Saturday, January 7, 2012

නාලන්ද ගෙඩිගේ - Nalanda Gedige [Image House]


ශ්‍රී ලංකාවේ හරි මැද කොහේද දන්නවාද ? ශ්‍රී ලංකාවේ හරි මැද යැයි විශ්වාස කරන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ නාලන්ද ප්‍රදේශයේ පිහිටා තිබෙන නාලන්ද ගෙඩිගෙයයි. අද e- අටුවාවේ අවධානය යොමුවෙන්නේ සුවිශේෂී ගෘහ නිර්මාණ සම්ප්‍රදායකටද උරුමකම් කියන මෙම නාලන්ද ගෙඩිගෙය පිළිබඳවයි.


නාලන්ද ගෙඩිගෙය නැරඹීමට යන මාර්ගය පිළිබඳ මුලින්ම සඳහන් කළහොත් මහනුවර යාපනය ප්‍රධාන මාර්ගයේ මාතලේ සිට දඹුල්ලට යාමේදී කිලෝ මීටර 48 කණුව ආසන්නයෙන් දකුණු දෙසට තිබෙන මාර්ගයේ කිලෝ මීටර 1.2 පමණ ගමන් කිරීමෙන් පසුව නාලන්ද ගෙඩිගෙයට ළඟා විය හැකියි.

විසිරී ඇති කැටයම් ආදිය සහිත ගල් කැබලි

මේ පුරාවිද්‍යා භූමියට පිවිසුණු විට මුලින්ම හමුවන්නේ තැන් තැන්වල විසිරුණු ගල් කැටයම් සහිත ගල් කැබලි මෙන්ම බිත්ති සඳහා භාවිත කළ ගල් කැබලි රාශියක්. ඒවා එක ස්ථානයකට ගොඩ ගසා ඇති අතරම කැටයම් සහිත ගල් කැටයම් මෙන්ම කුළුණු හිස් නාලන්ද ගෙඩිගෙයට යන මාර්ගය දෙපස තබා තිබේ.

මාර්ගය දිගේ ගමන් කළ පසු බෝවතැන්න ජලාශයෙන් වටවී ඇති උස් බිමක පිහිටා තිබෙන නාලන්ද ගෙඩිගෙය මෙන්ම වේදිකාවක් මත ඉදිකරපු ස්ථූපයක් සහ බෝධි වෘක්ෂයකුත් මේ ස්ථාන 3 වට කරමින් ඉදි කරලා තිබෙන ගඩොල් ප්‍රාකාරයත් දැකගත හැකියි.

නාලන්ද ගෙඩිගේ ඉතිහාසය ඒ සමඟ බැඳුණු අනෙක් අංගත් සමඟ කතා කරමු.

ශිලාමය නිර්මාණයක් වෙන නාලන්ද ගෙඩිගෙය සම්පූර්ණයෙන්ම කළු ගල් භාවිත කොට නිමවා නිමවී ඇති අතර ඉන්දියාවේ ක්‍රි.පූ.6 වන සියවසේ සිට 9 වන සියවස දක්වා පැවති පල්ලව අධිරාජ්‍යය සමයේ තිබුණු පල්ලව ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණුතම අවදිය ලෙස සැලකෙන නරසිංහවර්මන් හෙවත් මාමල්ල ශෛලිය ගෙඩිගේ නිර්මාණයට යොදා ගෙන තිබේ.



ඉහළ ඡායාරූපයේ ඇති මාමල්ලපුරම් සම්ප්‍රදායේ දෙවොලක් සහ පහළ ඡායාරූපයේ ඇති නාලන්ද ගෙඩිගෙයි ඇති සමානකම

පාලර් නදී මුවදොර පිහිටි මහාබලිපුරම්හි කඳුගැටයක තිබෙන මාමල්ල ශෛලියේ නිර්මාණවල සම්පූර්ණ කළු ගලින් නිමවා තිබීමත් වහලය ශිඛරයක් ආකාරයෙන් සකස් කොට තිබීමත් විශේෂ ලක්ෂණයි. එමෙන්ම විවිධ දෙවි දේවතාවුන්ගේ මෙන්ම සැරසිලිවලින් ගලින් කළ වහල ශිඛරය හැඩගැන්වීම පල්ලව ගෘහ නිර්මාණයේ අනන්‍යතාවයන්ය.

