Friday, May 20, 2011

දක්ඛිණ ථූපය - Dakkhina Stupa

අදත් සටහන නොදුටු අනුරාධපුරයේ තවත් ස්ථානයක් ගැනයි. ඒ දක්ඛිණ ථූපය ගැන. ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයට පිවිසෙන්න තියෙන එක් ස්ථානයක් වෙන කුරුණෑගල හන්දියේ ඉදන් ශ්‍රී මහා බෝධිය අසළට වැටිලා තියෙන මිහිඳු මාවත ඔස්සේ ඉදිරියට ගමන් කරද්දී මාර්ගයේ වම් පැත්තේ පිහිටලා තියන විශාල ගඩොල්වලින් කරලා තියෙන නිර්මාණයක් සමහර විට දැකලා ඇති. මේ ගරා වැටුණු ස්ථූපය තමා දක්ඛිණ ථූපය විදිහට හඳුන්වන්නේ.

මුල් කාලීනව එතරම් අවධානයකට ලක් නොවුණු මේ ස්ථූපය දුටුගැමුණු රජතුමා විසින් තමන්ගේ ප්‍රතිවාදියා වුණු එළාර රජතුමාව යුද්ධයේදී මරා දැමූ ස්ථානයේ එළාර රජතුමාව ගෞරව සහිතව ආදාහනය කරලා ඉදි කරපු ස්ථූපය විදිහටයි බොහෝ දෙනා සැළකුවේ.

මුලින්ම් මේ ස්ථානයේ පුරාවිද්‍යා කැණීමක් 1896 දී දියත් කරන්නේ ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වුණු H.C.P. බෙල් මහත්මයායි. මේ එළාර සොහොන නොවන බවත් ඒ කාලයේ අනුරාධපුරයේ තිබුණු ප්‍රධාන ආරාමයක් වුණු දක්ඛිණගිරි විහාරයේ ස්ථූපය කියන මතය එතුමා ඉදිරිපත් කළත් ඒ ගැන එතරම් පිළිගැනීමක් ඇතිවුණේ නැහැ.

1876 ජේම්ස් ෆර්ගසන් කියන ස්කොට් ජාතික වාස්තු විද්‍යාඥයා රචනා කරපු History of Indian and Eastern Architecture කෘතියේත් මේ අදහසම ඉදිරිපත් කරලා තිබුණා. නමුත් බෙල් මහත්තයා ඇතුළු කණ්ඩායමට දක්ඛිණ ථූපයේ කැණීම් කරගෙන යද්දී දෙබර පොදියක් කඩාවැටී සිදුවූ අනතුර නිසා 1900 විතර පස්සේ එහි කැණීම් සිදු වුණෙත් නැහැ.

1946 දී තමා නැවතත් දක්ඛිණ ස්ථූපයේ කැණීම් ආරම්භ වෙන්නේ. ඒ සඳහා මූලිකත්වය ගන්නේ ප්‍රථම ලාංකීය පුරාවිද්‍යා කොමසාරිස්වරයා වුණු සෙනරත් පරණවිතානයන්. ස්ථූපය වටා තිබූ බොහෝ සැරසිලි ඒ වගේම වාහල්කඩ වගේ නිර්මාණ නිධන් හොරුන් අතින් විනාශයට පත්වෙලා තිබුණු ආකාරය කැණීම් දිගටම කරගෙන යද්දී ඒ මහතාට දැකගන්න පුලුවන් වුණා.

උතුරු හා නැගෙනහිරි වාහල්කඩවලට දරුණු හානි නිධන් හොරුන් අතින් වෙලා තිබුණත් දකුණු වාහල්කඩට එතරම් හානියක් වෙලා තිබුණේ නැහැ. ඒ කොටසේ තිබිලා අඩි 16 ක් පමණ උස ශිලා ස්ථම්භයක් හමුවුණා. සාංචි තොරණ්වල කැටයම්වලට යම් හුරුකමක් තිබුණු මේ ශිලා ස්ථම්භය ක්‍රිස්තු වර්ෂ මුල් සියවස්වලට අයිති කියලයි නිගමනය කෙරුණේ.

පුන් කලසකින් ආරම්භ වෙන ලියවැලක් ක්‍රම ක්‍රමයෙන් උඩට යන කොට සිහින් වෙලා යන ආකාරයක් තමා ඒකේ දැකගන්න පුලුවන්. ලියවැලේ දෙපසට බෙදිලා තියෙන් අතුවල මිනිස් රූප වගේම සිංහයා, ඇතා, අශ්වයා, ගවයා වැනි සතුන්ගේ රූ කැටයම් කරලා තියෙනවා. සියල්ලටම මුදුනින් හක් ගෙඩියක් අති අරන් පද්මාසනයෙන් ඉන්න දේවතා රුවක් දැකගන්න පුලුවන්.

