Wednesday, December 15, 2010

මැද්දේගම රජ මහා විහාරය - Meddegama Raja Maha Viharaya

කළු පැහැති කවයෙන් දක්වලා තියෙන්නේ ඈතට පේන මැද්දේගම රජ මහා විහාරය

ලංකාව කියන පුංචි රටේ පුරාවිද්‍යා එක ප්‍රදේශයකට විතරක් සීමා වෙන්නේ නැතිව මුළු ලංකාව පුරාම පැතිරිලා තියෙන එක විශේෂ කාරණයක්. මේ විදිහට හැම ප්‍රදේශයක පුරාවිද්‍යා උරුමය පැතිරිලා තිබුණත් අපේ අවධානය වැඩි වශයෙන් යොමු නොවුණු ඒත් පුරාවිද්‍යාත්මක වගේම ඓතිහාසික වටිනාකම වැඩි ස්ථාන තියෙනවා. ඒ වගේ ස්ථානයක් ගැන තමා අද අවධානය යොමු කරන්නේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටලා තියෙන ඉපැරණි පූජනීය ස්ථානයක් විදිහට මැද්දේගම රජ මහා විහාරය හඳුන්වන්න පුලුවන්. කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරයෙන් කිරිඳිවැල මාර්ගයෙන්, ඒ වගේම කොළඹ - රත්නපුර මාර්ගයේ හංවැල්ල නගරයෙන් කිරිඳිවැල මාර්ගයේ ඇවිත් මැද්දේගම අමිතිරිගල මාර්ගයේ පැමිණීමෙන් මැද්දේගම රජ මහා විහාරයට පැමිණෙන්න පුලුවන්.

මැද්දේගම රජ මහා විහාරය පිහිටලා තියෙන මැද්දේගම ගමට ඒ නම ලැබුණු හැටි ගැන හොයලා බලද්දී ඒක බොහොම ඈතකට දිව යනවා. ඉස්සර කාලේ ලංකාව ත්‍රි සිංහලය ලෙස හඳුන්වන්පු කාලේ ලංකාව කොටස් තුනකට බෙදිලා තිබුණානේ රුහුණු, පිහිටි, මායා කියලා.

මේ මායා රටේ මැද හෙවත් මධ්‍යයේ පිහිටලා තිබුණු නිසා මැද්දේගම කියලා නම මේ ගමට හිමිවුණු බවයි දැනගන්න ලැබුණේ.

මැද්දේගම ඉතිහාසය ගැන හොයලා බලද්දී අනුරාධපුර යුගය දක්වාම මෙහි ඉතිහාසය දිව යනවා. ඒ කාලයේ මාතොට හෙවත් මන්නාරම් වරායේ ඉදන් මාගම්පුරයට දක්වා මිනිස්සු ගමන් කරපු මාර්ගය වැටිලා තිබුණා කියන්නේ මේ මැද්දේගම හරහායි.

ඒ වගේම අනුරාධපුරයේ රජකම් කළ දෙවනපෑතිස් රජතුමාගේ [ක්‍රි.පූ 307-267] රජතුමාගේ බාල සොහොයුරෙක් වුණු උත්තිය කුමාරයා මායා රට පාලකයා විදිහට ඒ කියන්නේ "මාපා" විදිහට කටයුතු කරද්දී මේ ප්‍රදේශයේ මාළිගාවක් ඉදි කරලා තිබුණා කියලත් ගම්වාසීන් කියනවා.

ඒ මාළිගාව පිහිටලා තිබ්බ ස්ථානයේ පස්සේ කාලයේ හිටපු අගමැති S.W.R.D. බණ්ඩාරනායක මැතුතිමන්ගේ පියා වුණු ශ්‍රීමත් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහ මුදලිතුමා නිවසක් 1887 වර්ෂයේදී ඉදි කරලා තියෙනවා. ඒ නිවසට නම විදිහට යොදලා තියෙන්නේ "මැද්දේගම මාළිගාව" කියලා.

ශ්‍රීමත් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහ මුදලිතුමා

ඒ කාලයේ ප්‍රභූවරුන්ගේ නිවෙස් හැඳින්වුණේ වලව් නමින්. උදාහරණ විදිහට කිව්වොත් බණ්ඩාරනායකවරුන්ගේ හොරගොල්ල වලව්ව, සේනානායකවරුන්ගේ බෝතලේ වලව්ව, කොතලාවලවරුන්ගේ කඳවල වලව්ව යනාදී විදිහට.