පල්ලව ගෘහ නිර්මාණ ශිල්පයේ හින්දු කෝවිලක ස්වරූපයෙන්ම නාලන්ද ගෙඩිගේ නිර්මාණය කර ඇති අතරම ඉදිකිරීම් කටයුතුවලදී ථේරවාද මෙන්ම මහායාන ඇදහිලිත් ඒ වගේම පෙර දැක්වූ පරිදි හින්දු ඇදහිලිත් මිශ්‍ර කර තිබේ. එලෙස පල්ලව ශෛලිය යටතේ ඉදිකළ වර්තමානය වනවිට ලංකාවේ ඉතිරිව තිබෙන එකම බුද්ධ ප්‍රතිමා මන්දිරය වන්නේ නාලන්ද ගෙඩිගෙයයි.

මේ නිර්මාණයේ කාල නිර්ණය සඳහා සාධක කීපයක් උපයෝගී කොටගෙන ඇති අතර ඒවා මෙලෙස දැක්විය හැකියි. ශ්‍රී ලංකාවේ නිර්මාණයන්ට පල්ලව ආභාෂය ලැබෙන්නේ ක්‍රි.ව 691 න් පසුවයි. ඒ ඒ වන විට ලංකාව පාලනය කළ හත්ථදාඨ රජු පරදා ලාංකික කුමරෙක් වුණු මානවම්ම කුමරුට රාජ්‍යය ලබාදීමට II නරසිංහවර්මන් රජු දායක වීමත් සමඟයි.

නිල්ලග්ගම බෝධිඝරය

ඉන් පසු පල්ලව ආභාෂය යටතේ ලංකාවේ ඉදිවුණු තවත් සුවිශේෂී නිර්මාණයක් විදිහට නිල්ලග්ගම බෝධිඝරයත් දැක්විය හැක.

ඉහත දක්වපු කරුණ මෙන්ම නාලන්ද ගෙඩිගේ කාල නිර්ණයට ඒ භූමියෙන් හමුවුණු ටැම් ලිපියකුත් පාදක වී ඇති අතර මේ වන විට නාලන්ද ගෙඩිගේ පුරාවිද්‍යා භූමියේ පිහිටි කෞතුකාගාරය එය තැන්පත්ව ඇත.

නාලන්ද ගෙඩිගේ ටැම් ලිපිය

එහි දක්වන්නේ විෂමාචාර ලෙස හැසිරෙන විහාර කාර්මිකයන් විහාර භූමියෙන් නෙරපිය යුතු බවත් මිනීමරුවන්, සොරුන් විහාර භූමියට වැද්ද නොගත යුතු බවත් විහාරයේ සියලු කටයුතු සංඝ සම්මුතියෙන් කළ යුතු බවත්ය. අක්ෂර විකාශනය අනුව මේ ලිපිය ක්‍රි.ව. 9 - 10 සියවස්වලට අයත් බව නිගමනය කර ඇති අතර මෙම කරුණු පාදක කොටගෙන නාලන්ද ගෙඩිගෙය ක්‍රි.ව. 8 - 10 අතර කාලයේදී නිමවන්නට ඇතැයි නිර්ණය කර ඇත.

ඉහත දැක්වූ ටැම් ලිපියෙන් මෙන්ම භූමියේ විසිරී පවතින ගල් කැබලිවලින්ද මෙහි විහාර සංකීර්ණයක් පිහිටා තිබූ බවත් එය මනා සංවිධානාත්මක බවකින් යුක්ත වූ බවත් අනුමාන කළ හැක.

මේ හැරෙන්නට නාලන්ද ගෙඩිගෙයට ඊටත් වඩා පැරණි ඉතිහාසයක් ඇති බවටද මත දක්වන අතර රාවණ රජ සමය දක්වා එය විහිදෙන බව කියවේ. රාවණා රජුගේ පුත් ඉන්ද්‍රජිත් තමන්ගේ යාග හෝම කටයුතු සඳහා මේ ස්ථානය භාවිත කළ බවත් මේ ස්ථානයේ විශ්ව ශක්තියක් ගැබ්ව ඇති බවත් කියවේ.

මේ ස්ථානයේ ප්‍රධාන ඉදිකිරීම වෙන නාලන්ද ගෙඩිගේ පිළිබඳව ප්‍රධාන අංග 3 ක් යටතේ කරුණු දැක්විය හැකි අතර ඒවා නම්

  • ඉදිරිපස පිවිසුම
  • මණ්ඩපය
  • ගර්භ ගෘහය
ඉදිරිපස පිවිසුම පිළිබඳ කතා කිරීමේදී මුලින්ම කැටයම් රහිත සඳකඩපහණක් හමුවෙන අතර පඩිපෙළ දෙපස සරල කැටයමින් යුක්ත වෙන කොරවක්ගල් දෙකක් දැකගත හැකිය. සඳකඩපහණ දෙපස මුරගල් දෙකක් වර්තමානය වන විට නොමැති වුණත් අතීතයේදී තිබුණා විය හැක.

