Saturday, December 29, 2012

වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාව - Statue of Queen Victoria

 වික්ටෝරියා මහා රාජිනිය

කොළඹ නගරයේ පිහිටලා තියෙන ලංකාවේ අවසන් රජතුමා සමඟ සම්බන්ධ වෙන අවසන් සිහිවටනය විදිහට නම් කරන්න පුලුවන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සිරකර තැබූ සිර මැදිරිය ගැන කලින් සටහනෙන් අපි කතා කළා. අදත් e-අටුවාවේ බලාපොරොත්තුව කොළඹ නගරයේ තිබෙන තවත් ඓතිහාසික නිර්මාණයක් පිළිබඳව කතා කරන්න. 

අද කතා කරන නිර්මාණය ගැන කතා කරන්න ප්‍රවේශයක් ගත්තොත් මහා බ්‍රිතාන්‍යය ඇතුළු එක්සත් රාජධානියේ මහා රාජිනිය වශයෙන් 1837 ඉදන් 1901 වෙනකම් රාජ්‍යය පාලනය කරපු වික්ටෝරියා මහා රාජිනිය බොහොම ප්‍රසිද්ධ චරිතයක්.

වසර 63 ක් තමන්ගේ පාලනය අරගෙන ගිය වික්ටෝරියා මහා රාජිනිය වැඩිම කාලයක් මහා බ්‍රිතාන්‍යය ඇතුළු එක්සත් රාජධානිය පාලනය කරපු පාලිකාව විදිහටත් ඒ වගේමයි ලෝක ඉතිහාසයේ වැඩිම කාලයක් රාජ්‍යයක් පාලනය කරපු පාලිකාව විදිහටත් වාර්තාවක් පිහිටවලා තිබෙනවා.


ඉතින් වික්ටෝරියා මහා රාජිනිය ගැන මේ විදිහට කරුණු කීපයක් කතා කළේ ඇය සම්බන්ධ වෙන ඓතිහාසික නිර්මාණයක් ලංකාවේ පිහිටලා තිබෙන නිසා. ඒ ඇයගේ දියමන්ති ජුබිලිය සිහිපත් කරමින් නිර්මාණය කෙරුණු ඇගේ ප්‍රතිමාව. 

ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් වෙස්මිනිස්ටර් ඇබේහි පැවැත්වුණු දේව මෙහෙය

වික්ටෝරියා මහා රාජිනිය තමන්ගේ පාලන කාලය අවුරුදු 50 ක් පසු කිරීමත් එක්ක ස්වර්ණ ජයන්තිය පවත්වන්න නියම කරනවා 1887 ජූනි 20 වෙනිදා. ඒ සැමරුමත් එක්ක මහා බ්‍රිතාන්‍යයේ ලොකු උත්සවයක් පවත්වනවා වගේම ඊට සමගාමී මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතවලත් විවිධාකාර සැමරුම් උත්සව පවත්වනවා. 

ශ්‍රීමත් ආතර් හැමිල්ටන් ගෝර්ඩන්

ඒ වෙද්දී ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වුණු ශ්‍රීමත් ආතර් හැමිල්ටන් ගෝර්ඩන් කොළඹ රැජිණ මන්දිරය [ආණ්ඩුකාර නිල නිවස] ආසන්නයේ අක්කර 4 භූමි භාගයක් තමන්ගේ පුද්ගලික මුදලින් මිළට අරගෙන විවිධාකාරයේ අලංකාර ගස් රැසක්ම මේ උද්‍යානයේ රෝපණය කරලා අලංකාර උද්‍යානයක් බවට පත් කරනවා. මේ උද්‍යානය "ගෝර්ඩන් උද්‍යානය" වශයෙන් හැඳින්වෙනවා.

 ගෝර්ඩන් උද්‍යානය - දකුණු පස කෙළවරේ ඇත්තේ වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාවයි

1897 ජූනි 20 වෙනිදා තමන්ගේ පාලන කාලය අවුරුදු 60 ක් වීමත් එක්ක දියමන්ති ජුබිලිය පවත්වන්න වික්ටෝරියා මහා රාජිනිය තීරණය කරනවා. ඒ යටතේත් කලින් ස්වර්ණ ජයන්තියේදී සිදුවුණා වගේම මහා බ්‍රිතාන්‍යයේ වගේම යටත් විජිතවලත් උත්සව ගණනාවක් පැවැත්වෙනවා.

දියමන්ති ජුබිලි සැමරුම් උළෙල

ඒ හා සමගාමීව නිර්මාණය කෙරුණු වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාවක් 1902 අවුරුද්දේදී එවකට ලංකාවේ ආණ්ඩුකාර ශ්‍රීමත් ජෝශප් වෙස්ට් රිජ්වේගේ මූලිකත්වයෙන් ලංකාවට ගෙන එනවා. ඒ ප්‍රතිමාව ස්ථාපනය කරන්නේ වික්ටෝරියා මහා රාජිනියගේ ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් නිර්මාණය කෙරුණු ගෝර්ඩන් උද්‍යානයේ.  1902 ජූනි 25 වෙනිදා මේ ප්‍රතිමාව නිරාවරණය කෙරෙනවා.

1980 දක්වාම මහජනතාවට විවෘත පොදු උද්‍යානයක් විදිහට ගෝර්ඩන් උද්‍යානය පැවතුණත් 1980 පස්සේ ඒක ජනාධිපති මන්දිරයේ කොටසක් බවට පත් කිරීමත් එක්ක උද්‍යානයට ඇතුල්වීම සීමාසහිත වෙනවා.


ගෝර්ඩන් උද්‍යානයේ ස්ථාපනය කරලා තිබුණු වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාව 2006 වර්ෂයේදී එතැනින් ඉවත් කරලා ජාතික කෞතුකාගාර භූමියේ ස්ථාපනය කෙරෙනවා. වර්තමානයේ ජාතික කෞතුකාරයට ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වෙලා දකුණු පසට වන්නට තිබෙන ආපනශාලාව ආදිය පසු කරලා ජාතික කෞතුකාගාරයේ පිටුපසට වෙන්න තිබෙන අනෙක් ප්‍රවේශය ආසන්නයට ගියාම ඒ ප්‍රතිමාව ස්ථාපනය කරලා තිබෙනවා දැකගන්න පුලුවන්. 

ප්‍රතිමාව ගැන විස්තර කළොත් මාබල්වලින් නිර්මාණය කර ඇති මේ ප්‍රතිමාවේ පීඨිකාවද සහිතව සම්පූර්ණ උස මීටර් 4 ½ ක් පමණ වෙනවා. වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාවේ උස මීටර් 1½ ක් පමණ වෙනවා.


ප්‍රතිමාව ස්ථාපනය කරලා තිබෙන්නේ සෘජුකෝණාස්‍රාකාර පීඨිකාවක් මත. පීඨිකාව ඉදිරිපස මුහුණතේ ඉහළින්ම බ්‍රිතාන්‍ය රාජකීයයන්ගේ සංකේතය වෙන ශාන්ත එඩ්වඩ්ගේ ඔටුන්න කැටයම් කර තිබෙනවා. 

