Wednesday, May 16, 2012

කුෂ්ඨරාජගල අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව - Avalokitheshvara Bodhisattva Statue of Kushtarajagala


 අනුරාධපුර යුගයේ සිටම ථේරවාදී බුදු සමය ලක්දිව පිළිගත් දහම බවට පත්වෙලා තිබුණත් වරින් වර මහායාන බුදු සමය ලක්දිව පැන නැඟුණු බවත් ඒ ඒ කාලවල සිටි රජ දරුවන් විසින් ඒ මත යටපත් කළ බවත් වංස කතාවල සඳහන් වෙනවා. ඒ කෙසේ නමුත් ඒවා සම්පූර්ණයෙන්ම යටපත් කරන්න පුලුවන් වුණාද කියන එක ගැටළුවක්. විශේෂයෙන් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මහායන බුදු සමයේ ප්‍රධාන අංගයක් වෙන බෝධිසත්ව වන්දනාව කළ බවට සාධක තවමත් ඉතුරුව පැවතීමම එයට උදාහරණයක් විදිහට ගන්න පුලුවන්

 බුදුරුවගල අවලෝකිතේශ්වර ප්‍රතිමාව

මේ විදිහට බෝධිසත්ව ප්‍රතිමා හමුවීමේදී කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණය දක්වා ප්‍රතිමා හමුවෙලා තිබෙනවා. මේවායිනුත් විශාල ප්‍රමාණයේ බෝධිසත්ව ප්‍රතිමා ලෙසට ප්‍රකටව පවතින්නේ බුදුරුවගල පිහිටි බෝධිසත්ව ප්‍රතිමා, දඹේගොඩ අවලෝකිතේශ්වර ප්‍රතිමාව සහ වැලිගම කුෂ්ඨරාජගල අවලෝකිතේශ්වර ප්‍රතිමාවයි. 

මෑතකදී මම බලන්න ගිය වැලිගම කුෂ්ඨරාජගල අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව ගැනයි ටික කාලයකට පසුව අද ලියවෙන e - අටුවා සටහනෙන් කතා කෙරෙන්නේ

කොළඹ සිට මාතර දෙසට යන විට වැලිගම නගරය පසුකර කිලෝ මීටර් 5 ක් පමණ ඉදිරියට යන විට ප්‍රධාන මාර්ගයෙන් වම් පසට ඇති මාර්ගයකින් ටික දුරක් ගමන් කිරීමෙන් පසුව පාරේ දකුණු පස පිහිටි කුෂ්ඨරාජගල අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව අසළට ලඟා වෙන්න පුලුවන්

කුෂ්ටරාජගල අවලෝකිතේශ්වර බෝසත් ප්‍රතිමාව පිළිබඳව කතා  කරන්න කලින් කවුද මේ අවලෝකිතේශ්වර බෝධිසත්වයන් කියන්නේ වගේම මහායානික බෝධිසත්ව සංකල්පය ගැන සුළුවෙන් විස්තරයක් කරන්නම්

ථේරවාදී බුදු සමය තුළ දක්වන විදිහට ලොවුතුරා බුද්ධත්වය සඳහා පාරමිතා ධර්ම සම්පූර්ණ කරන පුද්ගලයින් බෝධිසත්වයන් ලෙස හඳුන්වනු ලබනවා. මහායාන බුදු සමය තුළ පිළිගැනෙන්නේ අපි සියලු දෙනාම බෝධිසත්වයන් වන බවත් ලොවුතුරා බුද්ධත්වයෙන් සසර ගමන නිමා කරන බවත්. ථේරවාදීන් දක්වන රහත් බෝධියෙන් හෝ පසේ බෝධියෙන් සසර ගමන නිමා කිරීම මහායානිකයන් ප්‍රතික්ෂේප කරනවා.

ඒ විදිහට මහායාන සංකල්පය අනුව බෝධිසත්වයින් සංඛ්‍යාව අසීමිත වුණත් ප්‍රධානම බෝධිසත්වයන් කීප දෙනෙක් ඔවුන් දක්වනවා. ඒ බෝධිසත්වයින් ධ්‍යානි බෝධිසත්ව, මහාස්ථාම ප්‍රාප්ත, ත්‍රෛලෝක්‍යවිජයී වැනි නම්වලින් හඳුන්වනා. 