ඉදිරිපස ආලින්දය වැනි කොටස

පඩිපෙළ නැගීමෙන් පසුව හමුවන ආලින්දය වැනි කොටසින් මණ්ඩප කොටසට පිවිසීමේදී ගල් උළුවස්සක් ඇති අතර එය පාදමට සවිවන ස්ථාන දෙපස ඇත් රූ දෙකක්ද දැකගත හැකියි. ගල් උළුවස්සේ හරි මැදට වන්නේ හින්දු ආගමේ වන්දනාවට ලක්වෙන ගජ ලක්ෂමී දෙවඟනගේ කැටයමක් දැකිය හැක.

නාලන්ද ගෙඩිගේ ඇති ගජ ලක්ෂ්මී කැටයම

පොළොන්නරු ගල් පොතේ ඇති ගජ ලක්ෂ්මී කැටයම

එවැනි කැටයමක් මීට පසුකාලීනව පොළොන්නරු යුගයේදී නිශ්ශංකමල්ල රජතුමාගේ ගල් පොත සෙල්ලිපියේ දකුණු පසට වන්නට ඇති අතර හින්දු ආභාෂය මෙම බෞද්ධ නිර්මාණයට තදින්ම හිමිව ඇති බවට එක් නිදසුනක් වන්නේ ඒ ගජ ලක්ෂ්මී රුවයි.

මණ්ඩප කොටසට පිවිසුණු පසු දෙපස එක් පේළියකට ගල් කුළුණු 4 බැගින් වූ ගල් කුළුණු 8 ක් ඇති අතර ඒ ගල් කුළුණු සියල්ලේම හිස කොටසේ සතර පැත්තේම එක හා සමානවම මුහුණක් වැනි කැටයමක් ඇති අතර ගල් කුළුණුවල පහළ කොටස්වලද එක හා සමානවම ගල් කැටයම් කර තිබේ.

කුළුණු සහිත මණ්ඩප කොටස

මණ්ඩපය පසු කරමින් ඉදිරියට ආවිට ගර්භ ගෘහය හමුවන අතර ගර්භ ගෘහය වටා ගමන් කළ හැකි අයුරින් එය නිමවා ඇත. ගර්භ ගෘහයට පිවිසෙන දොරටුවට ඉහළින් විමාන වැනි නිර්මාණ 5 කුත් බුදුන් වහන්සේගේ යැයි අනුමාන කළ හැකි ධ්‍යාන වඩන පුද්ගලයන් දෙදෙනෙකුගේ රූ ද කැටයම් කොට ඇත.

ධ්‍යානී පුද්ගලයන් සහ විමාන සහිත කැටයම

හින්දු කෝවිලක ගෝපුරක් ආකාරයට නිමවා ඇති ගර්භ ගෘහයේ වහළයේ විවිධාකාරයේ මුහුණු වැනි කැටයම්ද දැකගත හැකි අතර මුදුනේ දෙපස උල් හැඩයේ කොටස් දෙකක්ද නිමවා තිබේ. ඒ මුදුන් දෙකට පහළින් වන දෙපස කොටස්වලින් වම් පස කොටසේ එක් කකුලක් නමා අනෙක පහළට දමා සිටින පුද්ගලයෙකුගේ රුවක් දැකගත හැකි අතර දකුණු පස කොටසේ නිර්මාණය හඳුනා ගත නොහැකිය.

හින්දු ගෝපුර ආකාරයේ වහළ

වහළයේ දකුණු පස හා වම් පස පැති

ගර්භ ගෘහයට ඇතුලුවීමට එක් පඩියක් බැසිය යුතු අතර සරල ආකාරයේ සඳකඩපහණක් ඒ පඩිපෙළ පාමුල දැකගත හැකිය. ගර්භ ගෘහය තුළ ප්‍රතිමා 5 ක් දැකගත හැක. මධ්‍යයට වන්නට පද්මාසනයක් මත හිටි බුදු රුවක් දැකගත හැකි අතර එහි මුද්‍රාව අවුකන බුදුරුවේ මුද්‍රාවට සමානය. දකුණු අතින් ව්‍යාකරණ මුද්‍රාවද වම් අත වැලමියෙන් ඉහළට නැමී ඇඟිලි තුඩු වම් උරහිස ස්පර්ශ වන අයුරින්ද නිමවා ඇත.

ප්‍රධාන හිටි බුද්ධ ප්‍රතිමාව

ප්‍රධාන බුදු පිළිමයට දකුණු පසින් පද්මාසනයක් මත ඉදිකළ තවත් හිටි බුදුරුවක් දැකගත හැකි අතර එහි පපු ප්‍රදේශයෙන් ඉහළ කොටස විනාශ වී ඇත. ප්‍රධාන පිළිමයට වම් පසින් තවත් පිළිමයක කොටස් කීපයක් ඇති අතර එය බොහෝවිට බෝධිසත්ව පිළිමයක් විය හැක.