ඒත් මේ මැද්දේගම තනපු නිවස මැද්දේගම වලව්ව ලෙස නොව මැද්දේගම මාළිගාව විදිහට නම් කළේ උත්තිය මාපාණන්ගේ මාළිගාව තිබූ තැන ඉදි කරපු නිසා කියලයි ගම්වාසීන් කියන්නේ. [මැද්දේගම මාළිගාව ගැනත් ලිපියක් ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන අවසරය ලැබුණු ගමන් ඒකත් ඔයාලට කියවන්න පුලුවන්] පස්සේ උත්තිය මාපාණන් දෙවනපෑතිස් රජතුමාගේ අභාවයෙන් පස්සේ අනුරාධපුරයේ රාජ්‍යත්වයට පත්වෙනවා ක්‍රි.පූ 267 දී.

ඉතින් ඒ වගේම ඓතිහාසික පසුබිමක් තියෙන මැද්දේගම පිහිටි මැද්දේගම රාජ මහාවිහාරයේ තිබෙන එක් එක් විහාර අංගත් එක්ක ඒවායේ යටගියාව ගැනත් කතා කරමු.

රංවල දේවාලය

මේ විහාරය තියෙන්නේ කන්දකට වගේ වෙන්න නිසා පාමුල පිහිටලා තියෙන්නේ මේ ප්‍රදේශයේ ප්‍රාදේශීය දෙවියෙක් වෙන රංවල දෙවියෝ ඒත් නැත්නම් රංවල මුත්තා වෙනුවෙන් ඉදි කරලා තියෙන දේවාලය. මේ රංවල දෙවියෝ කියන්නේ සැබෑ ලෙසම ජීවත් වුණු මිනිසුන්ට උදව් උපකාර කරපු යහපත් අයෙක් කියලයි කියන්නේ.

කැලණි ගඟ ආසන්නයේ ජීවත් වුණු රංවල මුත්තා කැලණි ගඟේ ගල් කුළු තිබුණු තැන්වල පහන් පත්තු කරලා තියෙන කාරියක් හැමදාම කරලා තියෙනවා. ඒක නිසා ඔරුකාරයින් කිසිම කරදරයක් නැතිව ගඟේ ඉහළ පහළ යාත්‍රා කරලා තියෙනවා.

රංවල දෙවියෝ

දවසක් දා රංවල මුත්තාව හොයලා බලද්දී එයා මිය ගිහින් ඉන්නවා ගමේ මිනිස්සුන්ට දකින්න ලැබුණා. ඒත් ඔරුකාරයින්ට එදා රාත්‍රියෙත් ගල් කුළුවල පහන් පත්තු කරලා තියෙනවා දැකගන්න ලැබුණා. මේක නිසා මිනිස්සු රංවල මුත්තාව දේවත්වයෙන් වන්දනා කරන්න ආරම්භ කරලා තියෙනවා.

රංවල දෙවියන්ට බාර වූ විට පහන් දල්වන විදිහ

මැද්දේගම රජ මහා විහාරය පාමුල තිබුණු රංවල දේවාලය ගාවත් අමුතු ආකාරයට ගොක් කොළවලින් සකසපු කූඩයක පහන් දල්වලා තියෙනවා දැකගන්න පුලුවන් වුණා. රංවල දෙවියන්ට මොකක් හරි කාරණයකට බාර හාර වුණාම පහන් දල්වන්නේ ඒ විදිහටයි කියලා තමා දැනගන්න ලැබුණේ.

විහාරයට පිවිසෙන්න තියෙන්නේ ගල් පඩි තරණය කරලා. මේ විදිහට ගල් පඩි 100 කට ආසන්න ගණනක් අපිට නගින්න වුණා. මේ ගල්පඩි පෙළ 1930 දශකයේ වගේ තමා ඉදි කරලා තියෙන්නේ. ඒ ගල් පඩිවලට අනුග්‍රහය දක්වපු පිංවතුන්ගේ නම්, ගම් පවා මේවායේ කොටලා තියෙනවා දැකගන්න පුලුවන් වුණා.


ගල් පඩි තරණය කරලා මළුවකට ආපු අපිට දැකගන්න පුලුවන් වුණේ ගල් කුළක් පාමුල මැටි හා ගල් පාවිච්චි කරලා ඉදි කරලා තිබුණු මේ වෙනකොට ගරා වැටුණු කුටියක්. මේ කුටියේ හාමුදුරු නමක් මීට කාලෙකට කලින් භාවනා කරන්න යොදා ගත්තු බවත් පස්සේ කාලේ මේක ගරා වැටුණා කියලයි දැනගන්න හම්බුණේ.