ඒ බෝසත්වරුන් අට දෙනෙක් සිටින අතර ඔවුන් නම්
  • අවලෝකිතේශ්වර
  • මෛත්‍රෙය
  • ආකාශ ගර්භ
  • වජ්‍රගර්භ
  • ක්ෂිතිගර්භ
  • සමන්තභද්‍ර
  • මඤ්ජු ශ්‍රී
  • සර්ව නිවාරණ විෂ්කම්භ
මේ සෑම ධ්‍යානී බෝධිසත්වයෙක්ටම මුද්‍රාවක්, වාහනයක් මෙන්ම සංකේතයක් තිබෙනවා. ඒ වගේමයි මේ බෝධිසත්වයින් අතරින් අවලෝක්තිශේවර හා මඤ්ජු ශ්‍රී යන බෝසත්වරුන් ප්‍රමුඛත්වයේ ලා සලකන අතරම මීළඟට බුද්ධත්වයට පත්වන මෛත්‍රෛය බෝසතුන්ට විශේෂත්වයක් හිමිවෙනවා. කෙසේ නමුත් මේ බෝධිසත්වයින් අතරින් බොහෝ දෙනාගේ බුහුමනට ලක්වෙන්නේ අවලෝකිතේශ්වර බෝසතුන්ව.

සාමාන්‍යයෙන් ලංකාවේ මෙන්ම වැඩි වශයෙන් ඉන්දියාවේ සිදුවන දේව ඇදහිල්ල මෙන්ම බෝධිසත්වයින් වන්දනා කරමින් තමන්ගේ ලෞකික ජීවිතේ කරුණු කාරණා ඉටුකරගැනීමට පිහිට පැතීම මහායානිකයන් සිදු කරනවා. මේ බෝධිසත්ව වන්දනාව ලංකාවට පැමිණි මුල් කාලීනව ඒ ඒ ස්වරූපවලින්ම බෝධිසත්ව වන්දනාව සිදු කෙරුණත් පසු කාලීනව මේ බෝසත්වරුන් ලක්දිවට ගැලපෙන පරිදි දේශීය මුහුණුවරකට පෙරලුණු අතර අවලෝකිතේශ්වර බෝධිසත්වයින් උත්පලවර්ණ හා නාථ දෙවිවරු ලෙසද සමන්තභද්‍ර බෝසතුන් සුමන සමන් දෙවියන් ලෙසද වන්දනාවට පාත්‍ර වුණා.  


අවලෝකිතේශ්වර බෝසතුන් ගැන විශේෂයෙන් කතා කලොත් සියලුම ලෝ සතුන්ගේ ආරක්ෂකයා ලෙස එතුමා කටයුතු කරන අතරම සියලු සත්වයින් සංසාරයෙන් එතෙර වනතාක් එතුමා බුද්ධත්වයට පත් නොවන බවයි කියවෙන්නේ. ඒ වගේමයි ලෙඩ රෝගවලට පිහිටවීම ආදී කරුණු නිසා "භේසජ්ජ ගුරු" වශයෙනුත් එතුමාව පිළිගන්නවා.

නැවතත් ප්‍රධාන කතා බහට ආවොත් කුඩා බිමක තිබෙන ගල් කුළක ඇතුළට හෑරීම මඟින් මෙම අවලෝකිතේශ්වර බෝසත් ප්‍රතිමාව නිර්මාණය කර තිබෙනවා. ප්‍රතිමාවේ උස අඩි 8 ක් පමන වන අතර ප්‍රතිමාව පිළිබඳ විස්තරයක් කළොත් ධෝතියක් වැනි වස්ත්‍රයක් හැඳ ආභරණ හා ඔටුන්නක් පැළැඳ ගෙන රාජ ලීලාවෙන් සිටින අවලෝකිතේශ්වර බෝසතුන් මෙහිදී දැකගත හැකියි. 