මේ හැරෙන්නට ගර්භ ගෘහය තුළ විශේෂ ප්‍රතිමා දෙකක් දැකගත හැකි අතර ඒවා නම් ගර්භ ගෘහයට පිවිසෙන ප්‍රධාන දොරටුව ආසන්නයට වන්නට ඉදිකර ඇති ගණ දෙවියන්ගේ පිළිමය හා අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ ප්‍රතිමාවයි.

ගණ දෙවියන්ගේ ප්‍රතිමාව

ප්‍රධාන දොරටුවෙන් වම් පස ඇති ගණදෙවියන්ගේ පිළිමය ඉදිකිරීමෙන් අතීතයේ පටන් නුවර කලාවිය ප්‍රදේශයේ ගණ දෙවියන් වන්දනා කිරීම පැවති බවට නිගමනය කළ හැකි අතරම හින්දු ආභාෂයේ බලපෑමත් හොඳින් දැකගන්න පුළුවන.

අවලෝකිතේශ්වර ප්‍රතිමාව

ප්‍රධාන දොරටුවෙන් දකුණු පස ඇති අවලෝකිතේශ්වර බෝසතුන්ගේ ප්‍රතිමාවෙන් එකල පැවති මහායාන බලපෑම ගැන මෙන්ම ආරක්ෂක දෙවියෙක් ලෙස අවලෝකිතේශ්වර බෝසතුන්ට වූ පිළිගැනීම වටහා ගත හැකියි. මුල්කාලීනව කළ සංරක්ෂණ කටයුතුවලදී මෙම අවලෝකිතේශ්වර ප්‍රතිමාව මුරගලක් යැයි වරදවා වටහා ගෙන තිබුණද පසුව කළ ප්‍රතිසංස්කරණවලදී එය නිවැරදි කොට මෙලෙස ගර්භ ගෘහය තුළ නැවතත් ස්ථාපනය කොට ඇත.

ප්‍රාකාරයේ ඇති මෛථුන කැටයම

නාලන්ද ගෙඩිගෙය බිත්ති පිටපැත්තෙන් නිරීක්ෂණය කිරීමේදී ඒ බිත්තිවලද කැටයම් සහිත ගල් දැකගත හැකි අතරම හින්දු කෝවිල්වල දැක්වෙන කාම සූත්‍රයේ විවිධාකාර කැටයම් අතුරින් මෛථූන සේවනයේ යෙදෙන ආකාරය දැක්වෙන කැටයමක්ද දැකගත හැකිය. එසේම ජලය මණ්ඩපය තුළට එක්වන ජලය බැසයාමට සකස් කළ කාණු කටවල්ද මෙහිදී දැකගත හැකිය.

ස්ථූපය

මේ භූමියේ පිහිටි අනෙක් නිර්මාණය වන්නේ පෙර දැක්වූ පරිදි වේදිකාවක් මත පිහිටවූ ස්ථූපයයි. ගෙඩිගෙයට උතුරින් පිහිටි මෙම ස්ථූපය පසුකාලීනව නිදන් හොරුන්ගේ ප්‍රහාරයට ලක්ව තිබුණු අතර සෙනරත් පරණවිතානයන්ගේ මූලිකත්වයෙන් මුල්වරට සංරක්ෂණ කටයුතු කරන ලදී.

මේ හැරෙන්නට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පිහිටුවා ඇති කෞතුකාගාරයක් මෙහි ඇති අතර මේ ස්ථානයෙන් හමුවුණු විවිධාකාරයේ ගල් කැටයම් මෙන්ම නාලන්ද ගෙඩිගේ ටැම් ලිපියද එහි තැන්පත් කර ඇත.

නාලන්ද ගෙඩිගේ මෑත කාලීන ඉතිහාසය සොයා බැලීමේදී ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා කටයුතු සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටවූ කාලයේදීම පුරාවිද්‍යා කොමසාරිස් H.C.P. බෙල් මහතාගේ අවධානය මෙයට යොමු වූ අතර ඒ යටතේ 1893 දී රජයේ පොදු වැඩ දෙපාර්තමේන්තුවෙන් පස්වලින් යටව තිබුණු ගෙඩිගේ දකුණු පස කොටස් රාශියක් පාදා ගන්නා ලදී. 1911 දී බෙල් මහතා මෙහි පස්වලින් යටව තිබූ සියලු කොටස් පාදා ගත් අතර තහවුරු කිරීමකට උපයෝගී කරගත හැකි අන්දමින් එම කොටස් එතුමාගේ මග පෙන්වීමෙන් තැන්පත් කෙරුණි.

