Monday, November 28, 2011

ඕලන්ද දොයිතු කාසි පිළිබඳ නිරීක්ෂණයක් - Observation about Dutch Duits Coins

දේශ ගවේෂණ ව්‍යාපාරයෙන් විශාල ලාභ හිමිවීමේ ප්‍රතිඵලයක් ලෙසට යුරෝපාකරයේ රටවල් රැසක් ඒ සඳහා එක්වූ අතර එලෙස එක්වූ එක් රටක් ලෙස නෙදර්ලන්තය හෙවත් ඕලන්දය දැක්විය හැක. මෙහිදී 1602 දී Vereenighte Oost-Indische Compagnie හෙවත් ඕලන්ද පෙරදිග ඉන්දියානු සමාගම නමින් සමාගමක් පිහිටුවා ගත් ලන්දේසීන් පෙරදිග දෙසටද තම බලය ව්‍යාප්ත කරමින් පෙරදිග ප්‍රදේශවල මෙන්ම විශේෂයෙන් දකුණු ආසියා කලාපයේ තම බලය හොඳින් ව්‍යාප්ත කරගන්නට සමත් වූහ.

1602 දී වූ I විමලධර්මසූරිය රජු හා ලන්දේසි නියෝජිත ස්පිල්බර්ජන්ගේ හමුව

ඒ අනුව 1602 ජූනි මස ශ්‍රී ලංකාවේ මඩකළපුව ප්‍රදේශයට ගොඩ බට ලන්දේසීන් 1638 වන විට එකල ලංකාවේ පාලකයා වූ II රාජසිංහ රජු සමඟ ගිවිසුමක් ඇති කොටගෙන 1658 වන විට යාපනයෙන්ද පෘතුගීසීන් පළවා හරිමින් තම බලය ලංකාව තුළ තහවුරු කරගන්නා ලදී.

යථෝක්ත මාතෘකාවට අනුව ඕලන්ද දොයිතු [Duits] කාසි පිළිබඳ කරුණු සොයා බැලීමේදී 18 වන සියවය මුල් භාගයෙන් ඒ පිළිබඳව කරුණු හමුවේ.

1796 දක්වා පැවති ලන්දේසි පාලන සමයේ මුල් කාලය තුළ පෘතුගීසීන් නිකුත් කළ කාසි වාණිජ කටයුතු සඳහා භාවිතා කළ අතර ක්‍රමයෙන් හොර කාසි අච්චු ගසන්නන් අච්චු ගැසූ හොර කාසි බහුලව ව්‍යාප්ත වීම නිසා එයට පිළියමක් යොදන්නට සිදුවිණි. ඒ යටතේ සියලු පෘතුගීසි කාසි එකතු කොට පෙරදිග ඉන්දියානු ඕලන්ද සමාගම යන අර්ථය එන ඕලන්ද පාඨය වන Vereenighte Oost-Indische Compagnie හි මුල් අකුරු තුන වන VOC එම සියලු කාසිවල මුදුණය කරන ලදී.

එසේම ලන්දේසීන් විසින් 1726-1806 කාලය අතර තුර තම රාජ්‍යය වන ඕලන්දයේ වූ ඕලන්ද, ගැල්ඩර්ලන්තය, ප්‍රිරිස්ලන්තය, සීලන්තය සහ යුට්රැච්ට් යන පළාත්වල අච්චු ගැසූ නම් Duits තඹ කාසි විශේෂයද ලංකාවේ භාවිතයට නිකුත් කර ඇත. එය දොයිතුව නමින් ලාංකිකයන් හඳුන්වා ඇත.

එකල මුදල් භාවිත වූයේ මෙලෙසය.

දොයිතු 4 =තුට්ටු 1
තුට්ටු 4 = පනම් 1
පනම් 12 = රිදී 5 හෙවත් පතාග 1

අද e-අටුවාව ඔස්සේ කතා කරන්නේ මා සතුව පවතින මෙම දොයිතු [Duits] කාසි 2 ක් සම්බන්ධවයි.


ඒ යටතේ වඩා පැරණි කාසිය වන්නේ 1766 නිකුත් කර ඇති කාසියයි. විෂ්කම්භය 22 mm වන මෙම කාසිය තඹ ලෝහයෙන් නිර්මිතය. මෙහි බර ග්‍රෑම් 2.5 කි. කාසියේ සිරස යැයි සැළකිය හැකි කොටසේ මධ්‍යයේ පෙරදිග ඉන්දියානු ඕලන්ද සමාගම යන්න නිරූපණය කරන VOC අකුරු තුන ඇති අතරම ඊට පහළින් මෙය නිකුත් කළ වර්ෂය වන 1766 දක්වා ඇත.

මේ හැරෙන්නට සිරසේ ඇති අනෙක් දෑ පැහැදිලිව දැකිය නොහැකි නමුත් ඊට සමගාමී වර්ෂවල නිකුත් කර ඇති කාසිවලට අනුව අකුරු තුනට ඉහළින් මලක හෝ පළිහක සටහනක් තිබෙන්නට ඇත.



