Monday, November 28, 2011

ඕලන්ද දොයිතු කාසි පිළිබඳ නිරීක්ෂණයක් - Observation about Dutch Duits Coins

දේශ ගවේෂණ ව්‍යාපාරයෙන් විශාල ලාභ හිමිවීමේ ප්‍රතිඵලයක් ලෙසට යුරෝපාකරයේ රටවල් රැසක් ඒ සඳහා එක්වූ අතර එලෙස එක්වූ එක් රටක් ලෙස නෙදර්ලන්තය හෙවත් ඕලන්දය දැක්විය හැක. මෙහිදී 1602 දී Vereenighte Oost-Indische Compagnie හෙවත් ඕලන්ද පෙරදිග ඉන්දියානු සමාගම නමින් සමාගමක් පිහිටුවා ගත් ලන්දේසීන් පෙරදිග දෙසටද තම බලය ව්‍යාප්ත කරමින් පෙරදිග ප්‍රදේශවල මෙන්ම විශේෂයෙන් දකුණු ආසියා කලාපයේ තම බලය හොඳින් ව්‍යාප්ත කරගන්නට සමත් වූහ.

1602 දී වූ I විමලධර්මසූරිය රජු හා ලන්දේසි නියෝජිත ස්පිල්බර්ජන්ගේ හමුව

ඒ අනුව 1602 ජූනි මස ශ්‍රී ලංකාවේ මඩකළපුව ප්‍රදේශයට ගොඩ බට ලන්දේසීන් 1638 වන විට එකල ලංකාවේ පාලකයා වූ II රාජසිංහ රජු සමඟ ගිවිසුමක් ඇති කොටගෙන 1658 වන විට යාපනයෙන්ද පෘතුගීසීන් පළවා හරිමින් තම බලය ලංකාව තුළ තහවුරු කරගන්නා ලදී.

යථෝක්ත මාතෘකාවට අනුව ඕලන්ද දොයිතු [Duits] කාසි පිළිබඳ කරුණු සොයා බැලීමේදී 18 වන සියවය මුල් භාගයෙන් ඒ පිළිබඳව කරුණු හමුවේ.

1796 දක්වා පැවති ලන්දේසි පාලන සමයේ මුල් කාලය තුළ පෘතුගීසීන් නිකුත් කළ කාසි වාණිජ කටයුතු සඳහා භාවිතා කළ අතර ක්‍රමයෙන් හොර කාසි අච්චු ගසන්නන් අච්චු ගැසූ හොර කාසි බහුලව ව්‍යාප්ත වීම නිසා එයට පිළියමක් යොදන්නට සිදුවිණි. ඒ යටතේ සියලු පෘතුගීසි කාසි එකතු කොට පෙරදිග ඉන්දියානු ඕලන්ද සමාගම යන අර්ථය එන ඕලන්ද පාඨය වන Vereenighte Oost-Indische Compagnie හි මුල් අකුරු තුන වන VOC එම සියලු කාසිවල මුදුණය කරන ලදී.

එසේම ලන්දේසීන් විසින් 1726-1806 කාලය අතර තුර තම රාජ්‍යය වන ඕලන්දයේ වූ ඕලන්ද, ගැල්ඩර්ලන්තය, ප්‍රිරිස්ලන්තය, සීලන්තය සහ යුට්රැච්ට් යන පළාත්වල අච්චු ගැසූ නම් Duits තඹ කාසි විශේෂයද ලංකාවේ භාවිතයට නිකුත් කර ඇත. එය දොයිතුව නමින් ලාංකිකයන් හඳුන්වා ඇත.

එකල මුදල් භාවිත වූයේ මෙලෙසය.

දොයිතු 4 =තුට්ටු 1
තුට්ටු 4 = පනම් 1
පනම් 12 = රිදී 5 හෙවත් පතාග 1

අද e-අටුවාව ඔස්සේ කතා කරන්නේ මා සතුව පවතින මෙම දොයිතු [Duits] කාසි 2 ක් සම්බන්ධවයි.


ඒ යටතේ වඩා පැරණි කාසිය වන්නේ 1766 නිකුත් කර ඇති කාසියයි. විෂ්කම්භය 22 mm වන මෙම කාසිය තඹ ලෝහයෙන් නිර්මිතය. මෙහි බර ග්‍රෑම් 2.5 කි. කාසියේ සිරස යැයි සැළකිය හැකි කොටසේ මධ්‍යයේ පෙරදිග ඉන්දියානු ඕලන්ද සමාගම යන්න නිරූපණය කරන VOC අකුරු තුන ඇති අතරම ඊට පහළින් මෙය නිකුත් කළ වර්ෂය වන 1766 දක්වා ඇත.

මේ හැරෙන්නට සිරසේ ඇති අනෙක් දෑ පැහැදිලිව දැකිය නොහැකි නමුත් ඊට සමගාමී වර්ෂවල නිකුත් කර ඇති කාසිවලට අනුව අකුරු තුනට ඉහළින් මලක හෝ පළිහක සටහනක් තිබෙන්නට ඇත.



යුට්රැච්හි නිල ලාංඡනය

කාසියේ පසුපස කොටසේ ඇත්තේ ඕලන්ද පළාතක් වන යුට්රැච්ට් [Utrecht] හි ලාංඡනයයි. එහි මධ්‍යයේ පළිහක්ද ඊට ඉහළින් තුඩු 5 ක් ඇති ඔටුන්නක්ද දැකිය හැකි අතර පළිහ දෙපසින් සිටින සිංහයන් දෙදෙනා පළිහ අල්ලාගෙන සිටිති. සිංහයන් දෙදෙනාට පහළින් කිසියම් ලියවැලක් ආකාරයේ මෝස්තරයක්ද දැකිය හැක.