බෙල් මහතා විශ්‍රාම යාමත් සමඟ නැවතත් නාලන්ද ගෙඩිගේ පිළිබඳ අවධානය යොමු නොවුණු අතර 1927-28 කාලවලදී ගෙඩිගෙයි වේදිකාව මත පැතිර තිබුණු නුග මුල් ඉවත් කිරීමක් වුණු අතර එහිදී වේදිකාවේ කොටසක් පවා ගලවා ඉවත් කරන්නට සිදුවුණි. ඊට පසුවද මෙම ගොඩනැගිල්ලේ ගස් ඉවත් කිරීමක් හැරෙන්නට වෙනත් ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදු නොවුණි. සෙනරත් පරණවිතාන සමයේදී එනම් 1953 දී ගෙඩිගෙයි මළුවේ පනා බැමි මතු කරගත් අතර පෙර දැක්වූ පරිදි ස්ථූපය ප්‍රතිසංස්කරණය කෙරුණි.

පසුව ගෙඩිගේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් වූයේ 1970 දශකයේ කළ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයෙන් ගෙඩිගේ තිබුණු ප්‍රදේශයට බෝවතැන්න ජලාශයට යටවීමට නියමිත වූ හෙයිනි. ඒ යටතේ ගෙඩිගෙය රැක ගැනීමට මිසරයේ අස්වාන් වේල්ල ඉදිකිරීමේදී අබු සිම්බල් දෙවොල ගලවා ඉවත් කර වෙනත් ස්ථානයක ඉදිකළ පරිද්දෙන් සියලුම කොටස්වල සංකේත යොදා ගෙඩිගෙය ගලවා පුරාවිද්‍යා කාර්යාලයේ තැන්පත් කෙරුණි.



අබු සිම්බල් දෙවොලේ නැවත ඉදිකිරීම

එනිසා ගෙඩිගේ පාදමද කැණීමට පුරාවිද්‍යාඥයින් සමත් වූ අතර චතුරශ්‍රාකාර ශිලාමය පදනමක් පාදා ගැනීමටද හැකිවිණි.

ගෙඩිගේ නැවත සැකසීම ඒ ප්‍රදේශයේ කඳු මුදුනක කිරීමට මුලින් යෝජනා වුවද පසුව නැවතත් එය මුලින් පිහිටි ස්ථානයේම ඉදිකිරීමට යෝජනා වූ නිසා 1977 දී එවකට සංස්කෘතික කටයුතු අමාත්‍ය E.L.B. හුරුල්ලේ මැතිතුමාගේ තීරණය මත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති මහාචාර්ය P.L. ප්‍රේමතිලක මහතාගේ අධීක්ෂණයෙන් එය සිදුකෙරුණි.


නාලන්ද ගෙඩිගේ නැවත සැකසීම

ඒ යටතේ මහවැලි සංවර්ධන අධිකාරිය මඟින් නාලන්ද ගෙඩිගේ පිහිටි ස්ථානයේ අඩි 23 ක් උස හතරැස් බිම්කඩක් මෙන්ම ඒ උසින්ම මාර්ගයක්ද ඉදිකෙරුණු අතර 1980 දී මහාචාර්ය P.L. ප්‍රේමතිලක සහ පෙදරේරු M. විමලදාස යටතේ වැඩ ආරම්භ වුණි.

මුල් කාලීන සංරක්ෂණයන්හිදී සිදුවූ වැරදි නිවැරදි කරමින් ගර්භ ගෘහයේ වහළ සම්පූර්ණ කරමින් මේ සංරක්ෂණය අවසන් වුණු අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ ආකාරයේ කාර්යයක් කළ ප්‍රථම අවස්ථාව මෙය වූ නමුත් මැනවින් පෙර පරිදිම නාලන්ද ගෙඩිගෙය තහවුරු කිරීමට පුරාවිද්‍යාඥයෝ සමත්වූහ.

නාලන්දා ගෙඩිගෙයි තවත් ඡායාරූප මෙතනින් බලන්න


මූලාශ්‍රය
නාලන්ද, මහාචාර්ය පී.එල්. ප්‍රේමතිලක - මධ්‍යම සංස්කෘතික අරමුදල

31 comments:

  1. වැදගත් ලිපියක්. ස්තුතියි බෙදා ගත්තට.