මේ ආභරණ පලඳා ඇති ආකාරය මෙන්ම ධෝතිය හැඳ සිටින ආකාරය රාජ ප්‍රතිමාවලට සමාන වීම නිසා මෙය රාජ ලීලාව ලෙස හඳුන්වනවා. මෙලෙස ඇති රාජ ප්‍රතිමාවකට නිදසුන් ලෙස රුවන්මැලිසෑ පරිශ්‍රයේ ඇති දුටුගැමුණු රාජ ප්‍රතිමාව දැක්විය හැකියි

 දුටුගැමුණු රාජ ප්‍රතිමාව

හිසේ තිබෙන ඔටුන්න තුළ හෙවත් ජටා මකුටයේ ධ්‍යාන ඉරියව්වෙන් වැඩ සිටින බුදු රූ 4 ක් දැකගත් හැකි අතර ඉන් දෙකක් ඔටුන්නේ ඉදිරි පස එකක් මත එකක් සිටින සේත් අනිත් දෙක වම් කන හා දකුණු කනට ඉහළින් ඔටුන්නේ දක්වා තිබෙනවා. 



නමුත් ජටා මකුටය තුළ තවත් බුදුරුවක් ඇති බවත් එමඟින් මහායාන බුදු සමයේ දැක්වෙන අමිතාභ, වෛරෝචන, අක්ෂෝභ්‍ය, රත්නසම්භව, අමෝඝසිද්ධි යන ධ්‍යානි බුදුවරුන් පස් දෙනා නිරූපිත වන බවට මතයක් තිබෙනවා. 

ප්‍රතිමාවේ කන් ලම්භකර්ණව ලෙස දක්වා ඇති අතර කන්වලත් කුණ්ඩලාභරණ ආදිය පැලැඳි බවක් පෙනෙනවා. ගෙලටද මාල කීපයක් දමා ඇති අතර අත්වලටද වළලු ආකාරයේ පළඳනා දමා ඇති බවයි පෙනෙන්නේ.



දකුණු අතේ මාපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල එක් කර විතර්ක මුද්‍රාව දක්වන අතර වම් අතේ මහපට ඇඟිල්ල නොනමා දබර ඇඟිල්ල සහ සුළැඟිල්ල අර්ධයක් නමා ඇති අතර මැදැඟිල්ල හා වෙදැඟිල්ල සම්පූර්ණයෙන්ම නමා තිබේ. ඒ මුද්‍රාව කටක මුද්‍රාව නමින් හඳුන්වනවා.



ඉන වටා බඳ පටියක් දැකගත හැකි අතරම් ධෝතිය රැළි වැටෙන සේ සකසා තිබෙනවා. 

මේ ප්‍රතිමාව අවලෝකිතේශ්වර බෝසතුන් නොව වජ්‍රසත්ව බෝසතුන් බවත්, මේ සමන්තභද්‍ර බෝසතුන් බවටත් මත ඉදිරිපත් වී ඇති අතරම තවත් මතයක් වන්නේ මේ ප්‍රතිමාව අවලෝකිතේශ්වර හා සමන්තභද්‍ර යන බෝසතුන් දෙදෙනාගේම සම්මිශ්‍රණයක් ලෙස නිමවා ඇති බවයි. 

දඹේගොඩ අවලෝකිතේශ්වර ප්‍රතිමාව

දඹුලු විහාර අවලෝකිතේශ්වර ප්‍රතිමාව

මේ ප්‍රතිමාවේ ආකාරයෙන්ම රාජ ලීලාවෙන් නිර්මාණය කෙරුණු අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමා විදිහට දඹේගොඩ අවලෝකිතේශ්වර ප්‍රතිමාව, දඹුලු විහාර අවලෝකිතේශ්වර ප්‍රතිමාව දක්වන්න පුලුවන්. මේ ප්‍රතිමාවල තිබෙන ලක්ෂණ පල්ලව සම්ප්‍රදායට  නැඹුරුවක් පෙන්වන නිසා කුෂ්ඨරාජගල සහ දඹේගොඩ ප්‍රතිමා නිර්මාණය කරපු කාලය විදිහට නිගමනය කරන්නේ ක්‍රි.ව 7 හෝ 8 සියවස. 