 ශාන්ත එඩ්වඩ්ගේ ඔටුන්න

ඊට පහළින් V R I කියන ඉංග්‍රීසි අකුරු තුන දැකගන්න පුලුවන්. ඒ අකුරු තුනෙන් අර්ථවත් කෙරෙන්නේ ලතින් බසින් "Victoria Regina et Imperatrix" වාක්‍යය. එහි අර්ථය තමා වික්ටෝරියා, මහා රාජිනිය සහ අධිරාජිනිය කියන එක.

ඊට පහළින් Diamond Jubilee Memorial එනම් දියමන්ති ජුබිලි ස්මාරකය යන්න සටහන් කරලා තිබෙනවා.
වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාව ගැන කතා කළොත් අසුන් ගෙන සිටින ඉරියව්වෙන් තමා ප්‍රතිමාව නිර්මාණය කරලා තිබෙන්නේ. අසුන පොළොවට සවිවන ස්ථානයේ මල් ලියකම් ඇති අතර අසුනේ ඉහළ කොටසේ සත්ව රූ දෙකක්ද ඒවා මැදි කොටගෙන ඉහළට විහිදුණු ත්‍රිකෝණාකාර මුදුනක් තිබෙනවා. 

ඒ මුදුනේ බ්‍රිතාන්‍ය කිරුළ නිර්මාණය කර තිබෙනවා. ත්‍රිකෝණාකාර මුදුන දෙපසට වන්නට ඇති සත්ව රූප දෙක වෙන්නේ බ්‍රිතාන්‍ය රාජකීය ලාංඡනයේ දැක්වෙන කිරුළු පළන් සිංහයා සහ කඟවේනායි.



මේ අසුනේ පිටුපස පැත්තට වන්නට වික්ටෝරියා මහා රාජිනිය භාවිතා කළ රාජකීය ලාංඡනය දැකගන්න පුලුවන්. එහි ඉහළින්ම විහිදෙන පටියක Hon Y Soit Qui Mal Y Pense යන වැකිය දක්වා තිබෙනවා.  නපුරු දෑ සිතන්නා පිළිබඳ ලැජ්ජා විය යුතුයි වගේ අර්ථයක් තමා ඒකෙන් කියවෙන්නේ.


ඊට පහළින් තිබෙන පලිහ කොටස් 4 කට බෙදලා විවිධාකාර රූ සටහන් දක්වා තිබෙනවා. එහි ඉහළ වම් පස සහ පහළ දකුණු පස තේජස් ලීලාවෙන් සිටින සිංහයන් තිදෙනාගෙන් එංගලන්ත රාජ්‍යයත් ඉහළ දකුණු පස කොටුකර තිබෙන නොදැමුණු ලීලාවෙන් ඉන්න සිංහයාගෙන් ස්කොට්ලන්ත රාජ්‍යයත් පහළ වම් පස තිබෙන හාප් සංගීත භාණ්ඩයෙන් අයර්ලන්ත රාජ්‍යයත් නිරූපණය කෙරෙනවා.

මේ පලිහට පහළින් ඉහළින් තිබුණු ආකාරයටම විහිදෙන පටියක Dieu et Mon Droit යන වැකිය දැක්වෙනවා. දෙවියන් වහන්සේ සහ මගේ අයිතීන් වගේ අර්ථයක් තමා ඒකෙන් කියවෙන්නේ.

මෙහි වම් පසින් ඇත්තේ වික්ටෝරියා මහා රාජිනිය පැළඳි Imperial State ඔටුන්නයි.
එහි කොටස් හා මැණික් භාවිතා කර 1937 ඔටුනු පළන් ජෝර්ජ් රජතුමා නව Imperial State ඔටුන්න නිර්මාණය කරවූ අතර අද දක්වා බ්‍රිතාන්‍ය රජුන් පළඳින්නේ එම ඔටුන්නයි.

Imperial State ඔටුන්න පළඳාගෙන ශරීරයම වැහෙන්න ගවුමකුත් හිසේ සිට පහළටම තියෙන වේල් එකකිනුත් වික්ටෝරියා මහා රාජිනිය සැරසී ඉන්නවා. ඇගේ මුහුණේ තිබෙන තේජස්බව මනාව කැපී පෙනෙන්න ප්‍රතිමාව නිර්මාණය කරලා තිබෙනවා. 

 Sceptre with the Cross

ඇගේ දකුණු අතේ Sceptre with the Cross [කුරුසය සහිත රාජ සෙංකෝලය]/ St. Edward's Sceptre [ශාන්ත එඩ්වඩ්ගේ රාජ සෙංකෝලය]/ Sovereign's Sceptre [මහා රාජිණියගේ රාජ සෙංකෝලය] කියන නම්වලින් හඳුන්වන රාජ සෙංකෝලය දැකගන්න පුලුවන්.මහා බ්‍රිතාන්‍යයේ රජුන් හෝ රාජිණියන් අභිෂේක කරන අවස්ථාවේදී ඔවුන් දකුණු අතේ තබාගන්නේ මේ රාජ සෙංකෝලය තමා. 

 Sceptre with the Cross හි ඉහළ කොටස

මේ සෙංකෝලයේ ඉහළින්ම කුරුසයකුත් ඊට පහළින් ලෝකයේ දෙවෙනියට විශාලම දියමන්තිය වුණු කුලිනන් දියමන්තියත් දැකගන්න පුලුවන්. සම්පූර්ණයෙන්ම රනින් නිම කරපු මේ යෂ්ටියේ විවිධාකරයේ වටිනා මුතු මැණික් අල්ලා තිබෙනවා.

මේ රාජ සෙංකෝලයෙන් නිරූපණය කෙරෙන්නේ ක්‍රිස්තියානි ධර්මය යටතේ මහා රාජිනියට තමන්ගේ රාජධානියේ ඇතුළේ තිබෙන ලෞකික බලය.
   
 Sovereign's Orb

වික්ටෝරියා මහා රාජිනියගේ වම් අතේ තිබෙන්නේ Sovereign's Orb [මහා රාජිනියගේ ගෝලය] නමින් හඳුන්වන ගෝලාකාර නිර්මාණයත් සම්පූර්ණයෙන්ම රනින් නිම කරලා වටිනා කියන මුතු මැණික් අල්ලලා තිබෙන්නේ. එහි ඉහළ කොටසේ කුරුසය දැකගන්න පුලුවන්. මහා බ්‍රිතාන්‍යයේ රජුන් හෝ රාජිනියන් අභිෂේක කරන අවස්ථාවේදී ඔවුන් වම් අතේ තබාගන්නේ මේ ගෝලය තමා.

මේ ගෝලයෙන් නිරූපණය කරන්නේ ලෝකය පුරා විහිදී පවතින ජේසු ස්වාමිදරුවාණන්ගේ ආදිපත්‍යය වගේම ක්‍රිස්තියානි දහමේ ආරක්ෂකයා විදිහට මහා රාජිනියගේ භූමිකාව වගේම එංගලන්ත සභාවේ උත්තරීතර නායකයා විදිහට මහා රාජිනියට තිබෙන බලය. 

 ඉන්දියාවේ කල්කටා නුවර පිහිටි වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාව

ලංකාවේ පිහිටි වික්ටෝරියා මහා රාජිනියගේ  ප්‍රතිමාවට සමාන ප්‍රතිමා වගේම විවිධාකාර ඉරියව්වලින් යුක්ත වෙන වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමා රැසක් මහා බ්‍රිතාන්‍යයේ වගේම බ්‍රිතාන්‍ය යටත් විජිත වශයෙන් පැවති රාජ්‍යවලත් දැකගන්න පුලුවන්. ඉන් එකක් විදිහට අපේ අසල්වැසියා වෙන ඉන්දියාවේ කල්කටා නුවට වික්ටෝරියා මහා රාජිනිය වෙනුවෙන් නිර්මාණය කරල තියෙන ගොඩනැගිල්ල ඉදිරිපිට තිබෙන ප්‍රතිමාව දක්වන්න පුලුවන්. 