    ReplyDelete
  2. මාත් කැම්පස් ඉන්න දවස්වල නාලන්දා ගෙඩිගේ බලන්න ගියා. (නුවරින් මාතලේ හරහා දඹුල්ලේ යන ඕනම බස් එකක ගිහින් නාලන්දා ඉස්පිරිතාලේ ගාවින් බැහැලා දකුණු පැත්තේ තියෙන අතුරු පාරේ යන්න ඕනා.)

    බෝවතැන්න ජලාශෙට යට වෙන්න ගියපු නාලන්දාව ගොඩ ගන්න අපේ අය කරපු වෑයම නම් ප්‍රශංසනීයයි.

    මල්ලිගේ ලිපියෙන් නොදන්න ගොඩක් දේවල් දැනගත්තා. ඒ වගේම අටුවාව ආයෙම ලියන ගත්තා එකත් ගොඩක් වටිනවා.

    ReplyDelete
  3. කාලෙකින් ලිපියක් දාලා තියෙන්නේ...

    ඔබ ලිපිය පටන් ගනිද්දිම කිව්වනේ නාලන්ද ගෙඩිගේ තියෙන්නේ හරියටම ලංකාවේ මැද කියලා.. ඒ කියන්නේ අළුත් තැනද, පරණ තැනද ?

    වටිනා ලිපියක්.. දිගටම ලියන්න..

    ReplyDelete
  4. Praසන්ன , මධුරංග

    ස්තුතියි හැමදාම වගේම අදත් දුන් සවියට :)

    ආයෙත් ලියන්න පටන් ගත්තා කිව්වට එහෙමම එකක් නැහැ මධුරංග අයියේ. e-අටුවාවට ස්ථානයක් ගැන මම ලිපියක් ලියනවා නම් මම ඒකට ගිහින් තියෙන්න ඕනේ. ඒ වගේම ඒ ගැන අන්තර්ජාලයේ වගේම පොත් පත්වලත් තියෙන තොරතුරු අඩුවෙන්න ඕනේ, ඒ වගේම එච්චරම මහජන අවධානයක් නැතිවෙන්න ඕනේ කියන කරුණුත් එක්ක තමා මම ලිපි ලියන්නේ.

    අනික් කාරණය තමයි ඒ ස්ථානය ගැන කරුණු කාරණා හොයන්න ඕනේ වගේම ඒවා නිවැරදිද කියලා හොයන්න ඕනේ එක. අනික මට වෙලාවක් තියෙන්නත් එපැයි :)

    ඒ ඔක්කොමත් එක්ක e-අටුවාවට ලිපියක් ලියද්දී හුඟක් කල් යනවා.

    ReplyDelete
  5. Senna

    නාලන්ද ගෙඩිගේ මුලින් තිබුණු ස්ථානයේමයි අලුතින් සවිකරලාත් තියෙන්නේ. මුලින් තිබූ ස්ථානයේම අලුතින් පස්වලින් හතරැස් බිමක් හදලා ඒ මත අලුතින් නාලන්දා ගෙඩිගේ ප්‍රතිනිර්මාණය කළා.

    ස්තුති දිරිගැන්වීමට :)

    ReplyDelete
  6. මගේ හිත ඇදගත්තේ අර හොරුන්ට මිනීමරුවන්ට එන්න තහනම් කල ශිලාලිපියයි.. අද කාලේ නම් ඉතින් හාමුදුරුවරු හොරුන්ට මිනීමරුවන්ට ප්‍රසිද්ද චරිත සහතික දෙනවනේ. කොත් පලන්දන්නෙත් ඒ අයනේ..

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ අපරාධකරුවෙක් පන්සල් භූමියකට පැමිණුනා කියන්නේ රාජ්‍ය නිලධාරීන්ට පන්සල් බිමට ඇවිත් අපරාධකාරයාව අත් අඩංගුවට ගන්න බැහැ කියලා සම්මතයක් තිබුණා.

      මිනීමරුවන් පවා විහාරස්ථානවලට පැනලා ඇවිත් අභයදානය ලබලා තියෙනවා.

      අදත් මට මතක විදිහට මල්වත්තේ විහාරයේ සරණංකර සංඝරාජ හිමියන් වාසය කරපු කුටියට ඇතුල්වෙන තැන දොරේ පොරෝ පහරක සළකුණක් තියෙන්නේ අභයදානය ලබාගන්න විහාරයට ඇතුල්වෙන්න ගිය හොරෙක්ව ඊට පෙර මරාදමන්න අලුගෝසුවා තමන්ගේ පොරොවෙන් ගහපු පහරක්.

      ඒක ඒත් සාර්ථක වෙන්නේ නැහැ. හොරා සංඝරාජ හිමියන්ගේ කුටියට ඇතුල්වෙලා අභයදානය ලබාගන්නවා

      Delete
    2. ඔය කතාව මාත් අහල තියනවා. හැබයි ඉතින් ඒකෙන් කියවෙන්නේ ඒ කාලේ සංඝයා වහන්සේලාට තිබුනු ස්ථානය.