අනෙක් කාසිය 1790 දී නිකුත් කර ඇති අතර විෂ්කම්භය 21 mm වන මෙම කාසියද තඹ ලෝහයෙන් නිර්මිතය. මෙහි බර ග්‍රෑම් 3 කි. මෙම කාසියේ සිරස යැයි සැළකිය හැකි කොටසේ පෙර කාසියේ පරිදිම VOC අකුරු තුන දැකිය හැකි අතරම ඊට පහළින් කාසිය නිකුත් කළ වර්ෂය වන 1790 දක්වා ඇත.

මෙම කාසියේද ඒ හැරෙන්නට අනෙක් දෑ පැහැදිලිව දැක ගත නොහැකි වුවත් සමගාමී වර්ෂවල නිකුත් කර ඇති කාසිවලට අනුව අකුරු තුනට ඉහළින් තරු 3 ක සමාන සංකේත 3 ක් වූ බව පෙනේ.


සීලන්තයේ ලාංඡනය

කාසියේ පිටුපස ඕලන්ද පළාතක් වන සීලන්තයේ [zeeland] ලාංඡනය දක්වා ඇත. එහි පළිහක් ආකාරයේ රාමුවක් තුළ දෑත් විහිදා මුඛය අයාගෙන සිටින සිංහයෙක්ගේ උඩුකය පමණක් දැකිය හැකි අතර සිංහයාගේ යටිකය ප්‍රදේශ වෙනුවට දිය රැළි 3 ක් දමා ඇත. මෙම පළිහ සටහනට ඉහළින් පෙර කාසියේ පරිදිම තුඩු 5 ක් ඇති ඔටුන්නක් දක්වා ඇත.

පෙර දැක්වූ කතාවේ ඉතිරිය සම්පූර්ණ කළහොත් ලන්දේසීන් මෙලෙස තම මව් රටේ කාසි ලංකාව තුළ භාවිත කළද 18 වන සියවසේ මුල් භාගයේ සිට තුට්ටු කාසි ලංකාව තුල අච්චු ගැසීමද ආරම්භ කරන ලදී. ඒ යටතේ කාසි වර්ග දෙකක් වුණි. මින් එක් වර්ගයක කාසිය දෙපසම වමට හෝ දකුණට කරකැවී යන සේ කටු හෝ කොළ සහිත වැලක් මැද තුට්ටුවේ ගණන දක්වා තිබුණි.

අනෙක් කාසිය පෙර දැක්වූ දොයිතුව ආකාරයටම නිමවූ අතර උඩු පැත්තේ අකුරු තුන මෙන්ම ඊට ඉහළින් කාසිය අච්චු ගැසූ මධ්‍යස්ථානය හඳුනා ගැනීමට අකුරු විණි. C අකුරෙන් කොළඹද, J අකුරෙන් යාපනයද, G අකුරෙන් ගාල්ලද, T අකුරෙන් ත්‍රිකුණාමලයද සංකේතවත් කෙරුණි. යටි පැත්තේ නිකුත් කළ වර්ෂය සහ වටිනාකම දක්වා තිබුණි.

කොළඹ, යාපනය, ගාල්ල, ත්‍රිකුණාමලයෙන් නිකුත් කළ කාසි පිළිවෙලින්

ලන්දේසීන් විසින් මෙරට රුපියලේ රිදී කාසිද මුලින්ම ඇති කළ අතරම 1785 දී පළමු වරට මුදල් නෝට්ටුද නිකුත් කිරීමට කටයුතු කරන ලදී. එහිදී මුල්ම මුදල් නෝට්ටුවල වටිනාකම් වූයේ පතාග 50, 100, 500 සහ 1000 ය.

පතාග 5 නෝට්ටුවක්

මෙවැනි පැරණි කාසි තුළින්ද ලාංකේය ඉතිහාසයේ එක් යුගයක් සංකේතවත් වන අතර මට මෙම කාසි ලබාදුන් මගේ පියාගේ සොයුරිය වූ නාලනී ශ්‍රීමතී මහත්මියටද මෙහිදී විශේෂ ස්තුතියක් පිරිනැමිය යුතුය.

මෙවන් වූ වටිනා කාසි ඔබ සතුව මෙන්ම වැඩිහිටියන් සතුවද පැවතිය හැක. ඒ පිළිබඳ කරුණු සොයා බැලීමෙන් විශාල දැනුමක් ඔබටත් ලබාගත හැකි බව මගේ විශ්වාසයයි. නාණක විද්‍යාව [Numismatology] නමින් ප්‍රකට මෙම විද්‍යාව තුළ සැරිසරන්නට ඔබත් වෑයම් කරන්න.

මූලාශ්‍ර : ලංකාවේ මිල මුදල්, ලීලානන්ද කල්දේරා, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව

Saturday, October 1, 2011

කිත්සිරිමෙවන් කැලණි රාජ මහා විහාරය - Kithsirimewan Kelani Raja Maha Viharaya

අද සටහන වෙන්වන්නේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටා සුප්‍රසිද්ධ පූජනීය ස්ථානයක් අසළ පිහිටා තිබෙන එහෙත් එතරම් මහජන අවධානයක් යොමු නොවන පූජනීය ස්ථානයක් ගැන විස්තර දක්වන්න. මේ පූජනීය ස්ථානය කිත්සිරිමෙවන් කැලණි රජ මහා විහාරය.

ඓතිහාසික කැලණිය රාජ මහා විහාරය ආසන්නයේම පිහිටලා තිබෙන මේ පුදබිම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ එගොඩ කැලණිය කියන නමින්. කලින් දක්වපු විදිහට මේ පූජනීය ස්ථානය එතරම් ප්‍රසිද්ධ නොවන්නට එක් හේතුවක් වුණේ කැලණි ගඟෙන් එගොඩ පිහිටා තිබීමයි.