බස්නාහිර වාහල්කඩ තිබුණු ප්‍රදේශයෙන් උමඟක් හාරලා නිධන් හොරු ධාතු ගර්භයට ඇතුලු වෙලා තිබුණු නිසා ඒ ප්‍රදේශයෙන් නිධන් හොරු නොවටිනා දේවල් කියලා දාලා ගිය පබළු, කිරිගරුඬ කොටස්, පියාපත් ඇති සිංහ රූප, කාසි වගේ ඒව හමුවෙලා තියෙනවා. ඒවායින් අතීතයේ තිබුණු කලා ශිල්ප ගැන වැටහීමක් ලබාගන්න පුරාවිද්‍යාඥයින්ට හැකිවුණා.

1948 දී ස්ථූපයේ සලපතල මළුව පාදා ගන්න පුලුවන් වීමත් එක්කම බිම අතුරලා තිබුණු ගල් පුවරු කීපයකම 3 වෙනි සියවසට අයිති බ්‍රාහ්මී අක්ෂරවලින් ලියපු ලිපියේ "දකිණි විහර" යන පාඨයෙන් මේ දක්ඛිණ විහාරයේ ස්ථූපය බව තහවුරු කරගන්න පුරාවිද්‍යාඥයින්ට හැකිවුණා.

මෙතෙක් හම්බෙලා තියෙන දීර්ඝතම බ්‍රාහ්මී සෙල්ලිපිය වෙන මේ ලිපියේ සමහර කොටස් තිබුණු ගල් පුවරු එතනින් අරගෙන ගිහින් තියෙන නිසා මුළු ලිපියම කියවන්න පුලුවන් වුණේ නැහැ. ඒක නිසා මේ ලිපිය කරවපු රජතුමා ගැන හොයාගන්න බැරි වුණත් විහාරයට එක් එක් අය විසින් පූජා කරපු ගම් බිම් ගැන එහෙම දැනගන්න පුලුවන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ ස්ථූපය ඉදි කළේ කවුරුන්ද යන වගත් මේ ලිපියේ සඳහන්.


කලින් කියපු ඉඩම් පූජා කළේ පිත මහ රජ දවස කරවපු දක්ඛිණ විහාරයේ තිස මහ චෙතිය ට කියලා ලිපියේ කියවෙනවා. මෙහිදී පිත මහ රජකියන්නේ වළගම්බා රජතුමාට. ඒ තමන්ගේ සොයුරා වුණු ඛල්ලාට නාගගේ පුතා වුණු මහාචූළි මහාතිස්ස තමන්ගේ පුතෙක් විදිහටම හදා වඩා ගත් නිසයි.

ඒ රජතුමාගේ උත්තිය කියන සෙනෙවියා ක්‍රි.පූ 2 සියවසේදී පමණදක්ඛිණ විහාරය කරවලා තියෙනවා. නගරයට දකුණින් පිහිටි නිසා දක්ඛිණ විහාරය යන නම් ලද බවයි කියවෙන්නේ.

කණිට්ඨ තිස්ස රජ සමයේ ස්ථූපය විශාල කරවපු නිසා තිස මහ වෙතිය විදිහට ස්ථූපය හඳුනවන්න ඇති කියලා විශ්වාස කරනවා. ඒ වගේම ඒ රජතුමා දාන ශාලාවක්ද ඉදි කරලා තියෙනවා. පස්සේ කාලේ ගෝඨාභය රජතුමා උපෝසථාගාරයකුත් 1 අග්බෝ රජතුමා ගොඩනැඟිලි කීපයකුත් දක්ඛිණ විහාරයට පූජා කළ බව වංශ කතා කියනවා.


දක්ඛිණ ස්ථූපය ඉදි කරපු ස්ථානය ගැන බලද්දී ඒක මිහිඳු හාමුදුරුවෝ සංඝ කර්ම කරන්න ඉදිකරපු පිචුල මාලක එහෙමත් නැත්නම් පුලිල මළුවේ දක්ඛිණ විහාරයේ ස්ථූපය ඉදිකළා කියලා සද්ධර්මාලංකාරයේ එන සඳහන වංශ කතාවල එන කතා ප්‍රවෘත්තිත් එක්ක බලද්දී සනාථ වෙනවා.

විශේෂම කතා පුවත වෙන්නේ මරණාසන්නව හිටපු දුටුගැමුණු මහ රජතුමා තමන්ගේ සිරුරට කළ යුතු දේ දැනුම් දීමත් එක්ක බැඳුණු කතාවයි. රජතුමා කියනවා "සූවිසි වසක් මුළුල්ලෙහි සංඝයාට උපකාරක වූයෙමි. මේ කය ද සංඝයාට උපකාර වේවා. මහ සෑයට පෙනෙන්නා වූ සංඝයාගේ කම්මාළකයෙහි සංඝදාස වූ මගේ සිරුර ආදාහනය කළ මැනව" කියලා.

ඒ කරුණුත් එක්ක බලද්දී රජතුමා ආදාහනය කරලා තියෙන්නේ පෙර දක්වපු පුලිල මළුවේ කියන එක තහවුරු වෙනවා. ඒත් එක්කම දක්ඛිණ විහාරයේ ස්ථූපය දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ මත ඉදිකරලා තියෙන බවත් පිළිගැනෙනවා.