කළුතර පුස්තකාලය අසළ පිහිටි V ජෝර්ජ් රජුගේ ප්‍රතිමාව

මේ ප්‍රතිමාව ගැන මේ තරම් කරුණු හොයන්න මම පෙළඹුනේ මුහුණුපොතේ තිබෙන කළුතර රිච්මන්ඩ් කාසල්හි පිටුවේ තිබුණු කළුතර මහජන පුස්තකාලය ගාව ස්ථාපනය කරලා තිබුණු V ජෝර්ජ් රජතුමාගේ පිළිරුව සහිත ඡායාරූපය දැකලා. 

 පඩිකාර මුහන්දිරම් ආතර් සිල්වා විජේසිංහ සිරිවර්ධන

රිච්මන්ඩ් කාසල් ඉදි කරපු පඩිකාර මුහන්දිරම් ආතර් සිල්වා විජේසිංහ සිරිවර්ධන විසින් තමා 1916 ජූලි 22 තමා තමන්ගේ පුද්ගලික මුදලෙන් මේ ප්‍රතිමාව නිර්මාණය කරවලා විවෘත කරලා තියෙන්නේ.

ඒ ප්‍රතිමාව සිව් කොණේ සිංහ රූප 4 ක් තිබෙන පීඨිකාවක් මත තමයි නිර්මාණය කරලා තිබෙන්නේ. V ජෝර්ජ් රජතුමා Imperial State ඔටුන්න පැළඳ රාජකීය ලෝගුවත් ඇතුව දකුණු අතේ රාජකීය සෙංකෝලයත් වම් අතේ කුරුසය සහිත ගෝලයත් තබාගෙන හිටගෙන ඉන්න ආකාරය තමා ප්‍රතිමාවෙන් නිරූපණය කරන්නේ. 

මේ ප්‍රතිමාව තවමත් තිබෙනවාද කියලා මම කරපු සොයා බැලීමකදී දැනගන්න ලැබුණේ ටික කාලයකට කලින් මේ ප්‍රතිමාව මහා භාරකාර දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් කළුතර මහජන පුස්තකාලය ගාවින් ඉවත් කරලා මහා බ්‍රිතාන්‍යයට විකුණුවා කියන එක. ඒ විකිණීමෙන් ලබා ගත්තු මුදලෙන් බොහොම සුළු මුදලක් තමා කළුතර මහජන පුස්තකාලයට ලබාදීලා තියෙන්නේ.

V ජෝර්ජ් රජතුමාගේ ප්‍රතිමාව මහා බ්‍රිතාන්‍යයට විකුණපු නිසා මම විශ්වාස කරන විදිහට දැනට ලංකාවේ තිබෙන බ්‍රිතාන්‍ය පාලකයෙක්ගේ එකම ප්‍රතිමාව වෙන්නේ වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාව විතරයි. 

බ්‍රිතාන්‍යයන් වේවා වෙනත් යුරෝපා ජාතියක් නිර්මාණය කළා වේවා දැන් ඒවා ලංකාවේ ඉතිහාසයත් එක්ක බැඳුණු දේවල්. ඉතින් ඒවා මේ ආකාරයෙන් රටින් බැහැර කරන එක හරි විනාශ කරන එක නම් අනුමත කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඒත් අපේ සිංහල රජ දරුවන්ගේ නිර්මාණත් විනාශ කරන කාලෙක යුරෝපීයන් සම්බන්ධ නිර්මාණවලට වෙන දේවල් ගැන අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. 

පෘතුගීසීන් තම පැමිණීම සටහන් කළ පර්වත කැබැල්ල

ඊළඟ දවසේ e-අටුවාවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවට පෘතුගීසීන්ගේ පැමිණීම සිහිපත් කරන්න ඔවුන් ගල් කුට්ටියක කරපු නිර්මාණය ගැන. ඒ ගැන තවමත් තොරතුරු සොයමින් ඉන්නේ. කරුණු සොයාගත් සැණින් සටහන ලියන්න බලාපොරොත්තු වෙනවා.

වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාව සම්බන්ධ තවත් ඡායාරූප බලන්න මෙතනින් යන්න

විශේෂ ස්තුතිය : කළුතර මහජන පුස්තකාලය අසළ තිබුණු V ජෝර්ජ් රජතුමාගේ ප්‍රතිමාව ගැන තොරතුරු සොයන්න උදව් කරපු සරසවි මිතුරිය තිළිණි චාමිකා සිල්වාටත්, ඇයගේ තාත්තාටත්, ජාතික කෞතුකාගාර භූමියේ තිබෙන වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාවේ ඡායාරූප ගත්තු ඉසුරු නානායක්කාර මිතුරාටත්

Monday, November 5, 2012

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සිර කුටිය - King Sri Wickrama Rajasingha's Cell

 ඕලන්ද යුගයේ කොළඹ සිතියම් කළ අයුරු

කොළඹ නගරය කියපුවාම අපේ සිහියට එන්නේ අහස උසට තියෙන ගොඩනැගිලි වගේම කාර්යබහුලකමින් ඉහ වහ ගිය නගරයක් කියන එක. ඒත් මේ විශාල වාණිජ නගරය ඇතුළේ ඓතිහාසික අතින් වැදගත් වෙන ස්මාරක කීපයක්ම පිහිටලා තියෙන වග දන්නේ බොහෝම අතළොස්සයි. සමහර විට ඒ ගැන දැනුවත් කිරීමක් මහජනතාව අතරට ගෙනිහින් නැති නිසා මේ තත්වය ඇතිවෙලා තියෙනවා වෙන්නත් පුලුවන්. කොහොම නමුත් කොළඹ නගරයේ පිහිටලා තිබෙන ඓතිහාසික අතින් වැදගත් වෙන ස්ථානයක් පිළිබඳව e-අටුවාව හරහා කියන්නයි මේ සූදානම. 

පොඩි මූලාරම්භයක් ගත්තොත් බොහෝ කාලයක ඉදන් කොළඹ නගරයක වාණිජ වශයෙන් වැදගත්කමක් තිබෙන නගරයක් බවට පත්වෙලා තිබුණා. රජ කාලේ ඉදන් ඒ තත්වය පැවතුණත් රජ කාලයට අයිති වෙන ඓතිහාසික ස්මාරක නම් මම දැනුවත්ව කොළඹ නගරයේ දැකගන්න ලැබෙන්නේ නැහැ. ඒත් කොළඹ මූලික කරගෙන ලංකාවේ ආදිපත්‍යය ව්‍යාප්ත කරපු පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන යුරෝපීයන් විසින් ඉදි කරපු වගේම ඔවුන් එක්ක සම්බන්ධ වෙන ඓතිහාසික ස්මාරක කීපයක්ම කොළඹ නගරයේදී දැකගන්න පුලුවන්.