මුල්කාලීනව පාලම් පාරුවක් භාවිතයෙන් එගොඩ මෙගොඩ යාම සිදුවුණා. කොහොම නමුත් වර්තමානය වෙද්දී එගොඩ කැලණියට යාමට පාලමක් ඉදිකර තිබුණත් මේ පූජනීය ස්ථානයට එතරම් වන්දනාකරුවන්ගේ පැමිණීමක් දැකගන්න නැහැ.

කිත්සිරිමෙවන් කැලණි රාජ මහා විහාරයට එන ගමන් මග දැක්වුවොත් කොළඹ - නුවර මාර්ගයේ 4 කණුව මංසන්ධියෙන් බියගම දෙසට ඇති මාර්ගයේ පැමිණීමෙන් මේ පුදබිමට පැමිණෙන්න පුළුවන්.

මේ විහාරය මූලාරම්භය ගැන කතා කළොත් බුද්ධ කාලය දක්වා දිව යනවා. බුද්ධත්වයෙන් 8 වන වර්ෂයේ මණිඅක්ඛික නා රජතුමාගේ ආරාධනයෙන් කැලණියට වැඩම කළ බුදුන් වහන්සේ දහවල් දානය වැළදීමට පෙර කැලණි නදියේ ස්නානය කළ බවත් එහිදී උන් වහන්සේ භාවිතා කළ නානකඩය එහෙමත් නැත්නම් ජලසාටිකාව තැන්පත් කරලා මණිඅක්ඛික නා රජු කිත්සිරිමෙවන් කැලණි විහාර දාගැබ ඉදිකරවූ බව තමයි කියවෙන්නේ.


බුදුන් වහන්සේ පරිභෝග කළ වස්තුවක් තැන්පත් කරලා ඉදිකරපු මේ දාගැබ බුදුන් වහන්සේ පරිහරණය කරපු ජලසාටිකාවක් තැන්පත් කරලා ඉදිකරවපු ලොව එකම දාගැබ විදිහටත් හඳුන්වන්න පුළුවන්.

පසුකාලීනව ක්‍රි.ව. 304 - 328 කාලයේ කිත්සිරිමෙවන් රජ දවස ඒ කියන්නේ මහසෙන් රජතුමාගේ පුත්‍රයාගේ රාජ්‍ය කාලය තුළ මේ දාගැබ තවත් විශාල කරවලා විහාරාරාම සංකීර්ණයක් ඉදිකෙරුණු බව කියවෙනවා. ඒ නිසාම මේ විහාරයට කිත්සිරිමෙවන් කැලණි විහාරය යන නාමය යෙදුණු බවයි විශ්වාස කෙරෙන්නේ.

තවත් මතයක් වන්නේ පොළොන්නරු යුගයේදී ගජබාහු සමයේ මායා රටේ පාලකයා විදිහට කටයුතු කරපු කිත්සිරිමේඝ මාපාණන්ගේ අනුග්‍රහය මේ විහාරස්ථානය ලැබුණු නිසා කිත්සිරිමෙවන් කැලණි විහාරය යන නාමය භාවිතා වුණු බවයි.

පසුකාලීනව ගම්පොළ යුගයේදී අළගක්කෝණාර නම් අමාත්‍යවරයා විල්ගම්මුල නම් හිමියන්ගේ අනුශාසනා පරිදි ජරාවාස වී තිබුණු දාගැබ, පිළිම ගෙය සහ බෝධි ප්‍රකාර පිළිසකර කරවනවා.


වර්තමානය වන විට මේ විහාරස්ථානයේ දැකගත හැකි පැරණි ඉදිකිරීම් වන්නේ දාගැබ සහ විහාර මන්දිරය පමණයි. දාගැබ මීට පෙර දැක්වූ බුදුන් වහන්සේගේ ජලසාටිකාව තැන්පත් කර ඉදිකරවූ දාගැබ ලෙස විශ්වාස කරන අතර මේ පුදබිමෙන් හමුවන ටැම් ලිපියකද ඒ බව දක්වනවා.


ඒ හැරෙන්නට ඇති විහාර මන්දිරය එතරම් පැරණි නොවූවත් මහනුවර යුගයේ ලක්ෂණ පෙන්වන හිඳි බුදු පිළිම වහන්සේ නමක්ද දැකගත හැකියි.


එසේම දාගැබේ මලසුන්ගෙයක තබා වන්දනා කරන සිරිපතුලක්ද දැක ගත හැක. බුද්ධ ප්‍රතිමා නිර්මාණය නොකෙරුණු මුල්කාලීනව බුදුන් වහන්සේ සංකේතවත් කිරීමට සිරි පතුල, බෝධිය, වජ්‍රාසනය වැනි දෑ භාවිතා වුණු අතර මේ සිරි පතුලද එවැන්නකි.

මේ හැරුණු කොට දාගැබ් මළුව තුළ හිටි පිළිමයක කොටස් මෙන්ම සෙල්ලිපි කීපයක්ද දැකගත හැකි වන අතර ඒ අතරින් වැදගත් සෙල්ලිපියක් වන්නේ කිත්සිරිමෙවන් කැලණි විහාර ලිපියයි.

මේ ලිපිය ආගමික මෙන්ම දේශපාලනික අතිනුත් වැදගත් වන ලිපියක් බවයි විද්වතුන්ගේ මතය වෙන්නේ. ලිපිය ගැන කෙටි විස්තරයක් දැක්වුවොත් කොටස් දෙකකින් යුක්ත වන මේ ලිපියේ පළමු කොටසේ විහාරයේ කරන ලද ප්‍රතිසංස්කරණ කටයුතු දිගු පේළි 51 කින් දක්වනවා.

