Thursday, March 14, 2013

රත්නපුර මහ සමන් දේවාලයේ පිහිටි පෘතුගීසි නිර්මාණය - Stone Sculpture of Portuguese Captain & Jaffna King


කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන තිබෙන ඓතිහාසික අතින් වැදගත් වෙන විජාතික නිර්මාණ පිළිබඳව e-අටුවාවේ පසුගිය ලිපි කීපයෙන්ම අවදානය යොමු කෙරුණු නිසා අදත් සූදානම කොළඹ නගරයෙන් බැහැරව පිහිටලා තියෙන වැදගත් පෘතුගීසී නිර්මාණයක් පිළිබඳව කරුණු කියන්න.  

ඊතලෙන් දක්වා තිබෙන්නේ මේ නිර්මාණය පිහිටා තිබෙන ස්ථානය

මේ නිර්මාණය පිහිටලා තියෙන්නේ ප්‍රකට රත්නපුර මහ සමන් දේවාල පරිශ්‍රයේ. ප්‍රධාන දොරටුවෙන් දේවාල භූමියට ඇතුල් වුණාම දිග් ගෙයට ඇතුල් වීම සඳහා තිබෙන පඩි පෙළට දකුණු පසින් තිබෙන දිගු ගොඩනැගිල්ලේ තමා මේ නිර්මාණය තියෙන්නේ. අඩි 4 ක් පමණ උස අඩි 2 ක් පමණ පළල කළුගල් පුවරුවක සංග්‍රාමීය අවස්ථාවක් දැකගන්න ලැබෙනවා වගේම ඊට පහළින් පෘතුගීසි බසින් ලියපු වාක්‍ය පේළි 4 ක් පමණ දැකගන්න ලැබෙනවා.

මේ නිර්මාණය කුමක්ද කියලා කිව්වොත් රණවිරුවන් වෙනුවෙන් ස්මාරක ඉදි කරන එක වර්තමානයේ සුලභව දැකගන්න පුලුවන්. තිස් වසරක් පුරා ලංකාවේ තිබුණු ත්‍රස්තවාදය නිමා කරපු රණවිරුවන් සිහිපත් කරන්න ත්‍රස්තවාදය පැතිර තිබූ ප්‍රදේශවල වගේම අනෙක් ප්‍රදේශවලත් තිබෙන රණවිරු ස්මාරක ඔයාලත් දැකලා ඇතිනේ. මේ නිර්මාණයත් ඒ ආකාරයෙන්ම වසර 620 කට පමණ කලින් පෘතුගීසීන් විසින් පිහිටවපු රණවිරු ස්මාරකයක්. 

පෘතුගීසී නිර්මාණයක් මෙතනට ආවේ කොහොමද කියන ගැටලුවත් එක්ක මේ නිර්මාණය සම්බන්ධ ඉතිහාසය පිළිබඳව මුලින්ම කතා කරමු. ලංකාවට පෘතුගීසීන්ගේ ආගමනයත් එක්ක ක්‍රමයෙන් කෝට්ටේ රාජධානිය ඇතුළේ තමන්ගේ ආදිපත්‍ය පතුරුවන්න ඔවුන් සමත් වෙනවා. 

අවසානයේදී කෝට්ටේ අවසන් පාලකයා වුණු ධර්මපාල රජතුමා කතෝලික දහම වැළඳගෙන දොන් ජුවන් පෙරිය බණ්ඩාර නමින් බෞතිස්ම වෙනවා පමණක් නෙමේ තමන්ගෙන් පස්සේ රාජ්‍යයට උරුමකරුවෙක් නැති නිසා 1580 අගෝස්තු 12 වෙනිදා තෑගි ඔප්පුවක් මඟින් කෝට්ටේ රාජධානිය පෘතුගාල රජතුමාට පවරනවා.

කැලණි රාජ මහා විහාරය විනාශ කරන පෘතුගීසීන්

මේ සිදුවීම වගේම 1597 මැයි 27 ධර්මපාල රජතුමා මියයාමත් එක්ක කෝට්ටේ රාජධානියේ එකම උරුමකරුවා වීමත් එක්ක තමන්ගේ බලය හැකිතාක් අනෙක් ප්‍රදේශවලට ව්‍යාප්ත කරන්න ඔවුන් කටයුතු කරනවා වගේම කතෝලික දහම ව්‍යාප්ත කරන්නත් කටයුතු කරනවා. 

1580 ඉදන් වගේම ඊටත් කලින් ඉදන්ම පෘතුගීසීන් දියත් කරපු කතෝලික දහම ව්‍යාප්ත කිරීම වගේම බෞද්ධ හින්දු ආගමික ස්ථාන කඩා බිඳ දැමීම යටතේ රත්නපුර මහ සමන් දේවාලයත් කඩා බිඳ දැමෙනවා. ඒ ස්ථානයේ පෘතුගීසීන් තමන්ගේ බලකොටුවක් වගේම ශාන්ත සැල්වදෝර් නමින් පල්ලියකුත් ඉදි කරනවා.  