      Delete
    3. @ Chandana D M

      ඒ කාලේ නායක හිමිවරුන්ට ඒ ආකාරයේ බලයක් තිබුණත් දැන් කාලේ නායක හිමිවරුන්ට කරන්න පුලුවන් වෙලා තියෙන්නේ දේශපාලන බලවතෙක් ආපුවාම ඔලුව අතගාලා පිරිත් නූලක් බැඳලා තෙරුවන් සරණයි කියන එක විතරයි....

      Delete
  7. Great............
    Thanks for sharing this information.....

    ReplyDelete
    Replies
    1. @ Dulantha

      ඉදිරියටත් හැකි අයුරින් මෙවැනි ස්ථාන පිළිබඳව තොරතුරු බෙදාගන්න බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින්න

      Delete
  8. නියම ලිපියක් මමත් පුංචි කාලේ ගියා බලන්න ඒත් මෙච්චර දෙයක් දැනගෙන හිටියේ නැහැ.

    ReplyDelete
    Replies
    1. @ Dragon-hunter95

      එහෙම නම් ඊළඟ වතාවක නාලන්දා ගෙඩිගේ ගැන හොඳ දැනුවත් බවකින් බලන්න ගිහින් අනිත් අයටත් යමක් කියාදෙන්න ඔයාට පුලුවන් වෙයි

      Delete
  9. වටිනා තොරතුරු ගොඩක් දැනගත්තා.. ඉන්දියාවෙදි හින්දු කෝවිල්වල මෛථුන ඉරියව් දැක්වෙන කැටයම් දැකලා තිබුනත් ලංකාවෙදි දැකලා තිබුනේ නෑ ..

    ReplyDelete
    Replies
    1. @ Gaminie Vijith Samarakoon

      හින්දු ආභාෂයක් මත මේ ගෘහ නිර්මාණය ඇතිවූ නිසයි එවැන්නක් වෙලා තියෙන්නේ.

      මට මතක විදිහට ඉන්දියාවේ කජුරාහෝ දේවාල සංකීර්ණයම වෙන්වෙලා තියෙන්නේ වාත්ස්‍යාන රචනා කරපු කාමසූත්‍රයේ එන විවිධ ඉරියව් නිරූපණය කරන්න

      Delete
  10. අප්පේ..ලොකුම ලොකු සේවයක් නේ..කරන්නේ..හොදටම ලයික්... ආසාවෙන් කියෙව්වා. ගොඩක් ස්තූතියි.. මේ වගේ වටින් ලිපි බලන්න කමෙන්ට් කරන්න අපේ අය එන්නේ නැත්තේ ඇයිද දන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. @ පුංචි කුමාරිහාමි

      ස්තුතියි සේවය අගය කළාට.

      එච්චර ප්‍රතිචාර නැති බව නම් ඇත්ත. ඒ කොහොම වුණත් ලංකාවේ උරුමය වෙනුවෙන් මට කරන්න පුලුවන් දේ කරනවා. ඉස්සරහට හරි මේවායේ වටිනාකමක් තියේවිනේ.

      දැන් ඉතින් පාර දන්නවානේ ඉස්සරහටත් මේ පැත්තේ ඇවිත් යන්න එන්න.

      Delete
  11. යන්න ආසාවෙන් ඉන්න තැනක්.කලින් අවස්තාවක් ලැබිලත් ඒක මග හැරුනා.

    ReplyDelete
    Replies
    1. @ රැංගෝ

      ඊළඟ වතාවක හරි යන්න බලන්න. ඒ වගේමයි එතකොට අනිත් අයටත් මේ ගැන විස්තර කියලා දෙන්න

      Delete
  12. ඉතිහාසය හා ලංකාවේ තියන කලාව ගැන පුංචි කාලේ ඉදන් ගොඩක් ආසාවෙන් හිටියේ ඒත් වඩත් එක්ක ඒවා මග ඇරුනා මේ වගේ බ්ලොග් අකකින් ගොඩක් දේවල් ගන්න ලැබෙන එක ගැන සතු‍ටුයි. ඉදිරියටත් අවස්තාව ලබුන ගමන් එන්න ආසයි

    ReplyDelete
    Replies
    1. @ Dragon-hunter95

      අනිවාර්යයෙන්ම ඔබේ ආසාව මගෙත් ආසාවක් වුණු නිසයි මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ.... ඉස්සරහටත් රැඳී ඉන්න

      Delete
  13. ගොඩක් හොද ලිපියක්

    ReplyDelete
    Replies
    1. @ ruwan ranasinhe

      ස්තුති ඔබට :)

      Delete
  14. නියමයි හසිත. මම වැඩිය බ්ලොග් වල කමෙන්ට්ස් දන්න එන්නෙ නැති නිසා හොද ලිපිත් ගොඩක් මිස් වෙනවා. දිගටම කරන් යන්න, මේ වැඩේ නියමයි!

