බැලීමකදී දැනගන්න ලැබුණේ ටික කාලයකට කලින් මේ ප්‍රතිමාව මහා භාරකාර දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් කළුතර මහජන පුස්තකාලය ගාවින් ඉවත් කරලා මහා බ්‍රිතාන්‍යයට විකුණුවා කියන එක. ඒ විකිණීමෙන් ලබා ගත්තු මුදලෙන් බොහොම සුළු මුදලක් තමා කළුතර මහජන පුස්තකාලයට ලබාදීලා තියෙන්නේ.

V ජෝර්ජ් රජතුමාගේ ප්‍රතිමාව මහා බ්‍රිතාන්‍යයට විකුණපු නිසා මම විශ්වාස කරන විදිහට දැනට ලංකාවේ තිබෙන බ්‍රිතාන්‍ය පාලකයෙක්ගේ එකම ප්‍රතිමාව වෙන්නේ වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාව විතරයි. 

බ්‍රිතාන්‍යයන් වේවා වෙනත් යුරෝපා ජාතියක් නිර්මාණය කළා වේවා දැන් ඒවා ලංකාවේ ඉතිහාසයත් එක්ක බැඳුණු දේවල්. ඉතින් ඒවා මේ ආකාරයෙන් රටින් බැහැර කරන එක හරි විනාශ කරන එක නම් අනුමත කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඒත් අපේ සිංහල රජ දරුවන්ගේ නිර්මාණත් විනාශ කරන කාලෙක යුරෝපීයන් සම්බන්ධ නිර්මාණවලට වෙන දේවල් ගැන අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. 

පෘතුගීසීන් තම පැමිණීම සටහන් කළ පර්වත කැබැල්ල

ඊළඟ දවසේ e-අටුවාවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවට පෘතුගීසීන්ගේ පැමිණීම සිහිපත් කරන්න ඔවුන් ගල් කුට්ටියක කරපු නිර්මාණය ගැන. ඒ ගැන තවමත් තොරතුරු සොයමින් ඉන්නේ. කරුණු සොයාගත් සැණින් සටහන ලියන්න බලාපොරොත්තු වෙනවා.

වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාව සම්බන්ධ තවත් ඡායාරූප බලන්න මෙතනින් යන්න

විශේෂ ස්තුතිය : කළුතර මහජන පුස්තකාලය අසළ තිබුණු V ජෝර්ජ් රජතුමාගේ ප්‍රතිමාව ගැන තොරතුරු සොයන්න උදව් කරපු සරසවි මිතුරිය තිළිණි චාමිකා සිල්වාටත්, ඇයගේ තාත්තාටත්, ජාතික කෞතුකාගාර භූමියේ තිබෙන වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාවේ ඡායාරූප ගත්තු ඉසුරු නානායක්කාර මිතුරාටත්

36 comments:

  1. කෞතුකාගාරය පිටිපස විහාරමහාදේවියගේ නමින් නවතැහැ නාමකරණය වූ උද්‍යානය දිහා බලාගෙන තාමත් මගේ සංස්කෘතික ටොපිය කාපු මෙවුන් ගැන දුකෙන් ඇය පසුවන්නීය. ඇය පසුකර ලෝකය පෙරට ගියද අප තවමත් ඇය සමගයි

    http://nikamata.blogspot.com.au/2012/02/blog-post.html

    ReplyDelete
    Replies
    1. @ Sujeewa Kokawala

      මේ ගැන මට හිතෙන්නේ වික්ටෝරියාගේ සංස්කෘතිය ටොපිය කාපු සමහරු වික්ටෝරියාටත් වඩා ඒක බදාගෙන තව ඉස්සරහට අරගෙන ගියා කියලා

      Delete
  2. අතිශයින්ම වටිනා කරුණු කාරනා රැසක් සපිරි ලිපියක්. බොහොම ස්තුතියි මෙවන් තොරතුරු අප වෙත ගෙන ඒම ගැන.

    ReplyDelete
    Replies
    1. @ Naleen Dilruksha

      බොහොම ස්තුතියි අගය කිරීම ගැන :)

      Delete
  3. ස්තුතියි ... වටින කරුණු ටිකක්
    :)

    ReplyDelete
    Replies
    1. @ Tiraj Adikari

      බොහොම ස්තුතියි අගය කිරීම ගැන :)