දෙවෙනි කොටසේ මේ පින්කමට බාධා පමුණුවන්නන් අපායගාමී වන බව කෙටි පේළි 15 කින් දක්වන අතරම මේ පූජාව ඉර හඳ පවතින තුරු සාංඝික දේපළ වන බවත් පුද්ගලික පරිහරණයට යොදා ගන්නවුන් බල්ලන් හා කපුටන් වන බව සංකේතවලින් දක්වා තිබෙනවා.

ලිපියේ සාරාංශයක් දැක්වුවහොත් බුද්ධ වර්ෂ 1887 දී ගඟතලාකරඹවලාන් පරපුරෙන් පැමිණි විල්ගම්මුල හිමියන් කිත්සිරිමේ රජ දවස සිට බන්ධු පරම්පරාවෙන් දස වෙනුව තමන්ට හිමිවුණු කිත්සිරිමෙවන් කැලණි විහාරය විශිෂ්ට වඤ්චී පරපුරෙන් පැමිණි නිශ්ශංක අළගක්කෝණාර අමාත්‍යතුමාගේ පරපුරේ අළගක්කෝණාර අමාත්‍යතුමාගේ අනුග්‍රහයෙන් ජරාවාස වී තිබුණු දාගැබ, විහාර ගෙය, බෝධි ප්‍රාකාරය පිළිසකර කළ බවත් විහාරයේ නඩත්තුවට කුඹුරු පූජා කළ බවත් විල්ගම්මුල හිමියන්ට රාත්‍රි කාලයේ බණ කීමෙන් රජු පූජා කළ දාස දාසීන් මේ විහාරයේ කටයුතු සඳහා පූජා කළ බවත් කියවෙනවා.

මේ පිංකමට බාධා පමුණුවන්නන් අපායගාමී වන බවත් අවසාන වශයෙන් ඉර හඳ පවතින තුරු සාංඝික වන මේ දේපළ පුද්ගලික පරිහරණයට යොදා ගන්නවුන් බලු කපුටන් වන බවත් දක්වා තිබෙනවා.

මූලිකව මේ ලිපිය තුළ ඒ වනවිට රාජ්‍යත්වය හිමිව තිබුණු IV බුවනෙකබාහු රජතුමා ගැන සඳහන් නොවීමෙන් රජුගේ බලය නොපිළිගත් ප්‍රාදේශීය නායකයෙක් පිළිබඳ අදහසක් ගත හැකි අතර ගම්පොළ යුගයේ දේශපාලනික අතින් විශාල බලයක් හිමිව තිබුණු අළගක්කෝණාර පරපුර ගැනද විස්තරයක් හමුවෙනවා.

විශේෂයෙන් එකල භික්ෂූන් වහන්සේලාට බණ කීම වෙනුවෙන් සේවක සේවිකාවන් පූජා කළ බවත් පෙනෙන අතර සතර දිසාවෙන්ම පැමිණි නොපැමිණි සංඝයාට යනුවෙන් පැවති සාමූහික දේපළ ක්‍රමය වෙනුවට ගුරු ශිෂ්‍ය පරම්පරාවෙන් හෝ ඤාති පරම්පරාවෙන් විහාරවල හිමිකාරීත්වය ලැබීමෙන් එකල සංඝයා වහන්සේලා විනය නීති ඉක්මවා යමින් තිබීමක්ද දැකගත හැකියි.

මෙවැනි කරුණු රැසක්ම මේ ලිපියෙන් හෙළිදරව් වීම තුළින් මේ ලිපියේ ඇති වටිනාකම මොනවට පැහැදිලිය.


වර්තමානය වන විට මේ පුදබිම තුළ නව ඉදිකිරීම් ලෙස ධර්ම ශාලාවක් මෙන්ම බෝධි ප්‍රාකාරයක්ද දැකගත හැකියි. ඉඩක් ලැබුණු විටෙක ඔබත් මේ ස්ථානය වන්දනා කරන්නට යන්න.

මේ ස්ථූපය වන්දනා කරන ගාථාව වෙන්නේ

සද්ධාය යාය මණිඅක්ඛික නාගරාජා
චේතිං ආකාසිවර අන්තරවාසකංයං

යස්මිං නිධාය මුනිනො තමනුස්සරන්තෝ

වන්දාමි කිත්තිසිරි සව්හය ථූපරාජං


කිත්සිරිමෙවන් කැලණි විහාරයේ තවත් ඡායාරූප බලන්න මෙතන කොටන්න

ප.ලි.: මේ ලිපිය ලියද්දී කිත්සිරිමෙවන් කැලණි විහාර ලිපිය පිළිබඳව කරුණු උපුටා ගත්තේ මෑතකදී දැයෙන් සමුගත් මහැදුරු මැන්දිස් රෝහණදීරයන්ගේ මහාසාමි සංඝරාජ පරපුර කෘතියෙන්. ලාංකේය ඉතිහාසය අධ්‍යනයේලා එතුමන් කළ මෙහෙවර අනගිභවනීයයි. එතුමන්ට නිවන් සුව අත්වේවායි පතමු.......

Friday, May 20, 2011

දක්ඛිණ ථූපය - Dakkhina Stupa

අදත් සටහන නොදුටු අනුරාධපුරයේ තවත් ස්ථානයක් ගැනයි. ඒ දක්ඛිණ ථූපය ගැන. ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයට පිවිසෙන්න තියෙන එක් ස්ථානයක් වෙන කුරුණෑගල හන්දියේ ඉදන් ශ්‍රී මහා බෝධිය අසළට වැටිලා තියෙන මිහිඳු මාවත ඔස්සේ ඉදිරියට ගමන් කරද්දී මාර්ගයේ වම් පැත්තේ පිහිටලා තියන විශාල ගඩොල්වලින් කරලා තියෙන නිර්මාණයක් සමහර විට දැකලා ඇති. මේ ගරා වැටුණු ස්ථූපය තමා දක්ඛිණ ථූපය විදිහට හඳුන්වන්නේ.

