Thursday, March 14, 2013

රත්නපුර මහ සමන් දේවාලයේ පිහිටි පෘතුගීසි නිර්මාණය - Stone Sculpture of Portuguese Captain & Jaffna King


කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන තිබෙන ඓතිහාසික අතින් වැදගත් වෙන විජාතික නිර්මාණ පිළිබඳව e-අටුවාවේ පසුගිය ලිපි කීපයෙන්ම අවදානය යොමු කෙරුණු නිසා අදත් සූදානම කොළඹ නගරයෙන් බැහැරව පිහිටලා තියෙන වැදගත් පෘතුගීසී නිර්මාණයක් පිළිබඳව කරුණු කියන්න.  

ඊතලෙන් දක්වා තිබෙන්නේ මේ නිර්මාණය පිහිටා තිබෙන ස්ථානය

මේ නිර්මාණය පිහිටලා තියෙන්නේ ප්‍රකට රත්නපුර මහ සමන් දේවාල පරිශ්‍රයේ. ප්‍රධාන දොරටුවෙන් දේවාල භූමියට ඇතුල් වුණාම දිග් ගෙයට ඇතුල් වීම සඳහා තිබෙන පඩි පෙළට දකුණු පසින් තිබෙන දිගු ගොඩනැගිල්ලේ තමා මේ නිර්මාණය තියෙන්නේ. අඩි 4 ක් පමණ උස අඩි 2 ක් පමණ පළල කළුගල් පුවරුවක සංග්‍රාමීය අවස්ථාවක් දැකගන්න ලැබෙනවා වගේම ඊට පහළින් පෘතුගීසි බසින් ලියපු වාක්‍ය පේළි 4 ක් පමණ දැකගන්න ලැබෙනවා.

මේ නිර්මාණය කුමක්ද කියලා කිව්වොත් රණවිරුවන් වෙනුවෙන් ස්මාරක ඉදි කරන එක වර්තමානයේ සුලභව දැකගන්න පුලුවන්. තිස් වසරක් පුරා ලංකාවේ තිබුණු ත්‍රස්තවාදය නිමා කරපු රණවිරුවන් සිහිපත් කරන්න ත්‍රස්තවාදය පැතිර තිබූ ප්‍රදේශවල වගේම අනෙක් ප්‍රදේශවලත් තිබෙන රණවිරු ස්මාරක ඔයාලත් දැකලා ඇතිනේ. මේ නිර්මාණයත් ඒ ආකාරයෙන්ම වසර 620 කට පමණ කලින් පෘතුගීසීන් විසින් පිහිටවපු රණවිරු ස්මාරකයක්. 

පෘතුගීසී නිර්මාණයක් මෙතනට ආවේ කොහොමද කියන ගැටලුවත් එක්ක මේ නිර්මාණය සම්බන්ධ ඉතිහාසය පිළිබඳව මුලින්ම කතා කරමු. ලංකාවට පෘතුගීසීන්ගේ ආගමනයත් එක්ක ක්‍රමයෙන් කෝට්ටේ රාජධානිය ඇතුළේ තමන්ගේ ආදිපත්‍ය පතුරුවන්න ඔවුන් සමත් වෙනවා. 

අවසානයේදී කෝට්ටේ අවසන් පාලකයා වුණු ධර්මපාල රජතුමා කතෝලික දහම වැළඳගෙන දොන් ජුවන් පෙරිය බණ්ඩාර නමින් බෞතිස්ම වෙනවා පමණක් නෙමේ තමන්ගෙන් පස්සේ රාජ්‍යයට උරුමකරුවෙක් නැති නිසා 1580 අගෝස්තු 12 වෙනිදා තෑගි ඔප්පුවක් මඟින් කෝට්ටේ රාජධානිය පෘතුගාල රජතුමාට පවරනවා.

කැලණි රාජ මහා විහාරය විනාශ කරන පෘතුගීසීන්

මේ සිදුවීම වගේම 1597 මැයි 27 ධර්මපාල රජතුමා මියයාමත් එක්ක කෝට්ටේ රාජධානියේ එකම උරුමකරුවා වීමත් එක්ක තමන්ගේ බලය හැකිතාක් අනෙක් ප්‍රදේශවලට ව්‍යාප්ත කරන්න ඔවුන් කටයුතු කරනවා වගේම කතෝලික දහම ව්‍යාප්ත කරන්නත් කටයුතු කරනවා. 