ඒ බව තහවුරු වුණේ ස්ථූපයේ ධාතු ගර්භයේ කරපු කැණීම්වලින්. I වෙනි දාඨෝපතිස්ස රජතුමාට විරුද්ධව කැරලි ගහලා රජවුණු II කාශ්‍යප යුධ වියදම් පියවා ගන්න දක්ඛිණ ථූපය, ථූපාරාමය කොල්ල කෑ අතර ඊට පසුවත් දක්ඛිණ ථූපය කීප වරක් කොල්ලකෑම්වලට ලක්වෙලා තියෙනවා. එය කරපු නිධන් හොරු ධාතු ගර්භයේ හාරපු වළ තව කැණීමට ලක් කරද්දී පිළිස්සී කරවුණු ගඩොල් වගේම අඟුරු වුණු මැටි ගුලිත් හමුවෙලා තියෙනවා.

දක්ඛිණ ස්ථූපයේ ධාතු ගර්භයේ තිබූ වළ පතුලේ වූ අළු

පසුව ඇති කරපු ගින්නක් නිසා නොව අඟුරු තට්ටුවක් උඩ ස්ථූපය ඉදිකළා කියන එක තමා පරීක්ෂණවලින් තහවුරු වුණේ. මේ භෂ්මාවශේෂවලට කළ කාල නිර්ණ පරීක්ෂණ අනුව මේවා දුටුගැමුණු යුගයට අයතියි කියලා තහවුරු වුණා.

ඒ නිසා භෂ්මාවශේෂ උඩ මේ ස්ථූපය කරවපු බවත් සාහිත්‍යමය මූලාශ්‍රත් එක්ක බලද්දී මේ පුලිල මළුවේ ආදාහනය කළේ දුටුගැමුණු රජතුමාව නිසාත් රජතුමා සිහිපත් වෙන්න මේ ස්ථූපය ඉදිකලා කියන මතය ඉදිරිපත් වෙනවා.

මේ ස්ථූපය එළාර රජතුමා වෙනුවෙන් කරවපු ස්ථූපය වෙන්නේ නැත්තේ සාහිත්‍ය මූලාශ්‍රවල දක්වන විදිහට දුටුගැමුණු රජතුමා එළාර ස්ථූපය ඉදිකරන්නේ රජුන් දෙන්නා ද්වන්ධ යුද්දේ කරලා එළාර රජතුමාව මරා දාපු අනුරාධපුරයේ දකුණු වාසල් දොරට පිටතින් වෙන නිසා.

මේ අනුව බලද්දී දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ මැදි කරලා ඉදි කරපු කුඩා ස්ථූපය වළගම්බා රජ දවස විශාල කරවලා ඉදි කිරීමක් කරවපු බවත් ස්ථූපයේ වත්මන් හැඩරුව පසු කාලීනව කණිට්ඨ තිස්ස රජතුමාගේ කටයුත්තක් බවත් නිගමනය කරන්න පුලුවන්.

මෙයින් ලබාගත්තු දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ ඒ කාලේ ප්‍රදර්ශනය කරවපු බව පුවත් පතක ලිපියකින් කියෙව්වා වගේ මතකයි. ඉන් පස්සේ ඒ භෂ්මාවශේෂවලට වුණු දේ ගැන නම් මතක නැහැ.

දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇති කරඬුව

ඒ කොහොම වුණත් සිංහල රාජාවලියේ සුවිශේෂී රජ කෙනෙක් වුණු ඒ වගේම මේ රට පළමු වරට එක්සේසත් කරපු, බුදු සසුනට මහත් අනුග්‍රහ දක්වපු දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් වුණු මේ දක්ඛිණ ථූපය සිංහල බෞද්ධයන්ගේ වන්දනාවට පාත්‍ර විය යුත්තක්.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නෛතික අවසරයට යටත් ව මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් අනුරාධපුර ඡේතවන ව්‍යාපෘතියේ කැනීම් හා පර්යේෂණ අංශය මඟින් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ට කථිකාචාර්ය, ආචාර්ය පියතිස්ස සේනානායක මහතාගේ අධ්‍යක්ෂකත්වය යටතේ සිදුකරන දක්ඛිණ ථූපයේ නවතම කැණීම් ගැන දැනගන්න මෙතන කොටන්න.

මූලාශ්‍ර

පසුව ලියමි


මේ ලිපිය blog එකේ පළ කරලා ටික දවසකට පස්සේ කැම්පස් එකේදී අපේ History Department එකේ Senior batch එකක අක්කා කෙනෙක් කිව්වා මේ දවස්වල ජාතික කෞතුකාගාරයේ දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ ප්‍රදර්ශනය කරනවා.

දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ ප්‍රදර්ශනය විවෘත කරපු ජනාධිපතිතුමා

ඉතින් මට සතුටුයි ඒ ගැන එහෙම ප්‍රදර්ශනයක් ගැන දන්නේ නැතිව වුණත් ලියපු එක ගැන. සඳුදා දිහාට ඒ පැත්තේ යන්නත් කියලා හිතාගෙන ඉන්නේ භෂ්මාවශේෂ දැකබලා ගෙන එන්න. 31 වෙනකම් ඒ ප්‍රදර්ශනේ කරනවා කියලා තමා ආරංචි.