මුල් කාලීනව එතරම් අවධානයකට ලක් නොවුණු මේ ස්ථූපය දුටුගැමුණු රජතුමා විසින් තමන්ගේ ප්‍රතිවාදියා වුණු එළාර රජතුමාව යුද්ධයේදී මරා දැමූ ස්ථානයේ එළාර රජතුමාව ගෞරව සහිතව ආදාහනය කරලා ඉදි කරපු ස්ථූපය විදිහටයි බොහෝ දෙනා සැළකුවේ.

මුලින්ම් මේ ස්ථානයේ පුරාවිද්‍යා කැණීමක් 1896 දී දියත් කරන්නේ ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වුණු H.C.P. බෙල් මහත්මයායි. මේ එළාර සොහොන නොවන බවත් ඒ කාලයේ අනුරාධපුරයේ තිබුණු ප්‍රධාන ආරාමයක් වුණු දක්ඛිණගිරි විහාරයේ ස්ථූපය කියන මතය එතුමා ඉදිරිපත් කළත් ඒ ගැන එතරම් පිළිගැනීමක් ඇතිවුණේ නැහැ.

1876 ජේම්ස් ෆර්ගසන් කියන ස්කොට් ජාතික වාස්තු විද්‍යාඥයා රචනා කරපු History of Indian and Eastern Architecture කෘතියේත් මේ අදහසම ඉදිරිපත් කරලා තිබුණා. නමුත් බෙල් මහත්තයා ඇතුළු කණ්ඩායමට දක්ඛිණ ථූපයේ කැණීම් කරගෙන යද්දී දෙබර පොදියක් කඩාවැටී සිදුවූ අනතුර නිසා 1900 විතර පස්සේ එහි කැණීම් සිදු වුණෙත් නැහැ.

1946 දී තමා නැවතත් දක්ඛිණ ස්ථූපයේ කැණීම් ආරම්භ වෙන්නේ. ඒ සඳහා මූලිකත්වය ගන්නේ ප්‍රථම ලාංකීය පුරාවිද්‍යා කොමසාරිස්වරයා වුණු සෙනරත් පරණවිතානයන්. ස්ථූපය වටා තිබූ බොහෝ සැරසිලි ඒ වගේම වාහල්කඩ වගේ නිර්මාණ නිධන් හොරුන් අතින් විනාශයට පත්වෙලා තිබුණු ආකාරය කැණීම් දිගටම කරගෙන යද්දී ඒ මහතාට දැකගන්න පුලුවන් වුණා.

උතුරු හා නැගෙනහිරි වාහල්කඩවලට දරුණු හානි නිධන් හොරුන් අතින් වෙලා තිබුණත් දකුණු වාහල්කඩට එතරම් හානියක් වෙලා තිබුණේ නැහැ. ඒ කොටසේ තිබිලා අඩි 16 ක් පමණ උස ශිලා ස්ථම්භයක් හමුවුණා. සාංචි තොරණ්වල කැටයම්වලට යම් හුරුකමක් තිබුණු මේ ශිලා ස්ථම්භය ක්‍රිස්තු වර්ෂ මුල් සියවස්වලට අයිති කියලයි නිගමනය කෙරුණේ.

පුන් කලසකින් ආරම්භ වෙන ලියවැලක් ක්‍රම ක්‍රමයෙන් උඩට යන කොට සිහින් වෙලා යන ආකාරයක් තමා ඒකේ දැකගන්න පුලුවන්. ලියවැලේ දෙපසට බෙදිලා තියෙන් අතුවල මිනිස් රූප වගේම සිංහයා, ඇතා, අශ්වයා, ගවයා වැනි සතුන්ගේ රූ කැටයම් කරලා තියෙනවා. සියල්ලටම මුදුනින් හක් ගෙඩියක් අති අරන් පද්මාසනයෙන් ඉන්න දේවතා රුවක් දැකගන්න පුලුවන්.

බස්නාහිර වාහල්කඩ තිබුණු ප්‍රදේශයෙන් උමඟක් හාරලා නිධන් හොරු ධාතු ගර්භයට ඇතුලු වෙලා තිබුණු නිසා ඒ ප්‍රදේශයෙන් නිධන් හොරු නොවටිනා දේවල් කියලා දාලා ගිය පබළු, කිරිගරුඬ කොටස්, පියාපත් ඇති සිංහ රූප, කාසි වගේ ඒව හමුවෙලා තියෙනවා. ඒවායින් අතීතයේ තිබුණු කලා ශිල්ප ගැන වැටහීමක් ලබාගන්න පුරාවිද්‍යාඥයින්ට හැකිවුණා.

1948 දී ස්ථූපයේ සලපතල මළුව පාදා ගන්න පුලුවන් වීමත් එක්කම බිම අතුරලා තිබුණු ගල් පුවරු කීපයකම 3 වෙනි සියවසට අයිති බ්‍රාහ්මී අක්ෂරවලින් ලියපු ලිපියේ "දකිණි විහර" යන පාඨයෙන් මේ දක්ඛිණ විහාරයේ ස්ථූපය බව තහවුරු කරගන්න පුරාවිද්‍යාඥයින්ට හැකිවුණා.

මෙතෙක් හම්බෙලා තියෙන දීර්ඝතම බ්‍රාහ්මී සෙල්ලිපිය වෙන මේ ලිපියේ සමහර කොටස් තිබුණු ගල් පුවරු එතනින් අරගෙන ගිහින් තියෙන නිසා මුළු ලිපියම කියවන්න පුලුවන් වුණේ නැහැ. ඒක නිසා මේ ලිපිය කරවපු රජතුමා ගැන හොයාගන්න බැරි වුණත් විහාරයට එක් එක් අය විසින් පූජා කරපු ගම් බිම් ගැන එහෙම දැනගන්න පුලුවන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ ස්ථූපය ඉදි කළේ කවුරුන්ද යන වගත් මේ ලිපියේ සඳහන්.