1580 ඉදන් වගේම ඊටත් කලින් ඉදන්ම පෘතුගීසීන් දියත් කරපු කතෝලික දහම ව්‍යාප්ත කිරීම වගේම බෞද්ධ හින්දු ආගමික ස්ථාන කඩා බිඳ දැමීම යටතේ රත්නපුර මහ සමන් දේවාලයත් කඩා බිඳ දැමෙනවා. ඒ ස්ථානයේ පෘතුගීසීන් තමන්ගේ බලකොටුවක් වගේම ශාන්ත සැල්වදෝර් නමින් පල්ලියකුත් ඉදි කරනවා.  

ඒ කාලෙදී සමන් දෙවියන්ගේ දේවාභරණ ආරක්ෂාවට තැන්පත් කර තැබුණා කියන්නේ බොල්තුඹේ සුමන සමන් දේවාලයේ. මුල්ම e-අටුවා සටහන වෙන් වුණේ බොල්තුඹේ සුමන සමන් දේවාලය ගැන කතා කරන්න.  

බොල්තුඹේ සුමන සමන් දේවාලය

පසුව දෙවන රාජසිංහ සමය වෙද්දී නැවත වරක් පෘතුගීසී බලකොටුව වගේම පල්ලිය බිඳ දමලා රත්නපුර මහ සමන් දේවාලය ඉදි කළත් මේ පෘතුගීසි නිර්මාණය ඒ ස්ථානයේම තිබෙන්නට හැරියා කියලා හිතන්න පුලුවන්. 


අඩි 4 ක් පමණ උඩ අඩි 2 ක් පමණ පළල මේ නිර්මාණය කළුගලින් නිමවූවක්. ඉහළින්ම ගල් කට්ටයක් කපා තිබෙනවා. ඊට පසුව පෘතුගීසී සොල්දාදුවෙක්ගේ නිල ඇඳුමකින් සැරසුණු අයෙක් අසිපතක් සහ පලිහක් දරාගෙන සිටින ආකාරයත් ඔහුගේ පයට පෑගි සිටින ධෝතියක් වැනි ඇඳුමකින් සැරසුණු උඩුකය නිරුවත් හිසේ ජටාවක් වැනි යමක් පැළැඳ සිටින අයෙක් දැකගන්න පුලුවන්. 

බිම වැටී සිටින පුද්ගලයාගේ අසිපත සහ පලිහ පසෙකින් වැටී තිබෙන ආකාරය පෙනෙනවා. ඔහු දකුණු අතින් පෘතුගීසී සොල්දාදුවාගෙන් එල්ල වන පහරක් වළකන ආකාරයක් පෙනෙනවා.


ඊට පහළින් පහත දැක්වෙන පෘතුගීසී ලේඛනය දැකගන්න පුලුවන්.  

COM-ESTA-RENDI ESTE-HA 2-3
ANNOS-QUANDO-NA-INDIA-E
HA-16-QUE-SIRVO-DE-CAPITAO
-E-AOQUE-OS-PEIS-VEDES-HE-
O-REI-DE  IAFANAPATAO-EU-
SIMEN-PINHAO-C-VENCI

එහි අර්ථය විදිහට අරගෙන තිබෙන්නේ 

"මින් (මේ කඩුවෙන්) මම මොහු මර්දනය කළෙමි. මා ඉන්දියාවට පැමිණ දැන් වසර 23 කි. ඉන් වසර 16 ක් කපිතාන්වරයෙක් ලෙස සේවය කළෙමි. මා පාමුල වැටී සිටිනු ඔබට පෙනෙනුයේ යාපා පටුනේ රජතුමාය. මම සයිමන් පිඤ්ඤෝ ඔහුව පරාජය කළෙමි"

යාපනයේ ආර්ය චක්‍රවර්ති මාළිගාව

මේ කතාව මොකක්ද කියලා පැහැදිලි කළොත් 15 වන සියවසේ මැද භාගයේ විතර ඉදන් ආර්ය චක්‍රවර්තීන් නමින් හඳුන්වපු පාලකයන් යටතේ යාපනයේ ස්වාධීන පාලනයක් ඇතිවෙනවා. පෘතුගීසීන් මුල් කාලයේ යාපනය ගැන එතරම් අවදානයක් යොමු නොකළත් පස්සේ ඒ ගැන අවදානය යොමු කරන්න පටන් ගත්තේ 16 වන සියවසේ මුල භාගයේ යාපනයේ පාලකයා වුණු සංකිළි යාපන රාජ්‍යයට අයිති වෙරළාසන්න ප්‍රදේශ ආසන්නයේ විනාශ වෙන පෘතුගීසී භාණ්ඩ නෞකාවල භාණ්ඩ අත්පත් කරගැනීම සිදු කිරීමත් එක්ක.  

මේ නිසා 1543 දී සංකිළිට විරුද්ධව මාර්ටින් අපොන්සු ද සූසා යටතේ ආක්‍රමණයක් දියත් කරනවා. මේ සටන නිසා පෘතුගීසී පාලනය සංකිළි පිළි අරගෙන කප්පම් ගෙවන පාලකයෙක් බවට පත් වෙනවා. ඒත් ඊට පස්සේ අවුරුද්දේදී ෆ්‍රැන්සිස් ක්ෂේවියර් පියතුමා මන්නාරමේ ධීවරයන් පිරිසක් බෞතිස්ම කිරීමත් එක්ක සංකිළි ඒ ප්‍රදේශවාසීන්ට නැවත වරක් පැරණි ආගමට එන්න කියලා නියෝග කරනවා. මේකත් එක්ක ආයි පාරක් පෘතුගීසීන් එක්ක ගැටුමක් ඇතිවෙනවා. 

මේ විදිහට කටයුතු සිද්ධ වෙද්දී සංකිළිගෙන් පස්සේ රජ වෙන එයාගේ පුතා පුවිරාජ පණ්ඩාරම්ට විරුද්ධව කාසි නයිනර් කැරළි ගහලා පාලන බලය ලබාගන්නවා. ඊට පස්සේ එයාව බලයෙන් පහ කරලා පෘතුගීසි සහය මත පෙරිය පුල්ලේ කියන පුද්ගලයා චෙගරාජසේකරන් කියලා රජවෙනවා. 

සංකිලි රජු තම පිය රජු සහ සොයුරන් සමඟ

ඔහුගෙන් පස්සේ නැවත රජවෙන පුවිරාජ පණ්ඩාරම් කැලිකට් පාලක සැමොරින්ගේ උදව් අරගෙන පෘතුගීසීන් අල්ලාගෙන මන්නාරම ප්‍රදේශයට පහර දෙනවා වගේම කතෝලිකයන්ටත් හිරිහැර කරනවා. මේ නිසා 1591 දී සයිමන් පිඤ්ඤෝ කියන පෘතුගීසී කපිතාන්වරයා යටතේ සේනාවක් යාපනය ආක්‍රමණය කරලා පුවිරාජ පණ්ඩාරම මරා දාලා නැවත වරක් යාපනයේ පෘතුගීසී බලය පිහිටවනවා. 

ඒත් සෘජුවම යාපනයේ බලය තමන්ගේ අතට නොගත්තු පෘතුගීසීන් ඒ වෙද්දී ජීවත් වෙලා හිටිය පෙරියපුල්ලේ හෙවත් චෙගරාජසේකරන් රජතුමාගේ පුත්‍රයාව හෙන්දර්මනසිංහ නමින් රාජ්‍යත්වයට පත් කරනවා. 

ආර්ය චක්‍රවර්තීන්ගේ රාජකීය ලාංඡනය

ඉතින් 1591 දී සිද්ධ වුණු යාපන ආක්‍රමණයේදී පෘතුගීසි කපිතාන් සයිමන් පිඤ්ඤෝ යාපනයේ රජතුමා වුණු පුවිරාජ පණ්ඩාරම්ව යටත් කරගන්න ආකාරය තමා මේ ආකාරයෙන් සමන් දේවාල පරිශ්‍රයේ තිබෙන පෘතුගීසි නිර්මාණයෙන් දැක්වෙන්නේ. 

සයිමන් පිඤ්ඤෝ සිදුකරන ලද වීර ක්‍රියාව සිහිපත් වෙන්න මේ නිර්මාණය කරවලා රත්නපුරයේ පිහිටි ඔවුන්ගේ පල්ලියේ තැන්පත් කරවන්න සයිමන් පිඤ්ඤෝම හරි එහෙමත් නැත්නම් පෘතුගීසී බලධාරීන් හරි කටයුතු කරන්න ඇති. 

මේ සයිමන් පිඤ්ඤෝ ගැන විස්තර කියන ෆර්නාඕ ද ක්වේරෝස් රචනා කරපු Conquista Temporale Espiritual da Ceylao, Ordenado pelo Pedre Fernao de Queyroz Da Companhia de Jesus, Da Provincia De Goa, Com muytas outras proveytozas noticias pertencentes a dispocicao e gouverno de Estado de India කෘතියේ ඔහු දක්වන්නේ 

"....පෘතුගාලයේ පුන්හේටාවල ඉපැදී, ක්සෙරෙස් හා ටාගුස් හි මුහුදුවල පන්නරය ලබා සිටි මේ රණශූරයා ඒ වන විට සතළිස් වියේ පසු වූ, ඉතා ශක්ති සම්පන්න සිරුරකට හිමිකම් කියූ අයෙක් විය. රාජතාන්ත්‍රිකයෙකුට වඩා ඔහු රණශූරයෙක් විය. එක ඇසක් අහිමිව තිබුණේ සටනකදී ලන්ස පහරක් එල්ල වීම නිසාය. හිස වටකුරුය. සිරුර දුඹුරු පැහැතිය. පාංශු දේහදාරීය. දිගු යටි රැවුල තඹ පැහැතිය. විසල් උඩු රැවුලක්ය. මනා ශාරීරික ශක්තියකින් යුතු වූ ඔහු නිරතුරුවම අවදිව සටනට සූදානම්ව සිටියේය. කිසිම විටෙක පසුපසට නොඟිය ඔහු දිවයිනේ වඩාත්ම ප්‍රචලිත සටන් ක්‍රමය වූ සැඟවී සිර පහර එල්ල කිරීමේ සහජ හැකියාවක් ඇත්තෙක් විය. ඔහු නිර්ලෝභීය. කතාබහ ඉතා අඩුය. කෝපාවිෂ්ඨ වූ විට රාක්ෂයෙකු බඳුය. තම ආගමට මහත් ලැදිය. එමෙන්ම ඔහුගේ විශේෂිත ලක්ෂණයක් වූයේ ඔහු කාමුකයෙක් නොවීමයි....."

කෝට්ටේ රාජධානියේ ධර්මපාල රජතුමා ජීවත්ව සිටි සමයේ ඉදන්ම සිංහල හමුදාවේ වික්‍රමසිංහ හෙවත් සේනාධිපති ධූරය දරන්නේ සයිමන් පිඤ්ඤෝ. ඒ වෙද්දී කෝට්ටේ රාජධානියේ උසස් නිලයක් දරපු එකම පෘතුගීසි ජාතිකයා විදිහටයි ඔහු සැලකෙන්නේ.

ඒ වගේමයි මීට පෙර Arts Degree එකක් කළ මුල්ම සහ අවසාන සිංහල රජතුමා කියන සටහනේදී කිව්ව විදිහට සීතාවක රාජසිංහ රජතුමාගේ අනුප්‍රාප්තිකයෙක් වුණු නිකපිටියේ බණ්ඩාර කුමාරයාගේ සහෝදරිය වුණු දෝන මරියා පෙරේරාව විවාහ කරගන්නේ සයිමන් පිඤ්ඤෝ. ඒක නිසා ලංකාවේ සිහසුනටත් ඔහුට හිමිකමක් තිබුණු බව කියන්න පුලුවන්. 

 මායාදුන්නේ රජ පවුලේ පවුල් සටහන

1603 දී සිදුවුණු බලන සටන වගේ උඩරට I විමලධර්මසූරිය රජතුමා සමඟ පෘතුගීසීන් සිදු කරපු ප්‍රබල සටන්වලදීත් සයිමන් පිඤ්ඤෝ තමන්ගේ දායකත්වය ලබාදීලා තියෙනවා. ඒ අවස්ථාවේදී රජතුමා සයිමන් පිඤ්ඤෝ තමන්ගේ පාර්ශවයට ගන්න උත්සහ කළත් උපායශීලී වුණු පිඤ්ඤෝ රජතුමාව රවට්ටලා රජතුමාව මරා දමන්න කටයුතු කළත් ඒ උපාය අසාර්ථක වුණු බව තමා කියවෙන්නේ. 

නැවතත් ප්‍රධාන කතාවට ආවොත් මේ පෘතුගීසි නිර්මාණය පෘතුගාල සොල්දාදුවෙක් සිංහල භටයෙක්ව පරාජය කරන ආකාරය කියලා වගේම සිංහල සොල්දාදුවෙක් පෘතුගාල භටයෙක්ව පරාජය කරන ආකාරය කියලාත් මත ඉදිරිපත් වෙලා තිබෙනවා. 


ඒත් මේ නිර්මාණය දිහා සැලකිල්ලෙන් බලද්දී සිටගෙන සිටින පුද්ගලයාගේ හිස් වැස්ම, මුහුණ පුරා වැවුණු රැවුල, සන්නාහය, දකුණු අතේ තිබෙන අසිපත වගේම පැළඳගෙන ඉන්න බූට් යුගල නිසා මේ සිංහල සොල්දාදුවෙක් නොව පෘතුගාල සොල්දාදුවෙක් බව පැහැදිලියි. ඒ වගේමයි පහතින් තිබෙන විස්තරයෙන් වගේම ක්වේරෝස් සයිමන් පිඤ්ඤෝ ගැන කරන විස්තරයෙන් මේ සයිමන් පිඤ්ඤෝ බව සිතාගන්න පුලුවන්. 

කතාව ලියන්න පාදක කරගත්තේ

පෝල් ඊ. පීරිස්ගේ ලංකාව - පෘතුගීසි යුගය, ටිකිරි අබේසිංහයන්ගේ පරංගි කෝට්ටේ, එස්.ජී. පෙරේරා පියතුමාගේ ලංකා ඉතිහාසය - පෘතුගීසී යුගය සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ලංකා ඉතිහාසය - තුන්වන කොටස කියන කෘති

Thursday, January 24, 2013

ලංකාවේ ප්‍රථම පෘතුගීසි ස්මාරකය - Engraved Portuguese Coat of Arms Boulder in Colombo


මීට පෙර ලියපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ සිර කුටිය ගැන සටහනින් වගේම වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාව ගැන සටහනිනුත් අවධානය යොමු කළේ කොළඹ පිහිටලා තියෙන ඓතිහාසික වශයෙන් වැදගත් වෙන ස්ථාන සහ නිර්මාණ ගැන. ඉතින් අදත් අටුවාවේ අවධානය කොළඹ නගරයේ පිහිටලා තිබෙන තවත් ඓතිහාසික අතින් වැදගත් වෙන ස්මාරකයක් සම්බන්ධව කතා කරන්න.

අද කතා කරන ස්මාරකය ගැන කතා කරන්න ප්‍රවේශයක් ගත්තොත්පෙරදිග ප්‍රදේශවල තමන්ගේ ආදිපත්‍යය පතුරවමින් හිටිය පෘතුගාලය තමන්ට එරෙහිව කටයුතු කරපු මුස්ලිම්වරුන්ගේ නැව්වලට වගේම මුස්ලිම්වරුන්ගේ ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කරමින් හිටියා. ඉන්දියාව මුල් කරගෙන පෙරදිග ඉන්දියාවේ පාලන කටයුතු කරගෙන ගිය පෘතුගාලය ලංකාව කියන කුඩා දූපත ගැනත් විමසිලිමත් වෙමින් හිටියේ.


මේ අතරවාරයේ මුස්ලිම් වෙළෙඳ නැව් මංකොල්ල ඉන්දියාවේ පෘතුගීසි ප්‍රතිරාජයා වුණු දොන් ෆ්‍රැන්සිස්කෝ ද අල්මේදාගේ පුතා වුණු දොන් ලෝරෙන්සෝ ද අල්මේදා ඇතුළු පෘතුගීසී භට කණ්ඩායමක් 1505 මාර්තු 25 පිටත් වෙනවා. මේ කණ්ඩායම දකුණු ඉන්දියාවේ ක්වින්ලොන් නගරයට ආපුවාම දැනගන්න ලැබෙනවා මාලදිවයින හරහා රතු මුහුද බලා යන මුස්ලිම් නැව් කණ්ඩායමක් ගැන. 

ඒ පිරිස පසුපස හඹාගෙන යන පෘතුගීසි නැව් කණ්ඩායම කුණාටුවකට හසුවෙලා අවසානයේදී ගාලු බොක්කට ගොඩ බහිනවා. ඊට පස්සේ පෘතුගීසීන් කණ්ඩායම 1505 ඔක්තෝබර් 15 කොළඹ වරායේ නැංගුරම් දානවා. [පෘතුගීසීන් පැමිණියේ 1505 නෙමෙයි 1506 කියලත් මතයක් තිබෙනවා.] 

පස්සේ පරංගියා කෝට්ටේ ගියා වගේ කතා ඔක්කෝම වෙලා අවසානයේදී පෘතුගීසි දූතයන් සහ කෝට්ටේ රජතුමා අතර වුණු සාකච්ඡාවලින් වෙළෙඳ කටයුතු පිළිබඳව වගේම සතුරු ආක්‍රමණවලින් වෙරළබඩ ප්‍රදේශ ආරක්ෂා කරන්නත් පෘතුගීසීන් එකඟ වෙනවා. මේ සඳහා වාර්ෂිකව කුරුඳුවලින් දීමනාවක් දෙන්න රජතුමා එකඟ වෙනවා. 

පෘතුගීසී සමයේ කොළඹ වරාය

මේ සාකච්ඡා අවසන් වෙලා පෘතුගීසි පිරිස නැවත වරක් ඉන්දියාව බලා පිටත් වෙන්න කලින් තමන් කොළම් තොටට පැමිණෙද්දී මුලින්ම දැකපු වරාය ආසන්නයේ වුණු කුඩා කඳු ගැටය තමන්ගේ ආරක්ෂක ශාන්තුවරයා වුණු ශාන්ත ලෝරන්ස් නමින් නම් කරපු පෘතුගීසීන් එහි මුහුදට ආසන්න බිම් තීරුවේ වෙළෙඳ ගබඩාවක් ඉදි කරලා ඒ අසළින්ම පල්ලියකුත් ගොඩනංවනවා. ඒ පල්ලියත් කැප කරන්නේ ශාන්ත ලෝරන්ස් මුනිඳු වෙනුවෙන් [පෘතුගීසි කණ්ඩායමේ නායකයාගේ නමත් ලෝරන්ස් වීම මේකට තවත් හේතුවක්]

ඒ වගේමයි ඔවුන්ගේ ලංකාගමනය සිහිපත් කරලා ගල් පර්වතයක ඒ බව සඳහන් කරන්න කෝට්ටේ රජතුමාගෙන් අවසර ගන්නවා. මේ ක්‍රියාවේ අරමුණ වෙන්නේ මේ ප්‍රදේශයට පළමුවරට පැමිණි යුරෝපා ජාතිය තමන් බව හඟවලා ඒ සඳහා පෘතුගීසි අයිතිවාසිකම පෙන්වන්න. 

ඉතින් මේ නිර්මාණය සම්බන්ධව තමා අද e-අටුවාවෙන් විස්තර කතා කෙරෙන්නේ. 

පෘතුගීසි ආදිපත්‍ය බිඳ වැටිලා ලන්දේසී ආදිපත්‍ය වෙරළබඩ කලාපයේ පැතිරීමත් එක්ක මේ ආසන්නයේ තිබුණු ශාන්ත ලෝරන්ස් පල්ලිය කඩා බිඳ දැමෙනවා වගේම මේ නිර්මාණය ගැනත් ජනතාවට අමතක වෙලා යනවා. පෘතුගීසීන් මේ නිර්මාණය කරලා සියවස් ගණනකට පස්සේ 1875 දී කොළඹ වරායේ මේ ප්‍රදේශය නිරිතදිග දිය කඩනයට සම්බන්ධ කරද්දී පොදු වැඩ දෙපාර්තමේන්තුවේ කම්කරුවන් මේ නිර්මාණය දකිනවා.

මේකේ තිබුණු සුවිශේෂීත්වය වටහා ගන්න බ්‍රිතාන්‍ය රජය 1898 දී මේ නිර්මාණය තිබෙන ටොන් 20 ක් පමණ බර වුණු ගල් කුට්ටිය එතනින් කඩලා ඉවත් කරලා වරායේ රේගු ගොඩනැගිල්ල අසළින් තබලා තියෙනවා. 1912 දී මේ ගල් කුට්ටිය කොළඹ කොටුවේ රැජිණ මන්දිරය අසළ තිබෙන ගෝර්ඩන් උද්‍යානයේ තැන්පත් කරනවා. 

පෘතුගීසී ස්මාරකය ගෝර්ඩන් උද්‍යානයේ තැන්පත් කර තිබූ අයුරු

මීට වසර කීපයකට කලින් වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාව ඉවත් කළා වගේම මේ ස්මාරකයත් ගෝර්ඩන් උද්‍යානයෙන් ඉවත් කරනවා. මේ පෘතුගීසි ස්මාරකය කොළඹ වරාය පරිශ්‍රයට නැවත වරක් ගෙන එනවා. වර්තමානය වෙද්දී කොළඹ වරාය පරිශ්‍රයේ මෙය තබා තිබෙනවා.

 වර්තමානයේ මෙම පෘතුගීසි ස්මාරකය කොළඹ වරායේ තබා ඇති ආකාරය
[ඡායාරූපය ඉරන්ත කරුණාරත්න මහතාගෙනි]
මේ නිර්මාණය තිබුණු දේ විස්තර කළොත් පෘතුගාල රජතුමාගේ රාජකීය ලාංඡනය සහ ඊට ඉහළින් කුරුසයත් කොටා තිබෙනවා දැක ගන්න පුලුවන්.

පෘතුගීසින් පිහිටවූ ස්මාරකය  

පෘතුගාල රාජකීය ලාංඡනයේ ප්‍රධාන පළිහට ඉහළින් පෘතුගාල රජුගේ ඔටුන්නත් ප්‍රධාන පළිහ ඇතුළේ තිබෙන කුඩා පලිහේ කුරුසයක හැඩයට තබලා තියෙන Quninas නමින් හැඳින්වෙන පලිහවල් 5 ක් දැකගන්න පුලුවන්. ඒ Quninas පලිහවල් ඇතුළේත් bezants නමින් හැඳින්වෙන රන් කාසි 5 බැගින් කතිර හැඩයකට තබා තිබෙනවා.