ගරා වැටුණු කුටිය

එතනින් වම් පසට තියෙන පාරේ ගමන් කරද්දී කටාරම් කෙටුව ගල් ගුහාවක ඉදි කරලා තියෙන විහාර ගේ දැකගන්න පුලුවන්. අනුරාධපුර යුගයේ රජකම් කළ වළගම්බා රජ සමයේ [ක්‍රි.පූ 104-76] මේ කටාරම් කෙටුව බවයි කියන්නේ. නමුත් ඒ ගැන සෙල්ලිපි වැනි යමක් මේතාක් හමු නොවීම ගැටළුවක්.


කටාරම කොටා ඇති අයුරු
මේ විහාර ගෙය පසුකාලීන මහනුවර යුගයේදී ප්‍රතිසංස්කරණ කටයුතු කරලා තියෙනවා. මේ වෙනකොට විහාර ගෙයි සැතපෙන බුදු පිළිමයක්, ඒ දෙපස අග සවු දෙනම වන සැරියුත් හා මුගලන් මහ රහතන් වහන්සේලාගේ පිළිම, හිටි බුදු පිළිමයක්, හිඳි බුදු පිළිමයක් වගේම විෂ්ණු දේව ප්‍රතිමාවක් තිබෙනවා.


සැතපෙන බුදු පිළිම වහන්සේ

හිඳි බුදු පිළිම වහන්සේ

හිටි බුදු පිළිම වහන්සේ

විෂ්ණු දේව ප්‍රතිමාව

විහාරයේ බිතු සිතුවම් මෑත කාලයේ කරවූ බවක් තමයි පේන්න තියෙන්නේ. ඒ සිතුවම් අතර නලපාන ජාතකය ඒ වගේම රහතන් වහන්සේලාගේ සිතුවම් කීපයකුත් මේ විහාරයේ ඉතිහාසය ආරම්භ වන්නේ දෙවනපෑතිස් රජ සමයේ නිසාදෝ එතුමාගේ රුවකුත් සිතුවම් කරලා තියෙනවා.

දෙවනපෑතිස් රජතුමාගේ සිතුවම

එතනින් ඉහළට ඇති පඩි පෙළෙන් ගමන් කළාම මැද්දේගම රජ මහා විහාරයේ තිබෙන සුවිශේෂීම පූජනීය වස්තුව හමුවෙනවා. ඒ තමා දෙතිස් ඵල රූහ බෝධීන් වහන්සේලාගෙන් එක් බෝධීන් වහන්සේ නමක්.


දෙතිස් ඵල රූහ බෝධීන් වහන්සේලා ගැන කෙටි විස්තරයක් කළොත් අනුරාධපුර යුගයේ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ මෙරටට වැඩම කරවපු බුද්ධගයාවේ පිහිටි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වුණු ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරපුර මහමෙවුනා උයනේ රෝපණය කිරීමෙන් පසුව මුලින්ම හටගත්තු හට ගත්තා බෝ පැළ 8 ක් ඒවා හඳුන්වනවා "අෂ්ඨ ඵල රූහ බෝධි" නමින්.

ඉන්පසුව බෝ පැළ 32 ක් හටගන්නවා. ඒවා හඳුන්වන්නේ "දෙතිස් ඵල රූහ බෝධි" නමින්. මේ සියල්ල "සම සතළිස් බෝධි" ලෙස හඳුන්වනවා.

මේ සම සතළිස් බෝධීන් වහන්සේලා රෝපණය කිරීම ගැන ක්‍රි.ව 10 වන සියවසේ රජ කළ IV වන මිහිඳු රාජ සමයේදී උපතිස්ස හිමියන් රචනා කළ මහා බෝධි වංශයේ 14 වෙනි පරිච්ඡේදයේ දැක්වෙන්නේ මේ ලෙසින්. ඒ අතර මැද්දේගම යන නමද දැකගත හැකියි.