කලින් කියපු ඉඩම් පූජා කළේ පිත මහ රජ දවස කරවපු දක්ඛිණ විහාරයේ තිස මහ චෙතිය ට කියලා ලිපියේ කියවෙනවා. මෙහිදී පිත මහ රජකියන්නේ වළගම්බා රජතුමාට. ඒ තමන්ගේ සොයුරා වුණු ඛල්ලාට නාගගේ පුතා වුණු මහාචූළි මහාතිස්ස තමන්ගේ පුතෙක් විදිහටම හදා වඩා ගත් නිසයි.

ඒ රජතුමාගේ උත්තිය කියන සෙනෙවියා ක්‍රි.පූ 2 සියවසේදී පමණදක්ඛිණ විහාරය කරවලා තියෙනවා. නගරයට දකුණින් පිහිටි නිසා දක්ඛිණ විහාරය යන නම් ලද බවයි කියවෙන්නේ.

කණිට්ඨ තිස්ස රජ සමයේ ස්ථූපය විශාල කරවපු නිසා තිස මහ වෙතිය විදිහට ස්ථූපය හඳුනවන්න ඇති කියලා විශ්වාස කරනවා. ඒ වගේම ඒ රජතුමා දාන ශාලාවක්ද ඉදි කරලා තියෙනවා. පස්සේ කාලේ ගෝඨාභය රජතුමා උපෝසථාගාරයකුත් 1 අග්බෝ රජතුමා ගොඩනැඟිලි කීපයකුත් දක්ඛිණ විහාරයට පූජා කළ බව වංශ කතා කියනවා.


දක්ඛිණ ස්ථූපය ඉදි කරපු ස්ථානය ගැන බලද්දී ඒක මිහිඳු හාමුදුරුවෝ සංඝ කර්ම කරන්න ඉදිකරපු පිචුල මාලක එහෙමත් නැත්නම් පුලිල මළුවේ දක්ඛිණ විහාරයේ ස්ථූපය ඉදිකළා කියලා සද්ධර්මාලංකාරයේ එන සඳහන වංශ කතාවල එන කතා ප්‍රවෘත්තිත් එක්ක බලද්දී සනාථ වෙනවා.

විශේෂම කතා පුවත වෙන්නේ මරණාසන්නව හිටපු දුටුගැමුණු මහ රජතුමා තමන්ගේ සිරුරට කළ යුතු දේ දැනුම් දීමත් එක්ක බැඳුණු කතාවයි. රජතුමා කියනවා "සූවිසි වසක් මුළුල්ලෙහි සංඝයාට උපකාරක වූයෙමි. මේ කය ද සංඝයාට උපකාර වේවා. මහ සෑයට පෙනෙන්නා වූ සංඝයාගේ කම්මාළකයෙහි සංඝදාස වූ මගේ සිරුර ආදාහනය කළ මැනව" කියලා.

ඒ කරුණුත් එක්ක බලද්දී රජතුමා ආදාහනය කරලා තියෙන්නේ පෙර දක්වපු පුලිල මළුවේ කියන එක තහවුරු වෙනවා. ඒත් එක්කම දක්ඛිණ විහාරයේ ස්ථූපය දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ මත ඉදිකරලා තියෙන බවත් පිළිගැනෙනවා.

ඒ බව තහවුරු වුණේ ස්ථූපයේ ධාතු ගර්භයේ කරපු කැණීම්වලින්. I වෙනි දාඨෝපතිස්ස රජතුමාට විරුද්ධව කැරලි ගහලා රජවුණු II කාශ්‍යප යුධ වියදම් පියවා ගන්න දක්ඛිණ ථූපය, ථූපාරාමය කොල්ල කෑ අතර ඊට පසුවත් දක්ඛිණ ථූපය කීප වරක් කොල්ලකෑම්වලට ලක්වෙලා තියෙනවා. එය කරපු නිධන් හොරු ධාතු ගර්භයේ හාරපු වළ තව කැණීමට ලක් කරද්දී පිළිස්සී කරවුණු ගඩොල් වගේම අඟුරු වුණු මැටි ගුලිත් හමුවෙලා තියෙනවා.

දක්ඛිණ ස්ථූපයේ ධාතු ගර්භයේ තිබූ වළ පතුලේ වූ අළු

පසුව ඇති කරපු ගින්නක් නිසා නොව අඟුරු තට්ටුවක් උඩ ස්ථූපය ඉදිකළා කියන එක තමා පරීක්ෂණවලින් තහවුරු වුණේ. මේ භෂ්මාවශේෂවලට කළ කාල නිර්ණ පරීක්ෂණ අනුව මේවා දුටුගැමුණු යුගයට අයතියි කියලා තහවුරු වුණා.

ඒ නිසා භෂ්මාවශේෂ උඩ මේ ස්ථූපය කරවපු බවත් සාහිත්‍යමය මූලාශ්‍රත් එක්ක බලද්දී මේ පුලිල මළුවේ ආදාහනය කළේ දුටුගැමුණු රජතුමාව නිසාත් රජතුමා සිහිපත් වෙන්න මේ ස්ථූපය ඉදිකලා කියන මතය ඉදිරිපත් වෙනවා.

මේ ස්ථූපය එළාර රජතුමා වෙනුවෙන් කරවපු ස්ථූපය වෙන්නේ නැත්තේ සාහිත්‍ය මූලාශ්‍රවල දක්වන විදිහට දුටුගැමුණු රජතුමා එළාර ස්ථූපය ඉදිකරන්නේ රජුන් දෙන්නා ද්වන්ධ යුද්දේ කරලා එළාර රජතුමාව මරා දාපු අනුරාධපුරයේ දකුණු වාසල් දොරට පිටතින් වෙන නිසා.