මේ අතරින් ලංකාවේ රජ පරපුරත් එක්ක සම්බන්ධ වෙන ඉංග්‍රීසීන්ගේ කාලයට අයිති වෙන නිර්මාණයක් පිළිබඳව තමා අද කතා කරන්නේ. ඒ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව සිරගත කරලා තිබුණු සිරකුටිය පිළිබඳව. 

කලු පැහැ ඊතලයෙන් දක්වා ඇත්තේ සිර මැදිරිය පිහිටි ස්ථානයයි

මේ සිරකුටිය පිහිටලා තිබෙන ස්ථානයට එන ආකාරය කිව්වොත් කොළඹ දුම්රිය ස්ථානයේ ඉදන් කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය පිහිටලා තිබෙන ලංකා බැංකු මාවතේ එද්දී පාරේ දකුණු පසින් අපිට හමුවෙනවා තවත් පැරණි නිර්මාණයක්. ඒ තමා ඕලන්ද රෝහල. අද වෙනකොට මේ ගොඩනැගිල්ල වෙළෙඳ සංකීර්ණයක් බවට පත් කරලා තිබෙන්නේ. 

ඕලන්ද රෝහල

ඒකත් පහු කරලා ඉදිරියට එද්දී පාරේ දකුණු පස තියෙනවා සෙලින්කෝ ගොඩනැගිල්ල. ඒකේ රථගාලේ තමා මේ සිර මැදිරිය පිහිටවලා තියෙන්නේ. 

සිරමැදිරිය ගැන හැඳින්වීමකට කලින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ගැන වගේම ඔහු සිරභාරයට පත්වුණු හැටි ගැනත් සුළුවෙන් කතා කරන්න ඕනේ. 

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා

එවකට උඩරට රාජධානියේ රජතුමා වුණු රාජාධි රාජසිංහගේ ප්‍රධාන අදිකාරම්වරයා වුණු පිළිමතලව්වේගේ කුමන්ත්‍රණයක් නිසා රජුගේ ඇවෑමෙන් අවුරුදු 18 ක් වුණු කන්නසාමි 1798 දී ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් සිංහාසනයට පත් වෙනවා. 

වසර 17 ක් පමණ කාලයක් පාලනය ගෙනියපු ශ්‍රී වික්‍රම රාජසිංහගේ කෲරත්වය නිසා වගේම රදළයන්ගේ පාවාදීම් වගේම කරුණු ගණනාවක් උඩ දෙවෙනි වරට උඩරට රාජධානිය අත්පත් කරගන්න ඉංග්‍රීසීන් විසින් දියත් කරපු ආක්‍රමණය සාර්ථක වෙනවා. 

ඒ අනුව 1815 පෙබරවාරි මාසය ආරම්භ වෙද්දී ඉංග්‍රීසීන් ලේ වැගිරීමකින් තොරවම සෙංකඩගල ආසන්නයට පැමිණිලා හිටිය නිසා ශ්‍රී වික්‍රම රාජසිංහ තමන්ගේ බිසෝවරු වගේම හිතවත්ම සේවකයන් පිරිසක් එක්ක පෙබරවාරි 11 නගරය අත් හැරලා පලා යනවා. ඒ ආරංචිය ලැබීමත් එක්ක ඉංග්‍රීසීන් තමන්ගේ කටයුතු ඉක්මන් කරනවා. අන්තිමට පෙබරවාරි 14 මේජර් මොෆට්ගේ නායකත්වයෙන් යුතු ඉංග්‍රීසීන්ගේ දෙවෙනි හමුදා බල ඇණිය පාළුවට ගිහින් තිබුණු සෙංකඩගල නගරය අල්ලා ගන්නවා. 

ඒත් චෙස් ක්‍රීඩාවේ වගේ රජු අල්ලා ගන්නකම් ආක්‍රමණය සාර්ථක නොවෙන නිසා රජතුමා ඌවට පලා යන එක වළක්වන්න හමුදා සෙබළු පිටත් කරනවා වගේම රජතුමා සැඟවිලා ඉන්නවාය කියන දුම්බර ප්‍රදේශයටත් ජෝන් ඩොයිලි හා ඇහැලේපොළ මහ නිළමේගේ මූලිකත්වයෙන් පෙබරවාරි 16 වෙනිදා භට කණ්ඩායම් පිටත් කරනවා. 


 රජු අත් අඩංගුවට ගත් බෝමුරේ පිහිටුවා ඇති ස්මාරකය

මේ අතරේ රජතුමා උඩු දුම්බර ප්‍රදේශයේ තියෙන ගල් ලෙනක සැඟවෙන්න කරපු උත්සහය අසාර්ථක වුණු නිසා මහවැලි ගඟෙන් එගොඩ දියතලා කඳු පංතියේ තිබුණු ගල උඩ බලකොටුවට යන්න පිටත් වෙනවා. ඒත් රෑ බෝවීම වගේම ලොකු වැස්සකුත් පටන් ගත්තු නිසා බෝමුරේ ගල්ලැහැවත්තේ උඩුපිටියේ ආරච්චිලගේ නිවෙසට රජතුමා පැමිණෙනවා. එහි රැඳී සිටිය රජතුමාව එක්නැලිගොඩ නිළමේ ප්‍රධාන හමුදා කණ්ඩායමකින් පෙබරවාරි 18 වෙනිදා අත් අඩංගුවට ගන්නවා 

එහෙම අත් අඩංගුවට ගත්තු රජතුමා වගේම බිසෝවරු ඇතුළු රජතුමා ඥාති පිරිස ජෝන් ඩොයිලිගේ උපදෙස් මත ප්‍රධාන හමුදා නිලධාරීන් දෙදෙනෙක් සහිත පාබල හමුදා භට කණ්ඩායමක ආරක්ෂාව යටතේ රජතුමා ඇතුළු ඥාතීන්ව කොළඹට පිටත් කෙරෙනවා. මාර්තු 6 වෙනිදා කොළඹට පැමිණෙන රජතුමාව කොළඹ නගරාරක්ෂක බල ඇණියේ ප්‍රධානියා වුණු ජෙනරාල් කර් විසින් රජතුමාව පිළි අරගෙන රජතුමාට රැඳී සිටින්න සකස් කරලා තිබුණු ගාලු මුවදොර ආසන්නයේ නිවෙසට රැගෙන යනවා. 

මේ කතාව සවිස්තරාත්මකව ආගිය කතා බ්ලොග් අඩවියේ "ලංකාවේ අන්තිම රජතුමාට අන්තිමට මොකද වුණේ" කියන සටහනේ තිබෙනවා. වැඩි විස්තර දැන ගන්න කැමති නම් ඒක කියවා බලන්න. 


නැවතත් ප්‍රධාන කතාවට ආවොත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රඳවා තැබුණු මේ සිර මැදිරිය අර්ධ කවාකාර හැඩයේ ගොඩනැගිල්ලක්. මේ ගොඩනැගිල්ලේ මුදුන ගෝලාකාර සකස් කරලා එහි මුදුනේ වා කවුළුවක් දමා තිබෙනවා. මේ ගෝලාකාර කොටසේ මාළුවන්ගේ පිටේ තිබෙන කොරළ ආකාරයේ මෝස්තරයක් දැක ගන්න පුලුවන්. 