".......එයින් එක් බෝපැළයක් සමුද්රපතීරයෙහි සිටැ එන ගමනේ මහා බෝධින් වහන්සේ පිහිටි තැන දඹුලු තොටැ රෝපණය කෙළේ යැ. එකක් තවක්ක නම් බ්‍රාහ්මණ ග්‍රාමයෙහි පිහිටුවුයේ යැ. එකක් ථුපාරාමයෙහි පිහිටු වුයේ යැ. එකක් කසුන්ගිරි වෙහෙරැ පිහිටු වුයේ යැ. එකක් ප්‍රථමක චෛත්‍යස්ථානයෙහි පිහටුවුයේ යැ. එකක් සෑගිරියෙහි පිහිටුවුයේ යැ. එකක් රෝහණ ජනපදයෙහි කදරගම පිහිටුවුයේ යැ, එක් බෝපැලයක් එහි මැ සඳුන්ගමැ රෝපණය කැරැවුයේ යැ.

ඉක්බිත්තෙන් ඉතිරි ඵල සතර දෙනාගේ බිජුවටින් අට අට බැගින් උපන් දෙතිස් ඵලරුහ ශ්රීත මහා බෝධීන් වහන්සේ අතුරින් මල් වැස්සා වෙහෙරැ එක් ඵලරුහ බෝධියක් ද, එසේ මැ තන්ත්රිසමාල නම් වෙහෙරැ එකක් ද පිහිටියේ යැ, මුහුදු බඩ මහාජල්ලික නම් කෙවුල් ගමැ එක් බෝධියක් ද, මෙසේ මැ කොට්ටියාරම ද, පොලොන්නරුවෙහි ද, මාතලේ රුයිගම ද, රුහුණු රටැ මාගම ද, වීල්වලද, මහියඬ්ගණයෙහි ද, සේරුවිල සමීපයෙහි නයින් ගේ විල්ගම්වෙහෙරැ ද, ඌව බදුල්ලේ මුතියඬ්ගණයෙහි ද, එම රටැ බුත්හල හප්පෝරු වෙහෙරැ ද රුහුණු රටැ සිතුල්පවු වෙහෙරැ ද, තංගලු වෙහෙරට බටහිර දික්හි වු වනවාස වෙහෙරැ ද, වැලිගම් වෙහෙරැ ද, පරගොඩැ ද, මැද්දේගමැ ද, ගණේගමැ ද, කොත්මලේ පුසුල් පිටියෙහි ද, මායාරට වතුරේ ද, බෙලිගලැ ද, බෙල්ලන්විලැ ද, වඳුරව ද, වට්ටාරමේ රජමහාවිහාරයෙහි ද, සුලුගල්ලේ ද, රැස්වෙරුවේ ද, කථියාවෙහි ද, ගිරිබා වෙහෙරෙ ද, යාපවු සුන්දරගිරි පවුවෙහි ද, කසාගලු වෙහෙරෙහි ද, ඇඹලව රහත් ගල්වෙහෙරෙහි දැ”යි මෙසේ සමසතළිස් මහා බෝධි රාජයෝ බුදුරජාණන් වහන්නේ ගේ අධිෂ්ඨාන වු ලෙසට මැ මේ ශ්‍රී ලඬ්කාද්වීපයෙහි පිහිටියාහු යැ....."

මහා බෝධි වංශය කියවන්න කැමති නම් මෙතන කොටන්න.


මේ බෝධි වෘක්ෂය රෝපණය කර ඇති ආකාරයද විශේෂී වන්නේ එහි සතර කොන්වලටද පරිවාර බෝධි 4 ක් රෝපණය කර ඇති නිසායි. ඒ ලෙස ප්‍රධාන බෝධීන් වහන්සේ වටා පරිවාර බෝධින් වහන්සේලා රෝපණය කර ඇති ස්ථානයක් ලෙස මම දැකලා තියෙන්නේ අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය කර ඇති ස්ථානය පමණයි.

එසේම බෝධි වෘක්ෂයේ පැරණි බව නිසාම මේ වනවිට කඳ මැදින් දිරා ගොස් කුහරයක් සෑදී තිබීම නිසායි. ඇති ආකාරයකුත් දැකගන්න පුලුවන් වුණා. එයට පිළියමක් ලෙසදෝ බෝධි වෘක්ෂයේ කඳ වටා යකඩ පටියක් දමා තිබුණා.


අනුහස් ඇති බෝධි වෘක්ෂයක් ලෙස ගම්වාසීන් අතර මේ බෝධි වෘක්ෂය වන්දනාවට පාත්‍රවන අතර මෙහි ඇති ඉදිකිරීම් කීපයක්ම එලෙස විවිධ ප්‍රභූන් වූ බාර හාර වෙනුවෙන් ඉදිකළ ඒවා බවයි කියවෙන්නේ.