ඒ කාලෙදී සමන් දෙවියන්ගේ දේවාභරණ ආරක්ෂාවට තැන්පත් කර තැබුණා කියන්නේ බොල්තුඹේ සුමන සමන් දේවාලයේ. මුල්ම e-අටුවා සටහන වෙන් වුණේ බොල්තුඹේ සුමන සමන් දේවාලය ගැන කතා කරන්න.  

බොල්තුඹේ සුමන සමන් දේවාලය

පසුව දෙවන රාජසිංහ සමය වෙද්දී නැවත වරක් පෘතුගීසී බලකොටුව වගේම පල්ලිය බිඳ දමලා රත්නපුර මහ සමන් දේවාලය ඉදි කළත් මේ පෘතුගීසි නිර්මාණය ඒ ස්ථානයේම තිබෙන්නට හැරියා කියලා හිතන්න පුලුවන්. 


අඩි 4 ක් පමණ උඩ අඩි 2 ක් පමණ පළල මේ නිර්මාණය කළුගලින් නිමවූවක්. ඉහළින්ම ගල් කට්ටයක් කපා තිබෙනවා. ඊට පසුව පෘතුගීසී සොල්දාදුවෙක්ගේ නිල ඇඳුමකින් සැරසුණු අයෙක් අසිපතක් සහ පලිහක් දරාගෙන සිටින ආකාරයත් ඔහුගේ පයට පෑගි සිටින ධෝතියක් වැනි ඇඳුමකින් සැරසුණු උඩුකය නිරුවත් හිසේ ජටාවක් වැනි යමක් පැළැඳ සිටින අයෙක් දැකගන්න පුලුවන්. 

බිම වැටී සිටින පුද්ගලයාගේ අසිපත සහ පලිහ පසෙකින් වැටී තිබෙන ආකාරය පෙනෙනවා. ඔහු දකුණු අතින් පෘතුගීසී සොල්දාදුවාගෙන් එල්ල වන පහරක් වළකන ආකාරයක් පෙනෙනවා.


ඊට පහළින් පහත දැක්වෙන පෘතුගීසී ලේඛනය දැකගන්න පුලුවන්.  

COM-ESTA-RENDI ESTE-HA 2-3
ANNOS-QUANDO-NA-INDIA-E
HA-16-QUE-SIRVO-DE-CAPITAO
-E-AOQUE-OS-PEIS-VEDES-HE-
O-REI-DE  IAFANAPATAO-EU-
SIMEN-PINHAO-C-VENCI

එහි අර්ථය විදිහට අරගෙන තිබෙන්නේ 

"මින් (මේ කඩුවෙන්) මම මොහු මර්දනය කළෙමි. මා ඉන්දියාවට පැමිණ දැන් වසර 23 කි. ඉන් වසර 16 ක් කපිතාන්වරයෙක් ලෙස සේවය කළෙමි. මා පාමුල වැටී සිටිනු ඔබට පෙනෙනුයේ යාපා පටුනේ රජතුමාය. මම සයිමන් පිඤ්ඤෝ ඔහුව පරාජය කළෙමි"

යාපනයේ ආර්ය චක්‍රවර්ති මාළිගාව

මේ කතාව මොකක්ද කියලා පැහැදිලි කළොත් 15 වන සියවසේ මැද භාගයේ විතර ඉදන් ආර්ය චක්‍රවර්තීන් නමින් හඳුන්වපු පාලකයන් යටතේ යාපනයේ ස්වාධීන පාලනයක් ඇතිවෙනවා. පෘතුගීසීන් මුල් කාලයේ යාපනය ගැන එතරම් අවදානයක් යොමු නොකළත් පස්සේ ඒ ගැන අවදානය යොමු කරන්න පටන් ගත්තේ 16 වන සියවසේ මුල භාගයේ යාපනයේ පාලකයා වුණු සංකිළි යාපන රාජ්‍යයට අයිති වෙරළාසන්න ප්‍රදේශ ආසන්නයේ විනාශ වෙන පෘතුගීසී භාණ්ඩ නෞකාවල භාණ්ඩ අත්පත් කරගැනීම සිදු කිරීමත් එක්ක.  