මේ අනුව බලද්දී දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ මැදි කරලා ඉදි කරපු කුඩා ස්ථූපය වළගම්බා රජ දවස විශාල කරවලා ඉදි කිරීමක් කරවපු බවත් ස්ථූපයේ වත්මන් හැඩරුව පසු කාලීනව කණිට්ඨ තිස්ස රජතුමාගේ කටයුත්තක් බවත් නිගමනය කරන්න පුලුවන්.

මෙයින් ලබාගත්තු දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ ඒ කාලේ ප්‍රදර්ශනය කරවපු බව පුවත් පතක ලිපියකින් කියෙව්වා වගේ මතකයි. ඉන් පස්සේ ඒ භෂ්මාවශේෂවලට වුණු දේ ගැන නම් මතක නැහැ.

දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇති කරඬුව

ඒ කොහොම වුණත් සිංහල රාජාවලියේ සුවිශේෂී රජ කෙනෙක් වුණු ඒ වගේම මේ රට පළමු වරට එක්සේසත් කරපු, බුදු සසුනට මහත් අනුග්‍රහ දක්වපු දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් වුණු මේ දක්ඛිණ ථූපය සිංහල බෞද්ධයන්ගේ වන්දනාවට පාත්‍ර විය යුත්තක්.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නෛතික අවසරයට යටත් ව මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් අනුරාධපුර ඡේතවන ව්‍යාපෘතියේ කැනීම් හා පර්යේෂණ අංශය මඟින් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ට කථිකාචාර්ය, ආචාර්ය පියතිස්ස සේනානායක මහතාගේ අධ්‍යක්ෂකත්වය යටතේ සිදුකරන දක්ඛිණ ථූපයේ නවතම කැණීම් ගැන දැනගන්න මෙතන කොටන්න.

මූලාශ්‍ර

පසුව ලියමි


මේ ලිපිය blog එකේ පළ කරලා ටික දවසකට පස්සේ කැම්පස් එකේදී අපේ History Department එකේ Senior batch එකක අක්කා කෙනෙක් කිව්වා මේ දවස්වල ජාතික කෞතුකාගාරයේ දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ ප්‍රදර්ශනය කරනවා.

දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ ප්‍රදර්ශනය විවෘත කරපු ජනාධිපතිතුමා

ඉතින් මට සතුටුයි ඒ ගැන එහෙම ප්‍රදර්ශනයක් ගැන දන්නේ නැතිව වුණත් ලියපු එක ගැන. සඳුදා දිහාට ඒ පැත්තේ යන්නත් කියලා හිතාගෙන ඉන්නේ භෂ්මාවශේෂ දැකබලා ගෙන එන්න. 31 වෙනකම් ඒ ප්‍රදර්ශනේ කරනවා කියලා තමා ආරංචි.

Monday, January 17, 2011

විජයබාහු මාළිගාව Palace of King Vijayabahu


අනුරාධපුරේ යනවා කියලා කියපු ගමන් අපේ සිහියට එන්නේ ශ්‍රී මහා බෝධිය, රුවන්මැලිසෑය, ජේතවනය, අභයගිරිය ආදී අටමස්ථාන වගේම සමාධි බුදු පිළිමය, සඳකඩ පහණ වගේ නිර්මාණ. ඒත් මේ උරුමයන්ට අමතරව තවත් වටිනා කියන උරුමයන් රාශියක් අනුරාධපුරයේ පිහිටලා තිබුණත් ඒවාට එතරම් සංචාරක අවධානයක් තාමත් යොමු නොවීම ගැටළුවක්.

ඒ වගේ ස්ථාන කීපයක් ගැන අවධානය යොමු කරන්නයි e-අටුවාවේ උත්සාහය. අද ඉදන් "නොදුටු අනුරාධපුර" නමින් ඒවා පළකරන්නයි අදහස.

නොදුටු අනුරාධපුරය ගැන කතා කරද්දී මුල්ම අවධානය යොමු කරන්න හිතුවේ ලක්දිව සිටි ශ්‍රේෂ්ඨම නරපතියෙක් වන මහා විජයබාහු රජතුමා අනුරාධපුරයේ ඉදි කළ මාළිගාව ගැනයි. එය වැදගත් වෙන්න ප්‍රධානම හේතුව වෙන්නේ අනුරාධපුරයේ දැනට හමුව තියෙන එකම රජ මාළිගාව වන්නේ මේ විජයබාහු මාළිගාව වීමයි.

අපි පළමුවෙන්ම රජතුමා ගැන කෙටියෙන් විමසලා බලමු.


"විජයබාහු රජතුමා නොසිටියේ නම් අද ලංකාවේ සිංහලයන් සිටිනු සැක සහිතය" මේ ප්‍රකාශයෙන්ම එතුමා ඉටුකරන ලද සුවිසල් මෙහෙය පැහැදිලිය. ක්‍රි.ව. 1017 දී ලංකාව චෝල පාලනයට යටත් වීමෙන් පසුව චෝල බලය බිඳලා නැවතත් ලංකාවේ සිංහලයන්ගේ බලය ඇතිකරන්න මුල්වුණේ මහා විජයබාහු රජතුමා.

මෙතුමා ක්‍රි.ව. 1070 දී චෝල බලය බිඳලා ලංකාව එක්සේසත් කලාට පස්සේ මුල් රාජධානිය වුණු අනුරාධපුරය ප්‍රතිසංස්කරණයට මුල්වුනා. රජතුමා පුද්ගලිකවම ඒ කටයුත්තට දායක වුණා කියලා තමා වංශකතා කියන්නේ. ඒ වගේම රජතුමා ක්‍රි.ව 1073 දී තමන්ගේ රාජාභිෂේක මංගල්‍යය පවත්වන්නේත් අනුරාධපුරයේදීමයි.