නිදහස් ශ්‍රී ලංකාව වෙනුවෙන් පැවති ප්‍රථම මැතිවරණයේ ජය පතා සේනානායක මැතිතුමා ඇතුළු පිරිස මෙහි බෝධි පූජාවක් පැවැත්වූ බවත්, එසේම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය තමන්ගේ මැතිවරණ ජය පතා කළ බාරයක් වෙනුවෙන් මෙහි ගල් බැම්මක් ඉදි කිරීමට දායක වුණු බවත්, හිටපු දියවඩන නිලමේවරයෙක් වෙන නිශ්ශංක විජයරත්න මැතිතුමාද කළ බෝධි ප්‍රාකාරයේ ඉදි කිරීමක්ද මෙහි දැකගන්න පුලුවන්.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ඉදි කරවූ ගල් බැම්ම

හිටපු දියවඩන නිලමේ නිශ්ශංක විජයරත්න මැතිතුමා ඉදි කරවූ බෝධි ප්‍රාකාරය

බෝ මළුව අසළම අළුතින් රෝපණය කර ඇති බෝ වෘක්ෂයක් මෙන්ම ඒ වටා අටවිසි බුදු පිළිම වහන්සේලා තැන්පත් කර ඇති ප්‍රාකාරයක් දැකගන්න පුලුවන්. ඒ ඉදිකිරීම කර ඇති ස්ථානයේ පැරණි ඉදිකිරීමක නටබුන් තිබූ බවත් මේ වනවිට එයින් ගල් කණුවල කොටස් 3 ක් පමණක් ඉතිරිව ඇති බවත් දැනගන්න ලැබුණා.

පැරණි ඉදිකිරීමේ ඉතිරිව ඇති ගල් කණුවක කොටසක්

කෙසේ නමුත් නව ඉදිකිරීම කිරීමේදී එම ගල් කණුවල කොටස් ඉවත් නොකර ඒ ඉදිකිරීම කර තිබීම ගැන සතුටු වෙන්න පුලුවන් යම්තාක් දුරකට හරි.

එසේම ඒ ආසන්නයේම වතුර පිරී තුබුණු පොකුණක් දැකගන්න පුලුවන් වුණා. එයින් කන්ද පාමුල ඇති දොළ පහරක් වෙතට ගමන් කළ හැකි රහස් මාර්ගයක් ඇති බවයි කියන්නේ.


මෑත කාලීන ඉදිකිරීමක් ලෙස චෛත්‍යරාජයාණන් වහන්සේ දැකගත හැකි අතර ඒ අසළත් සාමාන්‍යයෙන් විශාල පොකුණක් දැකගත හැකියි.

චෛත්‍යරාජයාණන් වහන්සේ

චෛත්‍යරාජයාණන් වහන්සේ ඉදිරිපස ඇති තරමක් විශාල පොකුණ

අනුරාධපුර යුගයට දක්වා දිවෙන ඉතිහාසයක් ඇති මැද්දේගම රජ මහා විහාරයේ ඓතිහාසික බව තහවුරු කරන්නට වැඩි වශයෙන් දායක වෙන්නේ ගම්මුන්ගේ මුඛ පරම්පරාගතව එන ජන කතා වගේම මහා බෝධිවංශය වැනි සාහිත්‍ය මූලාශ්‍ර කීපයක් පමණයි. මෙහි විධිමත්ව ගවේෂණයක් කළොත් බොහෝ කරුණු කාරණා සොයාගත හැකි බව මේ ගමනේදී අපිට කරුණු කියාදෙන්න එකතු වුණු අනුරුද්ධ තාඹුගල මිතුරාගේ අදහසයි.

මැද්දේගම රජ මහා විහාරයේ තවත් ඡායාරූප බලන්න ඕනේ නම් මෙතන කොටන්න.

අපේ විශ්වවිද්‍යාලයේ මිතුරෙක් වන අනුරුද්ධ තාඹුගලගේ ගෙදර අපි කීපදෙනෙක් ගිය වෙලාවක තමයි මේ ඉපැරණි ස්ථානයට යන්න අපිටත් හැකිවුණේ. ඒක නිසා අනුරුද්ධටත් එයාගේ පවුලේ අයටත් විශේෂ ස්තුතිය පුද කරන්න ඕනේ අපිව මේ ස්ථානයට රැගෙන යාම වගේම ආහාර පානවලින් සංග්‍රහ සත්කාර කිරීම සම්බන්ධව :)