මීට පෙරත් පල්ලව නිර්මාණ යටතේ වුණු නාලන්දා ගෙඩිගේ ගැන අපි කතා කළා මතක ඇතිනේ

මේ ආකාරයෙන් බෝධිසත්ව පිළිමයක් කුෂ්ඨරාජගල නිර්මාණයට වීමට හේතු සාධක පිරික්සීමේදී පිහිටි ස්ථානයේ නමේ අර්ථයෙන්ම ගතහොත් කුෂ්ඨ රෝගයක් වැළඳුණු රජතුමෙක් තම කුෂ්ඨ රෝගය සුවවීමෙන් තමන් වූ භාරයක් ඉටු කරමින් මේ ස්ථානයේ අවලෝකිතේශ්වර ප්‍රතිමාව නිර්මාණය කරවූ බව කියවෙනවා.

මෙහිදී මේ රජතුමා දෙවිනුවර දේවාලයට පැමිණ භාරවූ බව කියවෙන අතරම රූපයට රූපය භාර වූ බව කියවෙනවා. මේ රජතුමා IV අග්බෝ රජතුමා ලෙස විශ්වාස කරන අතර දෙවිනුවරට පැමිණ වූ භාරය මත මේ ප්‍රතිමාව කරවූ නිසා දෙවිනුවර තිබෙන්නට ඇත්තේද අවලෝකිතේශ්වර වන්දනාවක් බව අනුමාන කරන්න පුලුවන්. පසුකාලීන උත්පලවර්ණ ලෙස දේශීය මුහුණුවරක් ගන්නට ඇත්තේ අවලෝකිතේශ්වර බව එමඟින් අනුමාන කළ පුලුවන්.

 දෙවිනුවර උපුල්වන් දේවාලය

ඒ වගේම කලින් කිව්වා වගේම අවලෝකිතේශ්වර බෝසතුන් ලෙඩ සුව කරන්නෙක් ලෙස සැලකූ බව මේ ආකාරයෙන් රජතුමා තමන්ගේ අසනීපයට භාර වීමෙන් පෙනෙනවා. ඊට පසුවත් මේ ආකාරයෙන්ම රජවරු ලෙඩ සුව කරගැනීමට පිහිට පැතූ බව පෙනෙන්නේ දඹදෙණියේ සිට රාජ්‍ය කළ II පරාක්‍රමබාහු රජතුමාගේ කතාවේ ඇතිවූ විකලු සොබාවය නිසා ඒ පිළිබඳවත් දෙවිනුවර උපුල්වන් දෙවියන්ට කියා පිහිටාධාර පැතූ බව වංස කතාවල සඳහන් වීමෙන්.

ලෙඩ රෝග සුව කරන දෙවියෙක් ලෙසට අවලෝකිතේශ්වර වන්දනා කළා සේම නාවිකයන් විසින් සමුද්‍රයේදී ඔවුන්ව රැකගන්න දෙවියෙක් ලෙසට අවලෝකිතේශ්වර වන්දනා කරපු බව පෙනෙනවා. 
මෙහිදී කුෂ්ටරාජගල සහ දෙවිනුවර සමුද්‍රාසන්න ප්‍රදේශ වීම හැරෙන්නට තවත් ස්ථාන කීපයක් නිසාම ඒ නිගමනයට එළඹෙන්න පුලුවන්. 
 තිරියාය ගිරිහඬු සෑය
තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසින් බුදුරදුන්ගේ කේෂ ධාතු තැන්පත් කර ඉදිකළා යැයි සැලකෙන තිරියාය ගිරිහඬු සෑය අවලෝකිතේශ්වර බෝසතුන්ගේ නිවහන බව ඒ ස්ථානයෙන් හමුවූ සෙල්ලිපියක දක්වා තිබෙනවා

සෙල්ලිපියේ 4 වෙනි පෙළ එය දක්වන්නේ මේ ආකාරයෙන්

නිවසති යත්‍ර සිද්ධ සුර කින්නර පූජ්‍යතමඃ
ගුරුර් අවලෝකිතේශ්වර ඉතිප්‍රථිතො භගවාන්
තද් අහර් අහර් නමාමි ගිරිකණ්ඩික චෛත්‍යමි අහම්

මන්නාරම කුදිරමලේ ප්‍රදේශයෙනුත් බෝධිසත්ව පිළිමයක් තැන්පත් කලායැයි විශ්වාස කරන්න පුලුවන් පිළිම ගෙයක නටබුන් හමුවෙලා තිබෙනවා.