මේවායින් සංකේතවත් කරන්නේ ජේසුතුමා කුරුසයේ තබ ඇණ ගැසීමෙන් පස්සේ එතුමාගේ ශරීරයේ ඇතිවුණු තුවාල 5. මෙවැන අර්ථ නිරූපණයක් සහිත සංකේත පෘතුගාල රාජ්‍ය ලාංඡනය පැමිණීමට හේතුව වෙලා තියෙන්නේ වර්ෂ 1139 දී සිදුවුණු Ourique හි ප්‍රාතිහාර්යය නමින් හැඳින්වෙන සිදුවීම. 

Ourique හි ප්‍රාතිහාර්යය

ඒ වසරේ සිදුවුණු Ourique හි සටනට කලින් ඒ සටන සඳහා මුල්වුණු වංශාධිපති අෆොන්සු හමුවට එන මහලු තවුසෙක් පවසනවා මේ සටනින් ඔහු ජයගන්නා බවත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔහු සමඟ වන බවත්. පස්සේ ඒ දෙවියන්ගේ පණිවුඩය රැගත් පුද්ගලයාගේ උපදෙස් පරිදි හුදෙකලාව ඇවිද යද්දී වංශාධිපති අෆොන්සු දකිනවා ජේසුතුමා කුරුසප්‍රාප්ත වෙලා ඉන්න සිදුවීම ඔහු ඉදිරියේ මැවිලා තියෙනවා. 

ඒ අවස්ථාවේදී ඔහුට ඇහෙනවා ජේසුතුමා පොරොන්දු වෙනවා ඔහු සටනින් ජයගන්නවා වගේම ඔහු පරපුරේ අය දේශ දේශාන්තරවල තමන්ගේ ආදිපත්‍යය පතුරනවා කියලා. මේ සිද්ධියත් සමඟ අතිශය සතුටට පත්වෙන වංශාධිපති අෆොන්සු අනාවැකිය විදිහටම මූර්වරුන් සමඟ කරපු සටනින් ජය අරගෙන  I අෆොන්සු නමින් පෘතුගාලයේ රජකමට පත්වෙනවා. 

පෘතුගාල රාජකීය ලාංඡනය

ඊට පස්සේ ජේසුතුමා කරන ගෞරවයක් විදිහට කුරුසයේදී එතුමාට සිදුවුණු තුවාල 5 සංකේතවත් කරලා Quninas පලිහවල් 5 ක් කුරුසයක් ආකාරයට තබලා තම ලාංඡනය නිර්මාණය කරනවා. ඒ Quninas පලිහවල් 5 න් වංශාධිපති අෆොන්සු සටනින් පරාජය කරපු මූර් නායකයන් 5 දෙනාවත් සංකේතවත් කරනවා. 

Quninas පලිහවල් ඇතුළේ තිබෙන bezants හෙවත් රන් කාසිවලින් ජේසුතුමා පාවා දීම වෙනුවෙන් ජුදාස් ලබා ගත් කාසි 30 සංකේතවත් කරනවා [මැද Quninas පලිහේ කාසි ගණන දෙවරක් ගණන් අරගෙන] කුඩා පලිහ වටා බලකොටු 7 ක් දැකගන්න පුලුවන්. අෆොන්සු රජතුමා විසින් මූර්වරුන් පරදවා අල්ලා ගත්තු බලකොටු 7 එයින් නිරූපණය කෙරෙන බවයි කියවෙන්නේ.

පෘතුගාල රාජකීය ලාංඡනයත් ඉහළින් කුරුසය ඇති අතර මේ කුරුස ආකෘතිය Protuguese Cross Of Order of Christ නමින් හඳුන්වනවා. මේ ආකාරයෙන් රාජකීය ලාංඡනයට ඉහළින් දක්වා තිබීමෙන් දෙවියන් වහන්සේගේ සර්වබලධාරීත්වය නිරූපණය කෙරෙනවා. 

පෘතුගීසින් පිහිටවූ ස්මාරකයේ සිතුවමක්

පෘතුගාල රාජකීය ලංඡනයට දකුණු පසින් පහළට වන්නට JSOI කියන අකුරු 4 දැකගන්න පුලුවන්. මේක 1501 වශයෙන් අදහසක් ඉදිරිපත් වුණත් මේ අකුරු 4 JSOI කියලා පිළිගන්න එක වඩාත් විශ්වාසනීයයි. මේ අකුරු 4 න් කියවෙන්නේ Jesus Salvator Orientalium Indiorum හෙවත් නැගෙනහිර ඉන්දියාවේ ගැලවුම්කරුවා ජේසුතුමා කියන අදහස.

පෘතුගාල රාජකීය ලාංඡනයට පහළින් තිබෙන එකට බැඳිලා තිබෙන G.G අකුරු දෙකෙන් මේ ලාංඡනය කොටන ලද නිර්මාණකරුවා වන ගොන්සාලෝ ගොන්සාල්වේස්ව දක්වනවා.