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ උඩුකය ප්‍රතිමාව

ගොඩනැගිල්ලේ අර්ධ කවයේ සරල රේඛීය කොටසේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ උඩුකය ප්‍රතිමාවක් ස්ථාපනය කරලා තිබෙනවා වගේම සමරු ඵලකයකුත් පිහිටවා තිබෙනවා.


එහි දැක්වෙන්නේ ලංකාවේ අවසන් රජතුමා වුණු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අල්ලා ගෙන මේ බිමේ තිබෙන සිර මැදිරියේ සිර කරලා තැබුවා කියලා සිහිවෙන්න සමරු ඵලකය පිහිටෙව්වා කියලා. ඒක සිංහල වගේම ඉංග්‍රීසි මාධ්‍යයෙනුත් දක්වලා තියෙනවා.


සිර මැදිරියේ දොරටුව තියෙන්නේ පිහිටා තිබෙන අර්ධ කවාකාර කොටසට ගියාම සිර මැදිරියේ දොරටුවට වම් පසිනුත් තවත් සමරු ඵලකයක් දැකගන්න පුලුවන්. එහි දක්වන්නේත් රජතුමා අත් අඩංගුවට ගත් පුවත වගේම මේ සිර කුටියේ රඳවා තිබුණු බවත් අවසානයේදී ඉන්දියාවට පිටුවහල් කරපු රජතුමා එහිදී මරණයට පත්වුණු ආකාරයත් කියවෙන කතා පුවත. ඒක සිංහල වගේම ඉංග්‍රීසි මාධ්‍යයෙනුත් දක්වලා තියෙනවා.


සිරමැදිරියේ දොරටුව අඩි 5 ක් පමණ වෙනවා. අභ්‍යන්තර කුටියේ උස අඩි 12 ක පමණ වෙනවා. කුටියේ දිග පළල අඩි 8 ක් සහ අඩි 5 ක් පමණ වෙනවා. සුවිශේෂී ලක්ෂණයක් තමා මේ මැදිරියේ බිත්තියක ඝණකම අඩි 2 ක් පමණ වෙන එක. මැදිරියේ දොරටුව දෙපසිනුත් වා කවුළු දෙකක් දමා තිබෙනවා. 

මැදිරියේ දොර දෙපස ඇති එක් වා කවුළුවක්
මැදිරියේ ඉහළින් ඇති වා කවුළුව

වර්තමානයේදී මේ මැදිරියේ බිත්තිවල සිතුවම් කීපයක් දැකගන්න පුලුවන් ඒ අතර ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ සහ අග බිසව වුණු වෙන්කත රංගම්මාල් බිසවගේ සිතුවම් දෙකත් ඊට ඉහළින් මහනුවර දළදා මාලිගාව සහ නුවර වැවේ සිතුවම් දෙකත් දැකගන්න පුලුවන්. 


මැදිරියේ වම් පස බිත්තියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව සිහසුනට පත් කරපු පිළිමතලව්වේ මහාදිකාරම්ගේ සිතුවමකුත් ඊට වම් පසින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා 1832 ජනවාරි 30 වෙනිදා මිය ගියාට පස්සේ දේහය ආදාහනය කරලා භෂ්මාවශේෂ තැන්පත් කරපු මුතු මණ්ඩපම් කියන ස්මාරකයේ සිතුවම දැකගන්න පුලුවන්. 

වම් පස බිත්තියේ ඇති සිතුවම

මැදිරියේ දකුණු පස බිත්තියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අල්ලා ගන්න කටයුතු කරපු එවකට ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග්ගේ සිතුවමත් ඊට දකුණු පසින් රජතුමා ඇතුළු පිරිස ඉන්දියාවට පිටුවහල් කළ පසු රැගෙන ගිය H.M.S Cornwallis නෞකාවේ සිතුවමත් දැකගන්න පුලුවන්. 

දකුණු පස බිත්තියේ ඇති සිතුවම

මේ සිර මැදිරිය සම්බන්ධ තිබෙන විවිධ මත පිළිබඳව කතා කළොත් සැබවින්ම මේ කුටිය රජතුමාව සිර කරලා තබන්න භාවිතා කළාද කියන ගැටලුව මතු වෙලා තිබෙනවා.

කොළඹට රැගෙන ආ රජතුමා ඇතුළු පිරිස ගාලු මුවදොර ආසන්නයේ තිබුණු විශාල නිවසක රැදෙව්වා කියන පුවතත් එක්ක තමා මේ ගැටලුව පැන නගින්නේ. තමන් දැන් රජෙක් නොවුණත් තමන්ට ඉංග්‍රීසීන් දක්වපු කාරුණික බව ගැන රජතුමා ස්තුති කරලත් තිබෙනවා. 

ඒ වගේමයි මේ ලන්දේසි සමයේ ඉදි කෙරුණු මුර කුටියක් බවත් පසුව ඉංග්‍රීසි සමයේදීත් මෙය මුර කුටියක් වශයෙන් භාවිතා වුණා කියන අදහසත් ඉදිරිපත් වෙලා තියෙනවා. 

කෙසේ වෙතත් සියලු අදහස් එක්ක පිළිගත හැකි අදහසක් වන්නේ මේ අදහස. ඒ තමා රජතුමා ඇතුළු පිරිස ගාලු මුවදොර ආසන්නයේ තිබුණු විශාල නිවසක රඳවා තිබුණා. රජතුමා බොහෝ අවස්ථාවල බීමතින් කලහකාරී විදිහට හැසිරෙද්දී ඔහුව මේ මැදිරියට දමා තිබුණා කියන එක. රජතුමා සුරා ලෝලියෙක් වෙලා හිටිය බව 1815 ඉංග්‍රීසීන් සෙංකඩගල අල්ලා ගත්තු වෙලාවේ රජ මාළිගාවේ තිබුණු හොෆ්මන් චෙරි බ්‍රැන්ඩි බෝතල් විශාල සංඛ්‍යාවෙන් පැහැදිලියි. 

1815 මාර්තු 6 වෙනිදා ඉදන් 1816 ජනවාරි 24 වෙනිදා ඉන්දියාවට පිටුවහල් කිරීම සිදුවුණු දවස දක්වා රජතුමා මේ මැදිරියේත් ඒ අසළ තිබුණු විශාල මන්දිරයේත් වාසය කරපු බව පැහැදිලියි. 

ලාංකීය රජතුමෙක් පිළිබඳව ලංකාවේ තිබෙන අන්තිම මතක සටහන විදිහට මේ ස්මාරකය හැඳින්වුවාට වරදක් නැහැ. මේ මැදිරිය මුලින්ම වර්තමාන ශ්‍රී ලංකා මහ බැංකුව ඉදි කළ ස්ථානයේ තිබූ බවත් පසුව මේ ස්ථානයට ගෙනවිත් ඇති බව කියවුණත් ඒ බව සනාථ කරන්න පුලුවන් සාධකයක් නම් හමුවුණේ නැහැ. කෙසේ නමුත් මැදිරිය අභ්‍යන්තරයේ සිතුවම් ඇඳීම, සමරු ඵලක දෙක සවි කිරීම සහ රජතුමාගේ උඩුකය පිළිරුව තැනීම බොහෝම පසු කාලයක සිදුවුණු ඒවා හැටියටයි පෙනෙන්නේ. 