      Delete
  4. ම්ම්ම්ම්ම් හොඳයි අද මෑත ඉතිහාසයට ආපු එක​.... මම පොඩි දවස්වල මට මතකයි කලුතර බෝධිය සහ මහජන පුස්තකාලය අතර භූමියෙ ජෝර්ජ් රජ්ජුරුවන්නෙ පිලිමයක් තිබ්බ​.... එක අතකට හතලිස් ගනන් වලට පස්සෙ ලන්කාවෙ පාලනයට පත්වෙච්ච කාලකන්නි පාලකයන්ට වඩා මේ මිනිස්සු ලංකාවට වැඩක් කරා බං ඒ නිසා පිලිම හදල වැන් දත් පවු නැ..... වික්ටෝරියාට පින්සිදුවෙන්න අපේ රටේ සදාචාරයත් තාම රැකිල තියනව.... ඒ උනාට අපේ රටේ තියන තරම් වික්ටෝරියානු සදාචාරය අද එඞලන්තෙ වත් නැතිනිසා වික්ටෝරියාගේ පිලිමයට වැඩඉන්න සුදුසුම රට අපේ රට

    ReplyDelete
    Replies
    1. @ Rusiru

      අයියා පොඩි කාලෙත් ජෝර්ජ් රජ්ජුරුවන්ගේ පිළිමේ තිබ්බාය කියන්නේ ඒක මෑතකදී වෙන්න ඕනේ එංගලන්තයට විකුණන්න ඇත්තේ.

      හැබැ‍යි වික්ටෝරියා නිසාම අපේ සදාචාරය රැකුණා කියන්න බැහැ. ඒකට තව සාධක බලපාල තියෙනවා. ඒ වගේමයි වික්ටෝරියාගේ සදාචාරය අපේ අය වික්ටෝරියාටත් වඩා ඉස්සහට ගෙනිහින් තියෙනවා :D

      Delete
  5. අදත් නොදන්න කරුණු කාරණා ටිකක් ඉගෙන ගත්තා

    ReplyDelete
    Replies
    1. @ මධුරංග

      සන්තෝෂයි සන්තෝෂයි

      Delete
  6. මාත් ආස කරන විශයක් තමා ඉතිහාසය .

    ReplyDelete
    Replies
    1. @ අයිරාවන

      මේ වගේ තව අය ඉන්න එක ලොකු හයියක් :)

      Delete
  7. මමත් නොදන්නා දෙයක් දැන ගත්තා ඕං.. ස්තුතියි මල්ලි!!

    ReplyDelete
    Replies
    1. @ Chandana

      සන්තෝෂයි සන්තෝෂයි

      Delete
  8. වටිනවා මල්ලී ගොඩක් ස්තූතියි..!

    ReplyDelete
    Replies
    1. @ Lishan Puwakowita

      බොහොම ස්තුතියි අගය කිරීම ගැන :)

      Delete
  9. Replies
    1. @ ධමිමික ස‍‍දරුවන්

      බොහොම ස්තුතියි අගය කිරීම ගැන :)

      Delete
  10. තවත් මොන වගේ දේවල් විකුනලද දන්නේ නෑ ඔය වගේ,,,වටිනා පෝස්ට් එකක් හසිත

    ReplyDelete
    Replies
    1. @ ItalyDilan

      තව මොනවද විකුණලා තියෙන්නේ කියනවාටත් වඩා උචිත මොනවද විකුණලා නැත්තේ කියලා හොයන එක. එක පාරක් අරලියගහ මන්දිරේ තිබුණු වටිනා චිත්‍රයක් ලන්ඩනයේ විකුණන්න තිබිලා හමුවුණාලු :( [ටික කාලෙකට කලින්]

      Delete
  11. හසිතව බ්ලොග් වල කලින් කොච්චර් දැකල තිබ්බත් මට මේ බ්ලොග් එක නම් කලින් දකින්න බැරි වෙලා ,
    ඇවිද්ද පය , සුදිකාගේ බ්ලොග් එකේ මාර්ගෙන් තමයි මමත් මේක නම් දැක්කේ අද ,

    ReplyDelete
    Replies
    1. @ නොහික්මුණු ඇස

      සුදීක අයියාගේ වැඩෙන් හුඟක් දෙනා හුඟක් බ්ලොග් ගැන දැනගත්තා බව පැහැදිලියි. ස්තුතියි මේ පැත්තේ ගොඩවැදුණාට

      Delete
  12. මමත් රිච්මන්ඩ් කාසල් එක බලන්න දෙතුන් පාරක් ගියා. මාරයි.. දැං ඒකෙ ළමා නිවාසයක් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. @ යසිත්ගේ සිතුවිලි

      ළමා නිවාසයක් හදන එක මුදලිතුමාගේ අන්තිම කැමැත්තෙන් වෙලා තියෙන්නේ. මුදලිතුමාගේ බිරිඳ අනියම් සබඳතාවක් පැවත්වීමත් එක්ක ඇයව දෙමාපියන්ට භාර කරන මුදලිතුමා වතු පිටි දේපළ සියල්ලම පරිත්‍යාග කරලා මහනුවර රැජිණ හෝටලේ වාසය කරද්දී තමා මියයන්නේ