 මුහුදු මහා විහාර ප්‍රතිමාව

ඒ හැරෙන්න පොතුවිල් මුහුදු තීරය ආසන්නයේ තිබෙන මුහුදු මහා විහාරයේ පිළිම ගෙයි මේ ආකාරයෙන් රාජ ලීලාවෙන් නිර්මිත ප්‍රතිමා දෙකක් දැකගන්න පුලුවන්. ඒ පිළිම දෙක මෛත්‍රෙය හා අවලෝකිතේශ්වර බෝසත්වරුන් ලෙස විශ්වාස කරන අතරම අවලෝකිතේශ්වර බෝසතුන් යැයි අනුමාන කරන රුව බොහෝ දුරට කුෂ්ඨරාජගල ප්‍රතිමාවට සමානයි.  


මේ ආකාරයෙන් සමුද්‍රාසන්න ප්‍රදේශවල බහුලව අවලෝකිතේශ්වර වන්දනාව පැවතීම තුළින් කලින් කිව්වා වගේ සමුද්‍රාරක්ෂකයෙක් විදිහට අවලෝකිතේශ්වර බෝසතුන් පිළිගත් බවයි පෙනෙන්නේ.

නැවතත් කුෂ්ඨරාජගල ගැන කතාවට ආවොත් කුෂ්ඨරාජගල ආරක්ෂා කිරීමේ වැඩ පිළිවෙලක් 1980 දී ඒ ප්‍රදේශය පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය මොන්ටේගු ජයවික්‍රමගේ සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ඊ.එල්.බී. හුරුල්ලේ යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන්. ඒ යටතේ මේ ස්ථානයට විදුලි ආලෝකය ලබාදුන්නා වගේම බැම්ම බැදෙව්වා කියලයි ඒ ස්ථානයේ තිබෙන සමරු ඵලකයේ සඳහන් වෙන්නේ

 කැලණි විහාර අවලෝකිතේශ්වර ප්‍රතිමාව

අවසාන වශයෙන් ගත්තොත් කුෂ්ඨරාජගල ඇතුලු අනෙක් ස්ථානවල තිබෙන අවලෝකිතේශ්වර ප්‍රතිමා හේතුවෙන් නිගමනය කරන්න පුලුවන් වෙන්නේ ලෞකික අවශ්‍යතා උදෙසා කැපවුණු දෙවියෙක්ගේ තත්වයට අවලෝකිතේශ්වර බෝසතුන් පත්වූ බවයි. ඒ පිළිගැනීමේ නෂ්ඨ කොටස් අද දක්වා පවතින බව පේන්නේ මෑතකදී කැලණිය රාජ මහා විහාරයේත් අවලෝකිතේශ්වර ප්‍රතිමාවක් ඉදි කරවීමෙන්. ඒ හැරෙන්නට ඉහත දක්වපු බෝසත් ප්‍රතිමාවලටත් අද දක්වාම ජනයා මල් පහන් පූජා කිරීමත් දැකිය හැකියි

කුෂ්ඨරාජගල අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාවේ තවත් ඡායාරූප බලන්න මෙතනින් යන්න

ප.ලි.: සිංහල බ්ලොග් අවකාශයේ සහෘද බ්ලොග්කරුවෙක් වූ සනත් විජේවර්ධන හෙවත් ඔබා මාමාගේ වියෝව වෙනුවෙන් සාතිශය සංවේගය :(
සැන්දෑව එළඹීමත් එක්කම විවේකයක් ගන්නට ඉඩ සැලසිලා......
රාත්‍රිය උදාවුණත් නැවතත් පසු දින හිරු පායාවි.
අලුත් දවසක් උදාවේවි.....
එතෙක් ඔබට සුභ රාත්‍රියක් ඔබා මාමේ....................