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ ස්මාරකය කුමක්ද මෙහි තියෙන වැදගත්කම මොකක්ද කියන එක බොහෝ දෙනා දන්නේ නැහැ. විශේෂයෙන්ම මේ මැදිරිය රථගාලක පිහිටලා තිබෙන නිසා ඒ අසළින් හුඟක් අය තමන්ගේ වාහනය නවතා යනවා හැරෙන්න මේ මොකක්ද කියලා සොයනවද කියන එක සැක සහිතයි. 

අනෙක් අතට මේ සම්බන්ධව වග කිව යුතු බලධාරීන් එතැනට යන එන අයට මේ ගැන තොරතුරු ඉදි සඳහන් කරලා නාම පුවරුවක්වත් සකසා නොතිබීම විශාල අඩුවක්. ඉතින් ඔබටත් විවේකයක් තියෙන වෙලාවක ගාලු මුවදොර පිටියේ ඇවිදින්න එහෙම ගියොත් මේ ස්මාරකය බලන්නත් අමතක කරන්න එපා.

මේ සිරමැදිරියේ තවත් ඡායාරූප බලන්න මෙතනින් යන්න

ප.ලි.: මේ සිර මැදිරිය අධි ආරක්ෂිත කලාපයක් පිහිටලා තිබෙන නිසා එතැනට යන්න කලින් කෝකටත් ඒ හරියේ ඉන්න පොලිස් නිලධාරියෙක්ව දැනුවත් කරලා යන්න. ඒ වගේමයි ඡායාරූප එහෙම ගන්නවා නම් ඒ ගැනත් දැනුවත් කරන්න. 


විශේෂ ස්තුතිය මේ චාරිකාවට මාත් එක්ක එකතු වුණු කළණ මිතුරු ගිහාන් චාමරට

Wednesday, May 16, 2012

කුෂ්ඨරාජගල අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව - Avalokitheshvara Bodhisattva Statue of Kushtarajagala


 අනුරාධපුර යුගයේ සිටම ථේරවාදී බුදු සමය ලක්දිව පිළිගත් දහම බවට පත්වෙලා තිබුණත් වරින් වර මහායාන බුදු සමය ලක්දිව පැන නැඟුණු බවත් ඒ ඒ කාලවල සිටි රජ දරුවන් විසින් ඒ මත යටපත් කළ බවත් වංස කතාවල සඳහන් වෙනවා. ඒ කෙසේ නමුත් ඒවා සම්පූර්ණයෙන්ම යටපත් කරන්න පුලුවන් වුණාද කියන එක ගැටළුවක්. විශේෂයෙන් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මහායන බුදු සමයේ ප්‍රධාන අංගයක් වෙන බෝධිසත්ව වන්දනාව කළ බවට සාධක තවමත් ඉතුරුව පැවතීමම එයට උදාහරණයක් විදිහට ගන්න පුලුවන්

 බුදුරුවගල අවලෝකිතේශ්වර ප්‍රතිමාව

මේ විදිහට බෝධිසත්ව ප්‍රතිමා හමුවීමේදී කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණය දක්වා ප්‍රතිමා හමුවෙලා තිබෙනවා. මේවායිනුත් විශාල ප්‍රමාණයේ බෝධිසත්ව ප්‍රතිමා ලෙසට ප්‍රකටව පවතින්නේ බුදුරුවගල පිහිටි බෝධිසත්ව ප්‍රතිමා, දඹේගොඩ අවලෝකිතේශ්වර ප්‍රතිමාව සහ වැලිගම කුෂ්ඨරාජගල අවලෝකිතේශ්වර ප්‍රතිමාවයි. 

මෑතකදී මම බලන්න ගිය වැලිගම කුෂ්ඨරාජගල අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව ගැනයි ටික කාලයකට පසුව අද ලියවෙන e - අටුවා සටහනෙන් කතා කෙරෙන්නේ

කොළඹ සිට මාතර දෙසට යන විට වැලිගම නගරය පසුකර කිලෝ මීටර් 5 ක් පමණ ඉදිරියට යන විට ප්‍රධාන මාර්ගයෙන් වම් පසට ඇති මාර්ගයකින් ටික දුරක් ගමන් කිරීමෙන් පසුව පාරේ දකුණු පස පිහිටි කුෂ්ඨරාජගල අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව අසළට ලඟා වෙන්න පුලුවන්

කුෂ්ටරාජගල අවලෝකිතේශ්වර බෝසත් ප්‍රතිමාව පිළිබඳව කතා  කරන්න කලින් කවුද මේ අවලෝකිතේශ්වර බෝධිසත්වයන් කියන්නේ වගේම මහායානික බෝධිසත්ව සංකල්පය ගැන සුළුවෙන් විස්තරයක් කරන්නම්

ථේරවාදී බුදු සමය තුළ දක්වන විදිහට ලොවුතුරා බුද්ධත්වය සඳහා පාරමිතා ධර්ම සම්පූර්ණ කරන පුද්ගලයින් බෝධිසත්වයන් ලෙස හඳුන්වනු ලබනවා. මහායාන බුදු සමය තුළ පිළිගැනෙන්නේ අපි සියලු දෙනාම බෝධිසත්වයන් වන බවත් ලොවුතුරා බුද්ධත්වයෙන් සසර ගමන නිමා කරන බවත්. ථේරවාදීන් දක්වන රහත් බෝධියෙන් හෝ පසේ බෝධියෙන් සසර ගමන නිමා කිරීම මහායානිකයන් ප්‍රතික්ෂේප කරනවා.

ඒ විදිහට මහායාන සංකල්පය අනුව බෝධිසත්වයින් සංඛ්‍යාව අසීමිත වුණත් ප්‍රධානම බෝධිසත්වයන් කීප දෙනෙක් ඔවුන් දක්වනවා. ඒ බෝධිසත්වයින් ධ්‍යානි බෝධිසත්ව, මහාස්ථාම ප්‍රාප්ත, ත්‍රෛලෝක්‍යවිජයී වැනි නම්වලින් හඳුන්වනා. 


ඒ බෝසත්වරුන් අට දෙනෙක් සිටින අතර ඔවුන් නම්
  • අවලෝකිතේශ්වර
  • මෛත්‍රෙය
  • ආකාශ ගර්භ
  • වජ්‍රගර්භ
  • ක්ෂිතිගර්භ
  • සමන්තභද්‍ර
  • මඤ්ජු ශ්‍රී
  • සර්ව නිවාරණ විෂ්කම්භ
මේ සෑම ධ්‍යානී බෝධිසත්වයෙක්ටම මුද්‍රාවක්, වාහනයක් මෙන්ම සංකේතයක් තිබෙනවා. ඒ වගේමයි මේ බෝධිසත්වයින් අතරින් අවලෝක්තිශේවර හා මඤ්ජු ශ්‍රී යන බෝසත්වරුන් ප්‍රමුඛත්වයේ ලා සලකන අතරම මීළඟට බුද්ධත්වයට පත්වන මෛත්‍රෛය බෝසතුන්ට විශේෂත්වයක් හිමිවෙනවා. කෙසේ නමුත් මේ බෝධිසත්වයින් අතරින් බොහෝ දෙනාගේ බුහුමනට ලක්වෙන්නේ අවලෝකිතේශ්වර බෝසතුන්ව.