    ReplyDelete
    Replies
    1. @ FOX Creationz

      ස්තුති ඔබේ සුභාශිංසනයට :)

      Delete
  15. හොද ලිපියක් සහෝදරයා

    ReplyDelete
    Replies
    1. @ ruwan ranasinhe

      ස්තුතියි මිත්‍රයා......

      Delete
  16. ගොඩක් දේවල් දැන ගත්ත. ලංකාවෙ මධ්‍ය ලක්ෂ්‍යය නාලන්දා ගෙඩි ගෙය තියන තැන නම් මෙතන රාවණ කතාවත් එක්ක කියවෙන තාරකා දොරටුවක් වෙන්න පුලුවන් නේද ? බොහොම ස්තුතියි මෙහෙම වැදගත් ලිපි ලියනවාට.

    ReplyDelete
    Replies
    1. @ Chandana D M

      රාවණාවාදියෙක් දාලා තිබුණු පෝස්ට් එකක මම දැක්කා තියෙනවා නාලන්දා ගෙඩිගේ තිබුණු තැන ඉදලා රාවණාගේ පුතා ඉන්ද්‍රජිත් "සෙප්පඩ" විජ්ජා කලා කියලා. ඔය රාවණා සම්බන්ධව නම් මගේ දැණුම අතිශය ස්වල්පයයි

      Delete
  17. මට මතක හැටියට මේ පෝස්ට් එකට මං කමෙන්ට් එකක් දැම්ම වගේ.... ඇඩ්මින් ඒක අහෝසි කරලද කොහෙදෝ.. ඒකෙ අසබ්බිය වචනයක් වත් තිබ්බද හැබෑට? හරියටම මතක නම් නෑ....ලිපිය නම් කියෙව්වා මතකයි...

    ඉස්කෝලේ යන කාලේ මටත් ලොකු පුරාවිජ්ජා පිස්සුවක් තිබුනා... දැන් ඒක විජ්ජා පිස්සුවක් වෙලා නෙව...අපිට පුරාවිද්‍යා ස්මාරක අමුතු දේවල් වුණාට සමහර අයට ඒවා අමුතුදේවල් නෙවෙයි කියලා තේරුණේ දවසක් කඩයක් පිටිපස්සේ තිබුණ බෙහෙත් ඔරුවක කුණු පුරවලා තියෙනවා ඇස් දෙකෙන්ම දැක්ක නිසයි... [හැමෝටම නෙවෙයි... ඒවා සුරකින අයත් ඕන තරම් ඉන්න බව දන්නවා...]කව්රු වුණත් තමන්ගේ අහල පහල තියෙන වටින කියන දේවල් ආරක්ෂා කරලා තව කෙනෙකුට ආසාවෙන් ඒ දිහා බලන්න පුළුවන් විදිහට තිබ්බනම් හොඳයි කියලයි මටනම් හිතෙන්නේ...

    ReplyDelete
    Replies
    1. @ අළුත් මල්ලි

      මම ලියන බ්ලොග් අඩවි දෙකේ ප්‍රතිචාර දක්වන පාඨකයන්ට ලොකු නිදහසක් මම දීලා තියෙනවා. ඇනෝ විදිහට වුණත් තමන්ගේ ප්‍රතිචාරය දක්වන්න පුලුවන්. අසභ්‍ය දෙයක් තිබුණොත් හැරෙන්න ප්‍රතිචාර මකාදැමීමක් සිදු කර ඇත්තේම නැහැ. ඉදිරියටත් එහෙමම සිදුවේවි :)

      මිනිසුන්ගේ නොසැලකිලිමත්කම නිසා පුරාවිද්‍යා ස්මාරකවලට වෙන හානිය වැඩියි තමා. උදාහරණයක් විදිහට පැරණි සිතුවම් අතගෑමෙන් වන හානියම පෙන්නන්න පුලුවන්. ඒත් අතීතයේ ගැමි සමාජයේ හිටපු මිනිස්සුන්ට නම් පුරාවිද්‍යාඥයන්ගේ දැනුවත් කිරීමක් නැතුව වුණත් පැරණි දේවල් ආරක්ෂා කරගන්න ඕනේ කියන හැඟීම තිබ්බා...

      Delete