මේ නිසා 1543 දී සංකිළිට විරුද්ධව මාර්ටින් අපොන්සු ද සූසා යටතේ ආක්‍රමණයක් දියත් කරනවා. මේ සටන නිසා පෘතුගීසී පාලනය සංකිළි පිළි අරගෙන කප්පම් ගෙවන පාලකයෙක් බවට පත් වෙනවා. ඒත් ඊට පස්සේ අවුරුද්දේදී ෆ්‍රැන්සිස් ක්ෂේවියර් පියතුමා මන්නාරමේ ධීවරයන් පිරිසක් බෞතිස්ම කිරීමත් එක්ක සංකිළි ඒ ප්‍රදේශවාසීන්ට නැවත වරක් පැරණි ආගමට එන්න කියලා නියෝග කරනවා. මේකත් එක්ක ආයි පාරක් පෘතුගීසීන් එක්ක ගැටුමක් ඇතිවෙනවා. 

මේ විදිහට කටයුතු සිද්ධ වෙද්දී සංකිළිගෙන් පස්සේ රජ වෙන එයාගේ පුතා පුවිරාජ පණ්ඩාරම්ට විරුද්ධව කාසි නයිනර් කැරළි ගහලා පාලන බලය ලබාගන්නවා. ඊට පස්සේ එයාව බලයෙන් පහ කරලා පෘතුගීසි සහය මත පෙරිය පුල්ලේ කියන පුද්ගලයා චෙගරාජසේකරන් කියලා රජවෙනවා. 

සංකිලි රජු තම පිය රජු සහ සොයුරන් සමඟ

ඔහුගෙන් පස්සේ නැවත රජවෙන පුවිරාජ පණ්ඩාරම් කැලිකට් පාලක සැමොරින්ගේ උදව් අරගෙන පෘතුගීසීන් අල්ලාගෙන මන්නාරම ප්‍රදේශයට පහර දෙනවා වගේම කතෝලිකයන්ටත් හිරිහැර කරනවා. මේ නිසා 1591 දී සයිමන් පිඤ්ඤෝ කියන පෘතුගීසී කපිතාන්වරයා යටතේ සේනාවක් යාපනය ආක්‍රමණය කරලා පුවිරාජ පණ්ඩාරම මරා දාලා නැවත වරක් යාපනයේ පෘතුගීසී බලය පිහිටවනවා. 

ඒත් සෘජුවම යාපනයේ බලය තමන්ගේ අතට නොගත්තු පෘතුගීසීන් ඒ වෙද්දී ජීවත් වෙලා හිටිය පෙරියපුල්ලේ හෙවත් චෙගරාජසේකරන් රජතුමාගේ පුත්‍රයාව හෙන්දර්මනසිංහ නමින් රාජ්‍යත්වයට පත් කරනවා. 

ආර්ය චක්‍රවර්තීන්ගේ රාජකීය ලාංඡනය

ඉතින් 1591 දී සිද්ධ වුණු යාපන ආක්‍රමණයේදී පෘතුගීසි කපිතාන් සයිමන් පිඤ්ඤෝ යාපනයේ රජතුමා වුණු පුවිරාජ පණ්ඩාරම්ව යටත් කරගන්න ආකාරය තමා මේ ආකාරයෙන් සමන් දේවාල පරිශ්‍රයේ තිබෙන පෘතුගීසි නිර්මාණයෙන් දැක්වෙන්නේ. 

සයිමන් පිඤ්ඤෝ සිදුකරන ලද වීර ක්‍රියාව සිහිපත් වෙන්න මේ නිර්මාණය කරවලා රත්නපුරයේ පිහිටි ඔවුන්ගේ පල්ලියේ තැන්පත් කරවන්න සයිමන් පිඤ්ඤෝම හරි එහෙමත් නැත්නම් පෘතුගීසී බලධාරීන් හරි කටයුතු කරන්න ඇති. 

මේ සයිමන් පිඤ්ඤෝ ගැන විස්තර කියන ෆර්නාඕ ද ක්වේරෝස් රචනා කරපු Conquista Temporale Espiritual da Ceylao, Ordenado pelo Pedre Fernao de Queyroz Da Companhia de Jesus, Da Provincia De Goa, Com muytas outras proveytozas noticias pertencentes a dispocicao e gouverno de Estado de India කෘතියේ ඔහු දක්වන්නේ 