සාමාන්‍යයෙන් ලංකාවේ මෙන්ම වැඩි වශයෙන් ඉන්දියාවේ සිදුවන දේව ඇදහිල්ල මෙන්ම බෝධිසත්වයින් වන්දනා කරමින් තමන්ගේ ලෞකික ජීවිතේ කරුණු කාරණා ඉටුකරගැනීමට පිහිට පැතීම මහායානිකයන් සිදු කරනවා. මේ බෝධිසත්ව වන්දනාව ලංකාවට පැමිණි මුල් කාලීනව ඒ ඒ ස්වරූපවලින්ම බෝධිසත්ව වන්දනාව සිදු කෙරුණත් පසු කාලීනව මේ බෝසත්වරුන් ලක්දිවට ගැලපෙන පරිදි දේශීය මුහුණුවරකට පෙරලුණු අතර අවලෝකිතේශ්වර බෝධිසත්වයින් උත්පලවර්ණ හා නාථ දෙවිවරු ලෙසද සමන්තභද්‍ර බෝසතුන් සුමන සමන් දෙවියන් ලෙසද වන්දනාවට පාත්‍ර වුණා.  


අවලෝකිතේශ්වර බෝසතුන් ගැන විශේෂයෙන් කතා කලොත් සියලුම ලෝ සතුන්ගේ ආරක්ෂකයා ලෙස එතුමා කටයුතු කරන අතරම සියලු සත්වයින් සංසාරයෙන් එතෙර වනතාක් එතුමා බුද්ධත්වයට පත් නොවන බවයි කියවෙන්නේ. ඒ වගේමයි ලෙඩ රෝගවලට පිහිටවීම ආදී කරුණු නිසා "භේසජ්ජ ගුරු" වශයෙනුත් එතුමාව පිළිගන්නවා.

නැවතත් ප්‍රධාන කතා බහට ආවොත් කුඩා බිමක තිබෙන ගල් කුළක ඇතුළට හෑරීම මඟින් මෙම අවලෝකිතේශ්වර බෝසත් ප්‍රතිමාව නිර්මාණය කර තිබෙනවා. ප්‍රතිමාවේ උස අඩි 8 ක් පමන වන අතර ප්‍රතිමාව පිළිබඳ විස්තරයක් කළොත් ධෝතියක් වැනි වස්ත්‍රයක් හැඳ ආභරණ හා ඔටුන්නක් පැළැඳ ගෙන රාජ ලීලාවෙන් සිටින අවලෝකිතේශ්වර බෝසතුන් මෙහිදී දැකගත හැකියි. 

මේ ආභරණ පලඳා ඇති ආකාරය මෙන්ම ධෝතිය හැඳ සිටින ආකාරය රාජ ප්‍රතිමාවලට සමාන වීම නිසා මෙය රාජ ලීලාව ලෙස හඳුන්වනවා. මෙලෙස ඇති රාජ ප්‍රතිමාවකට නිදසුන් ලෙස රුවන්මැලිසෑ පරිශ්‍රයේ ඇති දුටුගැමුණු රාජ ප්‍රතිමාව දැක්විය හැකියි

 දුටුගැමුණු රාජ ප්‍රතිමාව

හිසේ තිබෙන ඔටුන්න තුළ හෙවත් ජටා මකුටයේ ධ්‍යාන ඉරියව්වෙන් වැඩ සිටින බුදු රූ 4 ක් දැකගත් හැකි අතර ඉන් දෙකක් ඔටුන්නේ ඉදිරි පස එකක් මත එකක් සිටින සේත් අනිත් දෙක වම් කන හා දකුණු කනට ඉහළින් ඔටුන්නේ දක්වා තිබෙනවා. 



නමුත් ජටා මකුටය තුළ තවත් බුදුරුවක් ඇති බවත් එමඟින් මහායාන බුදු සමයේ දැක්වෙන අමිතාභ, වෛරෝචන, අක්ෂෝභ්‍ය, රත්නසම්භව, අමෝඝසිද්ධි යන ධ්‍යානි බුදුවරුන් පස් දෙනා නිරූපිත වන බවට මතයක් තිබෙනවා. 

ප්‍රතිමාවේ කන් ලම්භකර්ණව ලෙස දක්වා ඇති අතර කන්වලත් කුණ්ඩලාභරණ ආදිය පැලැඳි බවක් පෙනෙනවා. ගෙලටද මාල කීපයක් දමා ඇති අතර අත්වලටද වළලු ආකාරයේ පළඳනා දමා ඇති බවයි පෙනෙන්නේ.



දකුණු අතේ මාපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල එක් කර විතර්ක මුද්‍රාව දක්වන අතර වම් අතේ මහපට ඇඟිල්ල නොනමා දබර ඇඟිල්ල සහ සුළැඟිල්ල අර්ධයක් නමා ඇති අතර මැදැඟිල්ල හා වෙදැඟිල්ල සම්පූර්ණයෙන්ම නමා තිබේ. ඒ මුද්‍රාව කටක මුද්‍රාව නමින් හඳුන්වනවා.



ඉන වටා බඳ පටියක් දැකගත හැකි අතරම් ධෝතිය රැළි වැටෙන සේ සකසා තිබෙනවා. 

මේ ප්‍රතිමාව අවලෝකිතේශ්වර බෝසතුන් නොව වජ්‍රසත්ව බෝසතුන් බවත්, මේ සමන්තභද්‍ර බෝසතුන් බවටත් මත ඉදිරිපත් වී ඇති අතරම තවත් මතයක් වන්නේ මේ ප්‍රතිමාව අවලෝකිතේශ්වර හා සමන්තභද්‍ර යන බෝසතුන් දෙදෙනාගේම සම්මිශ්‍රණයක් ලෙස නිමවා ඇති බවයි. 

දඹේගොඩ අවලෝකිතේශ්වර ප්‍රතිමාව

දඹුලු විහාර අවලෝකිතේශ්වර ප්‍රතිමාව

මේ ප්‍රතිමාවේ ආකාරයෙන්ම රාජ ලීලාවෙන් නිර්මාණය කෙරුණු අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමා විදිහට දඹේගොඩ අවලෝකිතේශ්වර ප්‍රතිමාව, දඹුලු විහාර අවලෝකිතේශ්වර ප්‍රතිමාව දක්වන්න පුලුවන්. මේ ප්‍රතිමාවල තිබෙන ලක්ෂණ පල්ලව සම්ප්‍රදායට  නැඹුරුවක් පෙන්වන නිසා කුෂ්ඨරාජගල සහ දඹේගොඩ ප්‍රතිමා නිර්මාණය කරපු කාලය විදිහට නිගමනය කරන්නේ ක්‍රි.ව 7 හෝ 8 සියවස. 

මීට පෙරත් පල්ලව නිර්මාණ යටතේ වුණු නාලන්දා ගෙඩිගේ ගැන අපි කතා කළා මතක ඇතිනේ

මේ ආකාරයෙන් බෝධිසත්ව පිළිමයක් කුෂ්ඨරාජගල නිර්මාණයට වීමට හේතු සාධක පිරික්සීමේදී පිහිටි ස්ථානයේ නමේ අර්ථයෙන්ම ගතහොත් කුෂ්ඨ රෝගයක් වැළඳුණු රජතුමෙක් තම කුෂ්ඨ රෝගය සුවවීමෙන් තමන් වූ භාරයක් ඉටු කරමින් මේ ස්ථානයේ අවලෝකිතේශ්වර ප්‍රතිමාව නිර්මාණය කරවූ බව කියවෙනවා.