පෘතුගීසීන් විසින් අලුතෙන් ගවේෂණය කළාට පස්සේ ඒ ප්‍රදේශයේ පර්වතයක මේ ආකාරයෙන් සටහනක් තබන එක සිරිතක් විදිහට පැවතුණු බව පෙනෙනවා. ඒ සිරිතේ අවධි 3 ක් දැකගන්න පුලුවන්. ආරම්භයේදී ශක්තිමත් ලීයකින් කරපු කුරුසයක් තමන් අලුතෙන් ගවේෂණය කරපු ප්‍රදේශය ස්ථාපනය කරලා තියෙනවා.


 අප්‍රිකාවේ කොංගෝ ගඟ අසළ යෙලාලා පර්වතයේ පිහිටි පෘතුගාල දේශ ගවේෂණ සටහන

දෙවෙනි අවස්ථාව විදිහට තමා අලුතෙන් ගවේෂණය කරපු ප්‍රදේශයේ ගල් පර්වතයක පෘතුගාල රාජකීය ලාංඡනය, කුරුසය, ගවේෂණය සිදු කළ කපිතාන්ගේ නම, ගවේෂණය කළ වර්ෂය සටහන් කරලා තියෙන්නේ.

 පෘතුගාලයේ Fortaleza de Sagres ප්‍රදේශයේ තිබෙන දේශ ගවේෂණ කුළුණක්

අවසාන අවධිය තමා Padrao නමින් හැඳින්වෙන ගල්වලින් කරපු කුළුණක ඉහත විස්තර සටහන් කරන එක.

ලංකාවෙන් හමුවෙන පෘතුගීසි සටහන මේ අවධි තුනෙන් දෙවෙනි අවධියට අයත් වුණත් එහි ගවේෂණය කළ වර්ෂය සහ ගවේෂණය සිදුකළ කපිතාන්වරයාගේ නම සටහන් කර නොතිබීම ගැටලුවක්. සමහර විට මේ අවධිය ආරම්භ වුණු මුල් කාලයේදී එවැන්නක් නොතිබුණා හෝ එහෙමත් නැත්නම් ඒ විස්තර සටහන් කර තිබූ කොටස විනාශ වෙලා වෙන්නත් පුලුවන්.

පෘතුගාලයේ Guarda දිස්ත්‍රික්කයේ පිහිටි Good Castle හි කොටා ඇති පෘතුගීසි රාජකීය ලාංඡනය

ඉතින් බ්‍රිතාන්‍යයන් වේවා වෙනත් යුරෝපා ජාතියක් නිර්මාණය කළා වේවා මේ නිර්මාණය දැන් ලංකාවේ ඉතිහාසයත් එක්ක බැඳුණු දේවල්. දෙයක්. කලින් සටහනෙන් කිව්ව විදිහට වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාව කොළඹ ගෝර්ඩන් උද්‍යානයෙන් ඉවත් කරලා ජාතික කෞතුකාගාර භූමියේ තැන්පත් කළා වගේ මේ ස්මාරකයත් ගෝර්ඩන් උද්‍යානයෙන් ඉවත් කරලා කොළඹ වරාය ආසන්නයට ගෙනවිත් දමලා තියෙන්නේ. 

ගෝර්ඩන් උද්‍යානයේ තිබූ වික්ටෝරියා ප්‍රතිමාව සහ පෘතුගීසි ස්මාරකය
විහාරමහාදේවි උද්‍යානයේ සහ වරාය අසළ දමා තිබූ අයුරු

අපේ රජ දරුවන් නිර්මාණය කරපු දේවල්වලටත් කුඩම්මාගේ සැළකිලි අත්වෙන කාලෙක මේ නිර්මාණවලට වෙන දේවල් ගැන හිතන්න දේකුත් නැහැ වගේ

කතාව ලියන්න පාදක කරගත්තේ පෝල් ඊ. පීරිස්ගේ ලංකාව-පෘතුගීසී යුගය, ආර්.එල්. බ්‍රෝහියර්ගේ කොළොම්පුර පුරාවෘත්තය, එස්.පී. පෙරේරා පියතුමාගේ ලංකා ඉතිහාසය-පෘතුගීසි යුගය ග්‍රන්ථ සහ පහත දක්වලා තියෙන අන්තර්ජාල මූලාශ්‍ර

http://www.twcenter.net/forums/showthread.php?t=343094&page=2
http://archives.dailymirror.lk/2003/07/09/feat.html
http://www.thesundayleader.lk/archive/20060521/spotlight.htm
http://www.crazylanka.com/portuguese.htm
http://kermeey.blogspot.com/2006/02/colombo-fort.html