"....පෘතුගාලයේ පුන්හේටාවල ඉපැදී, ක්සෙරෙස් හා ටාගුස් හි මුහුදුවල පන්නරය ලබා සිටි මේ රණශූරයා ඒ වන විට සතළිස් වියේ පසු වූ, ඉතා ශක්ති සම්පන්න සිරුරකට හිමිකම් කියූ අයෙක් විය. රාජතාන්ත්‍රිකයෙකුට වඩා ඔහු රණශූරයෙක් විය. එක ඇසක් අහිමිව තිබුණේ සටනකදී ලන්ස පහරක් එල්ල වීම නිසාය. හිස වටකුරුය. සිරුර දුඹුරු පැහැතිය. පාංශු දේහදාරීය. දිගු යටි රැවුල තඹ පැහැතිය. විසල් උඩු රැවුලක්ය. මනා ශාරීරික ශක්තියකින් යුතු වූ ඔහු නිරතුරුවම අවදිව සටනට සූදානම්ව සිටියේය. කිසිම විටෙක පසුපසට නොඟිය ඔහු දිවයිනේ වඩාත්ම ප්‍රචලිත සටන් ක්‍රමය වූ සැඟවී සිර පහර එල්ල කිරීමේ සහජ හැකියාවක් ඇත්තෙක් විය. ඔහු නිර්ලෝභීය. කතාබහ ඉතා අඩුය. කෝපාවිෂ්ඨ වූ විට රාක්ෂයෙකු බඳුය. තම ආගමට මහත් ලැදිය. එමෙන්ම ඔහුගේ විශේෂිත ලක්ෂණයක් වූයේ ඔහු කාමුකයෙක් නොවීමයි....."

කෝට්ටේ රාජධානියේ ධර්මපාල රජතුමා ජීවත්ව සිටි සමයේ ඉදන්ම සිංහල හමුදාවේ වික්‍රමසිංහ හෙවත් සේනාධිපති ධූරය දරන්නේ සයිමන් පිඤ්ඤෝ. ඒ වෙද්දී කෝට්ටේ රාජධානියේ උසස් නිලයක් දරපු එකම පෘතුගීසි ජාතිකයා විදිහටයි ඔහු සැලකෙන්නේ.

ඒ වගේමයි මීට පෙර Arts Degree එකක් කළ මුල්ම සහ අවසාන සිංහල රජතුමා කියන සටහනේදී කිව්ව විදිහට සීතාවක රාජසිංහ රජතුමාගේ අනුප්‍රාප්තිකයෙක් වුණු නිකපිටියේ බණ්ඩාර කුමාරයාගේ සහෝදරිය වුණු දෝන මරියා පෙරේරාව විවාහ කරගන්නේ සයිමන් පිඤ්ඤෝ. ඒක නිසා ලංකාවේ සිහසුනටත් ඔහුට හිමිකමක් තිබුණු බව කියන්න පුලුවන්. 

 මායාදුන්නේ රජ පවුලේ පවුල් සටහන

1603 දී සිදුවුණු බලන සටන වගේ උඩරට I විමලධර්මසූරිය රජතුමා සමඟ පෘතුගීසීන් සිදු කරපු ප්‍රබල සටන්වලදීත් සයිමන් පිඤ්ඤෝ තමන්ගේ දායකත්වය ලබාදීලා තියෙනවා. ඒ අවස්ථාවේදී රජතුමා සයිමන් පිඤ්ඤෝ තමන්ගේ පාර්ශවයට ගන්න උත්සහ කළත් උපායශීලී වුණු පිඤ්ඤෝ රජතුමාව රවට්ටලා රජතුමාව මරා දමන්න කටයුතු කළත් ඒ උපාය අසාර්ථක වුණු බව තමා කියවෙන්නේ. 

නැවතත් ප්‍රධාන කතාවට ආවොත් මේ පෘතුගීසි නිර්මාණය පෘතුගාල සොල්දාදුවෙක් සිංහල භටයෙක්ව පරාජය කරන ආකාරය කියලා වගේම සිංහල සොල්දාදුවෙක් පෘතුගාල භටයෙක්ව පරාජය කරන ආකාරය කියලාත් මත ඉදිරිපත් වෙලා තිබෙනවා. 


ඒත් මේ නිර්මාණය දිහා සැලකිල්ලෙන් බලද්දී සිටගෙන සිටින පුද්ගලයාගේ හිස් වැස්ම, මුහුණ පුරා වැවුණු රැවුල, සන්නාහය, දකුණු අතේ තිබෙන අසිපත වගේම පැළඳගෙන ඉන්න බූට් යුගල නිසා මේ සිංහල සොල්දාදුවෙක් නොව පෘතුගාල සොල්දාදුවෙක් බව පැහැදිලියි. ඒ වගේමයි පහතින් තිබෙන විස්තරයෙන් වගේම ක්වේරෝස් සයිමන් පිඤ්ඤෝ ගැන කරන විස්තරයෙන් මේ සයිමන් පිඤ්ඤෝ බව සිතාගන්න පුලුවන්. 

කතාව ලියන්න පාදක කරගත්තේ

පෝල් ඊ. පීරිස්ගේ ලංකාව - පෘතුගීසි යුගය, ටිකිරි අබේසිංහයන්ගේ පරංගි කෝට්ටේ, එස්.ජී. පෙරේරා පියතුමාගේ ලංකා ඉතිහාසය - පෘතුගීසී යුගය සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ලංකා ඉතිහාසය - තුන්වන කොටස කියන කෘති