මෙහිදී මේ රජතුමා දෙවිනුවර දේවාලයට පැමිණ භාරවූ බව කියවෙන අතරම රූපයට රූපය භාර වූ බව කියවෙනවා. මේ රජතුමා IV අග්බෝ රජතුමා ලෙස විශ්වාස කරන අතර දෙවිනුවරට පැමිණ වූ භාරය මත මේ ප්‍රතිමාව කරවූ නිසා දෙවිනුවර තිබෙන්නට ඇත්තේද අවලෝකිතේශ්වර වන්දනාවක් බව අනුමාන කරන්න පුලුවන්. පසුකාලීන උත්පලවර්ණ ලෙස දේශීය මුහුණුවරක් ගන්නට ඇත්තේ අවලෝකිතේශ්වර බව එමඟින් අනුමාන කළ පුලුවන්.

 දෙවිනුවර උපුල්වන් දේවාලය

ඒ වගේම කලින් කිව්වා වගේම අවලෝකිතේශ්වර බෝසතුන් ලෙඩ සුව කරන්නෙක් ලෙස සැලකූ බව මේ ආකාරයෙන් රජතුමා තමන්ගේ අසනීපයට භාර වීමෙන් පෙනෙනවා. ඊට පසුවත් මේ ආකාරයෙන්ම රජවරු ලෙඩ සුව කරගැනීමට පිහිට පැතූ බව පෙනෙන්නේ දඹදෙණියේ සිට රාජ්‍ය කළ II පරාක්‍රමබාහු රජතුමාගේ කතාවේ ඇතිවූ විකලු සොබාවය නිසා ඒ පිළිබඳවත් දෙවිනුවර උපුල්වන් දෙවියන්ට කියා පිහිටාධාර පැතූ බව වංස කතාවල සඳහන් වීමෙන්.

ලෙඩ රෝග සුව කරන දෙවියෙක් ලෙසට අවලෝකිතේශ්වර වන්දනා කළා සේම නාවිකයන් විසින් සමුද්‍රයේදී ඔවුන්ව රැකගන්න දෙවියෙක් ලෙසට අවලෝකිතේශ්වර වන්දනා කරපු බව පෙනෙනවා. 
මෙහිදී කුෂ්ටරාජගල සහ දෙවිනුවර සමුද්‍රාසන්න ප්‍රදේශ වීම හැරෙන්නට තවත් ස්ථාන කීපයක් නිසාම ඒ නිගමනයට එළඹෙන්න පුලුවන්. 
 තිරියාය ගිරිහඬු සෑය
තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසින් බුදුරදුන්ගේ කේෂ ධාතු තැන්පත් කර ඉදිකළා යැයි සැලකෙන තිරියාය ගිරිහඬු සෑය අවලෝකිතේශ්වර බෝසතුන්ගේ නිවහන බව ඒ ස්ථානයෙන් හමුවූ සෙල්ලිපියක දක්වා තිබෙනවා

සෙල්ලිපියේ 4 වෙනි පෙළ එය දක්වන්නේ මේ ආකාරයෙන්

නිවසති යත්‍ර සිද්ධ සුර කින්නර පූජ්‍යතමඃ
ගුරුර් අවලෝකිතේශ්වර ඉතිප්‍රථිතො භගවාන්
තද් අහර් අහර් නමාමි ගිරිකණ්ඩික චෛත්‍යමි අහම්

මන්නාරම කුදිරමලේ ප්‍රදේශයෙනුත් බෝධිසත්ව පිළිමයක් තැන්පත් කලායැයි විශ්වාස කරන්න පුලුවන් පිළිම ගෙයක නටබුන් හමුවෙලා තිබෙනවා.

 මුහුදු මහා විහාර ප්‍රතිමාව

ඒ හැරෙන්න පොතුවිල් මුහුදු තීරය ආසන්නයේ තිබෙන මුහුදු මහා විහාරයේ පිළිම ගෙයි මේ ආකාරයෙන් රාජ ලීලාවෙන් නිර්මිත ප්‍රතිමා දෙකක් දැකගන්න පුලුවන්. ඒ පිළිම දෙක මෛත්‍රෙය හා අවලෝකිතේශ්වර බෝසත්වරුන් ලෙස විශ්වාස කරන අතරම අවලෝකිතේශ්වර බෝසතුන් යැයි අනුමාන කරන රුව බොහෝ දුරට කුෂ්ඨරාජගල ප්‍රතිමාවට සමානයි.  


මේ ආකාරයෙන් සමුද්‍රාසන්න ප්‍රදේශවල බහුලව අවලෝකිතේශ්වර වන්දනාව පැවතීම තුළින් කලින් කිව්වා වගේ සමුද්‍රාරක්ෂකයෙක් විදිහට අවලෝකිතේශ්වර බෝසතුන් පිළිගත් බවයි පෙනෙන්නේ.

නැවතත් කුෂ්ඨරාජගල ගැන කතාවට ආවොත් කුෂ්ඨරාජගල ආරක්ෂා කිරීමේ වැඩ පිළිවෙලක් 1980 දී ඒ ප්‍රදේශය පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය මොන්ටේගු ජයවික්‍රමගේ සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ඊ.එල්.බී. හුරුල්ලේ යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන්. ඒ යටතේ මේ ස්ථානයට විදුලි ආලෝකය ලබාදුන්නා වගේම බැම්ම බැදෙව්වා කියලයි ඒ ස්ථානයේ තිබෙන සමරු ඵලකයේ සඳහන් වෙන්නේ

 කැලණි විහාර අවලෝකිතේශ්වර ප්‍රතිමාව

අවසාන වශයෙන් ගත්තොත් කුෂ්ඨරාජගල ඇතුලු අනෙක් ස්ථානවල තිබෙන අවලෝකිතේශ්වර ප්‍රතිමා හේතුවෙන් නිගමනය කරන්න පුලුවන් වෙන්නේ ලෞකික අවශ්‍යතා උදෙසා කැපවුණු දෙවියෙක්ගේ තත්වයට අවලෝකිතේශ්වර බෝසතුන් පත්වූ බවයි. ඒ පිළිගැනීමේ නෂ්ඨ කොටස් අද දක්වා පවතින බව පේන්නේ මෑතකදී කැලණිය රාජ මහා විහාරයේත් අවලෝකිතේශ්වර ප්‍රතිමාවක් ඉදි කරවීමෙන්. ඒ හැරෙන්නට ඉහත දක්වපු බෝසත් ප්‍රතිමාවලටත් අද දක්වාම ජනයා මල් පහන් පූජා කිරීමත් දැකිය හැකියි

කුෂ්ඨරාජගල අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාවේ තවත් ඡායාරූප බලන්න මෙතනින් යන්න

ප.ලි.: සිංහල බ්ලොග් අවකාශයේ සහෘද බ්ලොග්කරුවෙක් වූ සනත් විජේවර්ධන හෙවත් ඔබා මාමාගේ වියෝව වෙනුවෙන් සාතිශය සංවේගය :(
සැන්දෑව එළඹීමත් එක්කම විවේකයක් ගන්නට ඉඩ සැලසිලා......
රාත්‍රිය උදාවුණත් නැවතත් පසු දින හිරු පායාවි.
අලුත් දවසක් උදාවේවි.....
එතෙක් ඔබට සුභ රාත්‍රියක් ඔබා මාමේ....................