      Delete
  13. එක පෝස්ට් එකක් ලියන්න ඔබ තරම් මහන්සි වෙන තව කෙනෙක් මේ බ්ලොග් අවකාශෙ තුල මං නම් දැක නැත... මූලාශ්‍ර සොයාගැනීම,තොරතුරු පෙලගැස්වීම ඉතා අනර්ඟයි

    ReplyDelete
    Replies
    1. @ සමී

      මගේ මහන්සිය අගය කරන්න ඔබ වැනි අය ඉන්න නිසා තමා තව තවත් ලිපි ලියවෙන්නේ. ස්තුතියි :)

      Delete
  14. ස්තූතියි හසිත. අද තමා මේ ගැන දැන ගත්තේ.

    ReplyDelete
    Replies
    1. @ Gihan (ගිහාන්)

      සන්තෝෂයි සන්තෝෂයි :)

      Delete
  15. මම අහල තියන හැටියට ජෝර්ජ් රජුගේ ප්‍රතිමාව යටින් තිබුණු සිංහ රූප තමයි දැන් කළුතර නගරයේ ඔරලෝසු කණුව උඩ සවිකරලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. @ Anonymous February 4, 2013 at 5:14 PM

      ස්තුතියි විස්තරේට. මම අන්තර්ජාලයෙන් කළුතර ඔරලෝසු කණුවේ පින්තූරයක් බැලුවා. ඒ සිංහ පිළිම 4 තමා ඔරලෝසු කණුවේ තියෙන්නේ. ඒකේ ඡායාරූපයක් ගන්න කියලා කළුතර ඉන්න මගේ හිතවතෙක්ට කියලා තියෙන්නේ. ඉදිරියේදී ඒක පළ අක්‍රන්න පුලුවන් වෙයි. නැවත වරක් බොහොම ස්තුතියි විස්තර කිව්වාට :)

      Delete
  16. ඔන්න මං විස්තරේ කියෙව්වා හසිත... මෙතැන ගොඩාක් විස්තර තියෙනවා... අර පරණ පින්තූරෙන් පෙනෙන්නේ ගෝඩන් උද්‍යානය ඒ කාලෙ බොහොම ලස්සනට තිබුණු බව... ඒකෙ පින්තූරයක්වත් හොයාගන්න නැද්ද දන්නෑ අද තත්වය ගැන... මෙහේ තියෙන වික්ටෝරියා රැජිනගෙ ප්‍රතිමාව හිටගෙන ඉන්න එකක්... ඒකෙත් ඔය බෝලෙයි, සෙංකෝලෙයි තියෙනවා අත් දෙකේ... මූණ අර ෆොටෝ එකේ විදියටම අඹලා තියෙනවා.... බොහොම ස්තුතියි විස්තරේට...

    ReplyDelete
    Replies
    1. @ Miyuru

      දැනුත් ගෝර්ඩන් උද්‍යානේ ලස්සනට ඇති. ජනාධිපති කාර්ය මණ්ඩලයෙන්නේ නඩත්තු වෙන්නේ. අනිත් අයට බලන්න බැරි එක තමා අවුල. ෆොටෝ ගන්න දෙන්නේ නැති නිසා අලුත් ෆොටෝ නැතුව ඇති.

      වික්ටෝරියාගේ ගෝල්ඩන් හරි ඩයමන්ඩ් ජුබිලි දෙකෙන් එකකට පිහිටවපු පිළිමයක් වෙන්න ඕනේ අක්කලාගේ පැත්තේ තියෙන්නේ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ හැම රටකට වගේ මේ විදිහට පිළිම පිහිටවපු බව පේනවා.

      Delete
  17. බ්ලොග් සටහනක පිටුපස සැඟවී තිබිය යුතු කැපවීම පෙන්වන හොඳම නිදසුනක් තමයි ඔබේ අඩවිය තුලින් මා දුටුවේ.. අනර්ඝයි සහෝදරයා,තවත් මෙවැනි සටහන් තැබීමට දිරිය ඉදිරියටත් ලැබේවා!

    ReplyDelete
    Replies
    1. @ කරුණාරත්න

      ස්තුතියි අගය කිරීමට :)

      Delete
  18. e-අටුවාව අනාගතයේදී ඉතිහාසය පිලිබඳ දැනුම සොයා යන්නන්ගේ විශ්ව කෝෂයක් වීම නියතයි.

    ReplyDelete
    Replies
    1. @ සු දී ක

      ස්තුතියි ස්තුතියි අයියා :D

      Delete