"මෙසේ ලත් ජය ඇත්තාවූ මහත්වූ නුවනැති ඒ විජයබාහු නම්වූ රජතෙමේ එකල්හි සියඅණින් නුවර බෙර හැසිරවී. සොළීරජ තෙම ස්වකීය සෙනාවගේ විනාසය අසා සිංහලයෝ බලවත්යයි සිතා නැවත සේනාව නොඑවීය. උඩඟු සොළී ශ්රෙහෂ්ඨයන් නිරවශේෂයෙන් නැසුවාවූ ඉතා මනා කොට තබනලද රජරට ඇති පණැති වීරවූ රාජශ්රෙෂ්ඨතෙම ඉෂ්ටවූ අනුරාධපුරවරයට අතිශයින් සතුටුව පසළොස්වෙනි වසයෙහි සම්ප්‍රාප්ත වූයේය. මේතෙක් හුදීජනයා ප්රොසාද සංවේග පිණිස කළ මහවස අනුරාධ පුරාබිගමන නම්වූ අට පණස්වෙනි අදියර නිමි.

(ඒ නරෙශ්වරතෙම) ලඞකාව ආරක්ෂාකරණ පිණිස ‍යොධ සම්මතවූ බලවත් ඇමතියන් කටයුතු උගන්වා හාත්පස යෙදී. අබිසෙස් මඟුල් පිණිස ප්‍රසාදාදීවූ නොයෙක් කළමනා සම්පාදනය කටයුතුයයි ඇමතියෙකුට නියෝග කොට ඒ පිය‍සෙහි වැඳිය යුතුවූ නොයෙක් චෛත්‍යයන් වඳිමින් තුන්මසක් ගෙවා පොළොන්නරුවට නැවත පැමිනියේය."

මහාවංශය - 59 වැනි පරිච්ඡේදය

මේ කාලය තුල රජතුමාට වාසය කරන්න මාළිගාවක් අනුරාධපුරයේදී ඉදිවෙනවා. ඒ වගේම පසුකාලීනව රාජ්‍ය උත්සව පවත්වන්නත් මේ මාළිගාව භාවිතා වෙනවා කියලා පනාකඩුව තඹ සන්නස කියවද්දී පැහැදිලි වෙනවා.

මහා විජයබාහු රජතුමා කුමාර කාලයේ වනගතව ගත කරද්දී වගේම චෝල බලය පරදවන්න උදව් කරපු බුද්ධරාජ එහෙමත් නැත්නම් සිත්නරුබිම් බුදල්නාවන්ට කල පරිත්‍යාග දක්වලා තියෙන්නේ මේ පනාකඩුව තඹ සන්නසේ. එහි මුල් කොටසේ (අ ) 6 පේළියේ දැක්වෙන්නේ

" ........ වක්දවස් නුරුපුරවරෙහි සිහසිනරා කිරුළුමිණි රසින් පළ සෙසත් කිස තවරමින් වැඩැහින් දෑ ....."

මෙහි තේරුම වන්නේ ..... දිනයෙහි අනුරුධපුරවරෙයහි සිංහාසනාරූඪ ව කිරීට මාණික්‍ය රශ්මියෙන් පැතුරුණු සේසත් ඇතුළත ආලෝක කරමින් වැඩ හිඳ.........

ඒ අනුව බලද්දී මේ මාළිගාව විජයබා රජ සමයේ වැදගත් ගොඩනැගිල්ලක් වූ බව පැහැදිලියි.

මේ මාළිගාව පිහිටලා තියෙන්නේ ථූපාරාමය අසළ ඇති සංඝමිත්තා මාවතේයි. මේ ස්ථානයේ පිහිටීම ගැන සිතියමක් බලන්න මෙතන කොටන්න.

මාළිගාව පිහිටලා තියෙනබිමට ඇතුළු වුනාම දැකගන්න පුලුවන් බහිරව රූප දෙකක් මුරගල් වශයෙන් තබා ඇති පියගැට පෙළක්. මාළිගාවට පිවිසෙන්නේ ඒ ද්වාරයෙන්.

මේ මුරගල්වලට භාවිතා කරලා තියෙන්නේ වස්තුවට අධිපතු කුවේර දෙවියන්ගේ ආරක්ෂකයන් විදිහට සළකන සංඛ හා පද්ම කියන බහිරවයක් දෙදෙනා. මේ බහිරව රූ දෙකම අභයගිරි විහාරයට පිවිසෙන පියගැට පෙළ දෙපසත් දකින්න පුලුවන්.

මාළිගාව සාමාන්‍ය ප්‍රමාණයේ මාළිගාවක්. මෙහි දිග පළල සළකලා බැලුවොත් 128 x 216 ප්‍රමාණයක් තමා තියෙන්නේ. මෙහි තියෙන බැමිවල ආකාරය අනුව උඩු මහලක් පවතින්න ඇති කියලා අනුමාන කරන්න පුලුවන්.

ඒ වගේම තවත් සුවිශේෂී දෙයක් වෙන්නේ තවමත් මෙහි ඉපැරණි බදාම තට්ටු වගේම චිත්‍ර දැකගන්න පුලුවන් වීමයි. ඒවායේ ආරක්ෂාවට ආවරණයක් ඉදි කරලා තිබුණත් ඊට වඩා හොඳ ආවරණයක් ඉක්මණින් ඉදිකළ යුතුයි.

මාළිගාව වටා ආරක්ෂිත පවුරු පැවති බවකුත් පෙනෙනවා. මුල් කාලීනව මේ විදිහට පැවතුණු මාළිගා මහා පරාක්‍රමබාහු සමය වනවිට දියුණු මට්ටකට පැමිණි බවත් පෙනෙනවා.

තවත් මෙවැනිම අනුරපුර නොදුටු උරුමයකින් හමුවෙමු............