යුට්රැච්හි නිල ලාංඡනය

කාසියේ පසුපස කොටසේ ඇත්තේ ඕලන්ද පළාතක් වන යුට්රැච්ට් [Utrecht] හි ලාංඡනයයි. එහි මධ්‍යයේ පළිහක්ද ඊට ඉහළින් තුඩු 5 ක් ඇති ඔටුන්නක්ද දැකිය හැකි අතර පළිහ දෙපසින් සිටින සිංහයන් දෙදෙනා පළිහ අල්ලාගෙන සිටිති. සිංහයන් දෙදෙනාට පහළින් කිසියම් ලියවැලක් ආකාරයේ මෝස්තරයක්ද දැකිය හැක.


අනෙක් කාසිය 1790 දී නිකුත් කර ඇති අතර විෂ්කම්භය 21 mm වන මෙම කාසියද තඹ ලෝහයෙන් නිර්මිතය. මෙහි බර ග්‍රෑම් 3 කි. මෙම කාසියේ සිරස යැයි සැළකිය හැකි කොටසේ පෙර කාසියේ පරිදිම VOC අකුරු තුන දැකිය හැකි අතරම ඊට පහළින් කාසිය නිකුත් කළ වර්ෂය වන 1790 දක්වා ඇත.

මෙම කාසියේද ඒ හැරෙන්නට අනෙක් දෑ පැහැදිලිව දැක ගත නොහැකි වුවත් සමගාමී වර්ෂවල නිකුත් කර ඇති කාසිවලට අනුව අකුරු තුනට ඉහළින් තරු 3 ක සමාන සංකේත 3 ක් වූ බව පෙනේ.


සීලන්තයේ ලාංඡනය

කාසියේ පිටුපස ඕලන්ද පළාතක් වන සීලන්තයේ [zeeland] ලාංඡනය දක්වා ඇත. එහි පළිහක් ආකාරයේ රාමුවක් තුළ දෑත් විහිදා මුඛය අයාගෙන සිටින සිංහයෙක්ගේ උඩුකය පමණක් දැකිය හැකි අතර සිංහයාගේ යටිකය ප්‍රදේශ වෙනුවට දිය රැළි 3 ක් දමා ඇත. මෙම පළිහ සටහනට ඉහළින් පෙර කාසියේ පරිදිම තුඩු 5 ක් ඇති ඔටුන්නක් දක්වා ඇත.

පෙර දැක්වූ කතාවේ ඉතිරිය සම්පූර්ණ කළහොත් ලන්දේසීන් මෙලෙස තම මව් රටේ කාසි ලංකාව තුළ භාවිත කළද 18 වන සියවසේ මුල් භාගයේ සිට තුට්ටු කාසි ලංකාව තුල අච්චු ගැසීමද ආරම්භ කරන ලදී. ඒ යටතේ කාසි වර්ග දෙකක් වුණි. මින් එක් වර්ගයක කාසිය දෙපසම වමට හෝ දකුණට කරකැවී යන සේ කටු හෝ කොළ සහිත වැලක් මැද තුට්ටුවේ ගණන දක්වා තිබුණි.

අනෙක් කාසිය පෙර දැක්වූ දොයිතුව ආකාරයටම නිමවූ අතර උඩු පැත්තේ අකුරු තුන මෙන්ම ඊට ඉහළින් කාසිය අච්චු ගැසූ මධ්‍යස්ථානය හඳුනා ගැනීමට අකුරු විණි. C අකුරෙන් කොළඹද, J අකුරෙන් යාපනයද, G අකුරෙන් ගාල්ලද, T අකුරෙන් ත්‍රිකුණාමලයද සංකේතවත් කෙරුණි. යටි පැත්තේ නිකුත් කළ වර්ෂය සහ වටිනාකම දක්වා තිබුණි.

කොළඹ, යාපනය, ගාල්ල, ත්‍රිකුණාමලයෙන් නිකුත් කළ කාසි පිළිවෙලින්

ලන්දේසීන් විසින් මෙරට රුපියලේ රිදී කාසිද මුලින්ම ඇති කළ අතරම 1785 දී පළමු වරට මුදල් නෝට්ටුද නිකුත් කිරීමට කටයුතු කරන ලදී. එහිදී මුල්ම මුදල් නෝට්ටුවල වටිනාකම් වූයේ පතාග 50, 100, 500 සහ 1000 ය.

පතාග 5 නෝට්ටුවක්

මෙවැනි පැරණි කාසි තුළින්ද ලාංකේය ඉතිහාසයේ එක් යුගයක් සංකේතවත් වන අතර මට මෙම කාසි ලබාදුන් මගේ පියාගේ සොයුරිය වූ නාලනී ශ්‍රීමතී මහත්මියටද මෙහිදී විශේෂ ස්තුතියක් පිරිනැමිය යුතුය.

මෙවන් වූ වටිනා කාසි ඔබ සතුව මෙන්ම වැඩිහිටියන් සතුවද පැවතිය හැක. ඒ පිළිබඳ කරුණු සොයා බැලීමෙන් විශාල දැනුමක් ඔබටත් ලබාගත හැකි බව මගේ විශ්වාසයයි. නාණක විද්‍යාව [Numismatology] නමින් ප්‍රකට මෙම විද්‍යාව තුළ සැරිසරන්නට ඔබත් වෑයම් කරන්න.

මූලාශ්‍ර : ලංකාවේ මිල මුදල්, ලීලානන්ද කල්දේරා, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව