Monday, November 5, 2012

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සිර කුටිය - King Sri Wickrama Rajasingha's Cell

 ඕලන්ද යුගයේ කොළඹ සිතියම් කළ අයුරු

කොළඹ නගරය කියපුවාම අපේ සිහියට එන්නේ අහස උසට තියෙන ගොඩනැගිලි වගේම කාර්යබහුලකමින් ඉහ වහ ගිය නගරයක් කියන එක. ඒත් මේ විශාල වාණිජ නගරය ඇතුළේ ඓතිහාසික අතින් වැදගත් වෙන ස්මාරක කීපයක්ම පිහිටලා තියෙන වග දන්නේ බොහෝම අතළොස්සයි. සමහර විට ඒ ගැන දැනුවත් කිරීමක් මහජනතාව අතරට ගෙනිහින් නැති නිසා මේ තත්වය ඇතිවෙලා තියෙනවා වෙන්නත් පුලුවන්. කොහොම නමුත් කොළඹ නගරයේ පිහිටලා තිබෙන ඓතිහාසික අතින් වැදගත් වෙන ස්ථානයක් පිළිබඳව e-අටුවාව හරහා කියන්නයි මේ සූදානම. 

පොඩි මූලාරම්භයක් ගත්තොත් බොහෝ කාලයක ඉදන් කොළඹ නගරයක වාණිජ වශයෙන් වැදගත්කමක් තිබෙන නගරයක් බවට පත්වෙලා තිබුණා. රජ කාලේ ඉදන් ඒ තත්වය පැවතුණත් රජ කාලයට අයිති වෙන ඓතිහාසික ස්මාරක නම් මම දැනුවත්ව කොළඹ නගරයේ දැකගන්න ලැබෙන්නේ නැහැ. ඒත් කොළඹ මූලික කරගෙන ලංකාවේ ආදිපත්‍යය ව්‍යාප්ත කරපු පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන යුරෝපීයන් විසින් ඉදි කරපු වගේම ඔවුන් එක්ක සම්බන්ධ වෙන ඓතිහාසික ස්මාරක කීපයක්ම කොළඹ නගරයේදී දැකගන්න පුලුවන්.

මේ අතරින් ලංකාවේ රජ පරපුරත් එක්ක සම්බන්ධ වෙන ඉංග්‍රීසීන්ගේ කාලයට අයිති වෙන නිර්මාණයක් පිළිබඳව තමා අද කතා කරන්නේ. ඒ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව සිරගත කරලා තිබුණු සිරකුටිය පිළිබඳව. 

කලු පැහැ ඊතලයෙන් දක්වා ඇත්තේ සිර මැදිරිය පිහිටි ස්ථානයයි

මේ සිරකුටිය පිහිටලා තිබෙන ස්ථානයට එන ආකාරය කිව්වොත් කොළඹ දුම්රිය ස්ථානයේ ඉදන් කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය පිහිටලා තිබෙන ලංකා බැංකු මාවතේ එද්දී පාරේ දකුණු පසින් අපිට හමුවෙනවා තවත් පැරණි නිර්මාණයක්. ඒ තමා ඕලන්ද රෝහල. අද වෙනකොට මේ ගොඩනැගිල්ල වෙළෙඳ සංකීර්ණයක් බවට පත් කරලා තිබෙන්නේ. 

ඕලන්ද රෝහල

ඒකත් පහු කරලා ඉදිරියට එද්දී පාරේ දකුණු පස තියෙනවා සෙලින්කෝ ගොඩනැගිල්ල. ඒකේ රථගාලේ තමා මේ සිර මැදිරිය පිහිටවලා තියෙන්නේ. 

සිරමැදිරිය ගැන හැඳින්වීමකට කලින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ගැන වගේම ඔහු සිරභාරයට පත්වුණු හැටි ගැනත් සුළුවෙන් කතා කරන්න ඕනේ. 

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා

එවකට උඩරට රාජධානියේ රජතුමා වුණු රාජාධි රාජසිංහගේ ප්‍රධාන අදිකාරම්වරයා වුණු පිළිමතලව්වේගේ කුමන්ත්‍රණයක් නිසා රජුගේ ඇවෑමෙන් අවුරුදු 18 ක් වුණු කන්නසාමි 1798 දී ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් සිංහාසනයට පත් වෙනවා. 

වසර 17 ක් පමණ කාලයක් පාලනය ගෙනියපු ශ්‍රී වික්‍රම රාජසිංහගේ කෲරත්වය නිසා වගේම රදළයන්ගේ පාවාදීම් වගේම කරුණු ගණනාවක් උඩ දෙවෙනි වරට උඩරට රාජධානිය අත්පත් කරගන්න ඉංග්‍රීසීන් විසින් දියත් කරපු ආක්‍රමණය සාර්ථක වෙනවා. 

ඒ අනුව 1815 පෙබරවාරි මාසය ආරම්භ වෙද්දී ඉංග්‍රීසීන් ලේ වැගිරීමකින් තොරවම සෙංකඩගල ආසන්නයට පැමිණිලා හිටිය නිසා ශ්‍රී වික්‍රම රාජසිංහ තමන්ගේ බිසෝවරු වගේම හිතවත්ම සේවකයන් පිරිසක් එක්ක පෙබරවාරි 11 නගරය අත් හැරලා පලා යනවා. ඒ ආරංචිය ලැබීමත් එක්ක ඉංග්‍රීසීන් තමන්ගේ කටයුතු ඉක්මන් කරනවා. අන්තිමට පෙබරවාරි 14 මේජර් මොෆට්ගේ නායකත්වයෙන් යුතු ඉංග්‍රීසීන්ගේ දෙවෙනි හමුදා බල ඇණිය පාළුවට ගිහින් තිබුණු සෙංකඩගල නගරය අල්ලා ගන්නවා. 

ඒත් චෙස් ක්‍රීඩාවේ වගේ රජු අල්ලා ගන්නකම් ආක්‍රමණය සාර්ථක නොවෙන නිසා රජතුමා ඌවට පලා යන එක වළක්වන්න හමුදා සෙබළු පිටත් කරනවා වගේම රජතුමා සැඟවිලා ඉන්නවාය කියන දුම්බර ප්‍රදේශයටත් ජෝන් ඩොයිලි හා ඇහැලේපොළ මහ නිළමේගේ මූලිකත්වයෙන් පෙබරවාරි 16 වෙනිදා භට කණ්ඩායම් පිටත් කරනවා. 


 රජු අත් අඩංගුවට ගත් බෝමුරේ පිහිටුවා ඇති ස්මාරකය

මේ අතරේ රජතුමා උඩු දුම්බර ප්‍රදේශයේ තියෙන ගල් ලෙනක සැඟවෙන්න කරපු උත්සහය අසාර්ථක වුණු නිසා මහවැලි ගඟෙන් එගොඩ දියතලා කඳු පංතියේ තිබුණු ගල උඩ බලකොටුවට යන්න පිටත් වෙනවා. ඒත් රෑ බෝවීම වගේම ලොකු වැස්සකුත් පටන් ගත්තු නිසා බෝමුරේ ගල්ලැහැවත්තේ උඩුපිටියේ ආරච්චිලගේ නිවෙසට රජතුමා පැමිණෙනවා. එහි රැඳී සිටිය රජතුමාව එක්නැලිගොඩ නිළමේ ප්‍රධාන හමුදා කණ්ඩායමකින් පෙබරවාරි 18 වෙනිදා අත් අඩංගුවට ගන්නවා 

එහෙම අත් අඩංගුවට ගත්තු රජතුමා වගේම බිසෝවරු ඇතුළු රජතුමා ඥාති පිරිස ජෝන් ඩොයිලිගේ උපදෙස් මත ප්‍රධාන හමුදා නිලධාරීන් දෙදෙනෙක් සහිත පාබල හමුදා භට කණ්ඩායමක ආරක්ෂාව යටතේ රජතුමා ඇතුළු ඥාතීන්ව කොළඹට පිටත් කෙරෙනවා. මාර්තු 6 වෙනිදා කොළඹට පැමිණෙන රජතුමාව කොළඹ නගරාරක්ෂක බල ඇණියේ ප්‍රධානියා වුණු ජෙනරාල් කර් විසින් රජතුමාව පිළි අරගෙන රජතුමාට රැඳී සිටින්න සකස් කරලා තිබුණු ගාලු මුවදොර ආසන්නයේ නිවෙසට රැගෙන යනවා. 

මේ කතාව සවිස්තරාත්මකව ආගිය කතා බ්ලොග් අඩවියේ "ලංකාවේ අන්තිම රජතුමාට අන්තිමට මොකද වුණේ" කියන සටහනේ තිබෙනවා. වැඩි විස්තර දැන ගන්න කැමති නම් ඒක කියවා බලන්න. 


නැවතත් ප්‍රධාන කතාවට ආවොත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රඳවා තැබුණු මේ සිර මැදිරිය අර්ධ කවාකාර හැඩයේ ගොඩනැගිල්ලක්. මේ ගොඩනැගිල්ලේ මුදුන ගෝලාකාර සකස් කරලා එහි මුදුනේ වා කවුළුවක් දමා තිබෙනවා. මේ ගෝලාකාර කොටසේ මාළුවන්ගේ පිටේ තිබෙන කොරළ ආකාරයේ මෝස්තරයක් දැක ගන්න පුලුවන්. 

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ උඩුකය ප්‍රතිමාව

ගොඩනැගිල්ලේ අර්ධ කවයේ සරල රේඛීය කොටසේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ උඩුකය ප්‍රතිමාවක් ස්ථාපනය කරලා තිබෙනවා වගේම සමරු ඵලකයකුත් පිහිටවා තිබෙනවා.


එහි දැක්වෙන්නේ ලංකාවේ අවසන් රජතුමා වුණු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අල්ලා ගෙන මේ බිමේ තිබෙන සිර මැදිරියේ සිර කරලා තැබුවා කියලා සිහිවෙන්න සමරු ඵලකය පිහිටෙව්වා කියලා. ඒක සිංහල වගේම ඉංග්‍රීසි මාධ්‍යයෙනුත් දක්වලා තියෙනවා.


සිර මැදිරියේ දොරටුව තියෙන්නේ පිහිටා තිබෙන අර්ධ කවාකාර කොටසට ගියාම සිර මැදිරියේ දොරටුවට වම් පසිනුත් තවත් සමරු ඵලකයක් දැකගන්න පුලුවන්. එහි දක්වන්නේත් රජතුමා අත් අඩංගුවට ගත් පුවත වගේම මේ සිර කුටියේ රඳවා තිබුණු බවත් අවසානයේදී ඉන්දියාවට පිටුවහල් කරපු රජතුමා එහිදී මරණයට පත්වුණු ආකාරයත් කියවෙන කතා පුවත. ඒක සිංහල වගේම ඉංග්‍රීසි මාධ්‍යයෙනුත් දක්වලා තියෙනවා.


සිරමැදිරියේ දොරටුව අඩි 5 ක් පමණ වෙනවා. අභ්‍යන්තර කුටියේ උස අඩි 12 ක පමණ වෙනවා. කුටියේ දිග පළල අඩි 8 ක් සහ අඩි 5 ක් පමණ වෙනවා. සුවිශේෂී ලක්ෂණයක් තමා මේ මැදිරියේ බිත්තියක ඝණකම අඩි 2 ක් පමණ වෙන එක. මැදිරියේ දොරටුව දෙපසිනුත් වා කවුළු දෙකක් දමා තිබෙනවා. 

මැදිරියේ දොර දෙපස ඇති එක් වා කවුළුවක්
මැදිරියේ ඉහළින් ඇති වා කවුළුව

වර්තමානයේදී මේ මැදිරියේ බිත්තිවල සිතුවම් කීපයක් දැකගන්න පුලුවන් ඒ අතර ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ සහ අග බිසව වුණු වෙන්කත රංගම්මාල් බිසවගේ සිතුවම් දෙකත් ඊට ඉහළින් මහනුවර දළදා මාලිගාව සහ නුවර වැවේ සිතුවම් දෙකත් දැකගන්න පුලුවන්. 


මැදිරියේ වම් පස බිත්තියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව සිහසුනට පත් කරපු පිළිමතලව්වේ මහාදිකාරම්ගේ සිතුවමකුත් ඊට වම් පසින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා 1832 ජනවාරි 30 වෙනිදා මිය ගියාට පස්සේ දේහය ආදාහනය කරලා භෂ්මාවශේෂ තැන්පත් කරපු මුතු මණ්ඩපම් කියන ස්මාරකයේ සිතුවම දැකගන්න පුලුවන්. 

වම් පස බිත්තියේ ඇති සිතුවම

මැදිරියේ දකුණු පස බිත්තියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අල්ලා ගන්න කටයුතු කරපු එවකට ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග්ගේ සිතුවමත් ඊට දකුණු පසින් රජතුමා ඇතුළු පිරිස ඉන්දියාවට පිටුවහල් කළ පසු රැගෙන ගිය H.M.S Cornwallis නෞකාවේ සිතුවමත් දැකගන්න පුලුවන්. 

දකුණු පස බිත්තියේ ඇති සිතුවම

මේ සිර මැදිරිය සම්බන්ධ තිබෙන විවිධ මත පිළිබඳව කතා කළොත් සැබවින්ම මේ කුටිය රජතුමාව සිර කරලා තබන්න භාවිතා කළාද කියන ගැටලුව මතු වෙලා තිබෙනවා.

කොළඹට රැගෙන ආ රජතුමා ඇතුළු පිරිස ගාලු මුවදොර ආසන්නයේ තිබුණු විශාල නිවසක රැදෙව්වා කියන පුවතත් එක්ක තමා මේ ගැටලුව පැන නගින්නේ. තමන් දැන් රජෙක් නොවුණත් තමන්ට ඉංග්‍රීසීන් දක්වපු කාරුණික බව ගැන රජතුමා ස්තුති කරලත් තිබෙනවා. 

ඒ වගේමයි මේ ලන්දේසි සමයේ ඉදි කෙරුණු මුර කුටියක් බවත් පසුව ඉංග්‍රීසි සමයේදීත් මෙය මුර කුටියක් වශයෙන් භාවිතා වුණා කියන අදහසත් ඉදිරිපත් වෙලා තියෙනවා. 

කෙසේ වෙතත් සියලු අදහස් එක්ක පිළිගත හැකි අදහසක් වන්නේ මේ අදහස. ඒ තමා රජතුමා ඇතුළු පිරිස ගාලු මුවදොර ආසන්නයේ තිබුණු විශාල නිවසක රඳවා තිබුණා. රජතුමා බොහෝ අවස්ථාවල බීමතින් කලහකාරී විදිහට හැසිරෙද්දී ඔහුව මේ මැදිරියට දමා තිබුණා කියන එක. රජතුමා සුරා ලෝලියෙක් වෙලා හිටිය බව 1815 ඉංග්‍රීසීන් සෙංකඩගල අල්ලා ගත්තු වෙලාවේ රජ මාළිගාවේ තිබුණු හොෆ්මන් චෙරි බ්‍රැන්ඩි බෝතල් විශාල සංඛ්‍යාවෙන් පැහැදිලියි. 

1815 මාර්තු 6 වෙනිදා ඉදන් 1816 ජනවාරි 24 වෙනිදා ඉන්දියාවට පිටුවහල් කිරීම සිදුවුණු දවස දක්වා රජතුමා මේ මැදිරියේත් ඒ අසළ තිබුණු විශාල මන්දිරයේත් වාසය කරපු බව පැහැදිලියි. 

ලාංකීය රජතුමෙක් පිළිබඳව ලංකාවේ තිබෙන අන්තිම මතක සටහන විදිහට මේ ස්මාරකය හැඳින්වුවාට වරදක් නැහැ. මේ මැදිරිය මුලින්ම වර්තමාන ශ්‍රී ලංකා මහ බැංකුව ඉදි කළ ස්ථානයේ තිබූ බවත් පසුව මේ ස්ථානයට ගෙනවිත් ඇති බව කියවුණත් ඒ බව සනාථ කරන්න පුලුවන් සාධකයක් නම් හමුවුණේ නැහැ. කෙසේ නමුත් මැදිරිය අභ්‍යන්තරයේ සිතුවම් ඇඳීම, සමරු ඵලක දෙක සවි කිරීම සහ රජතුමාගේ උඩුකය පිළිරුව තැනීම බොහෝම පසු කාලයක සිදුවුණු ඒවා හැටියටයි පෙනෙන්නේ. 

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ ස්මාරකය කුමක්ද මෙහි තියෙන වැදගත්කම මොකක්ද කියන එක බොහෝ දෙනා දන්නේ නැහැ. විශේෂයෙන්ම මේ මැදිරිය රථගාලක පිහිටලා තිබෙන නිසා ඒ අසළින් හුඟක් අය තමන්ගේ වාහනය නවතා යනවා හැරෙන්න මේ මොකක්ද කියලා සොයනවද කියන එක සැක සහිතයි. 

අනෙක් අතට මේ සම්බන්ධව වග කිව යුතු බලධාරීන් එතැනට යන එන අයට මේ ගැන තොරතුරු ඉදි සඳහන් කරලා නාම පුවරුවක්වත් සකසා නොතිබීම විශාල අඩුවක්. ඉතින් ඔබටත් විවේකයක් තියෙන වෙලාවක ගාලු මුවදොර පිටියේ ඇවිදින්න එහෙම ගියොත් මේ ස්මාරකය බලන්නත් අමතක කරන්න එපා.

මේ සිරමැදිරියේ තවත් ඡායාරූප බලන්න මෙතනින් යන්න

ප.ලි.: මේ සිර මැදිරිය අධි ආරක්ෂිත කලාපයක් පිහිටලා තිබෙන නිසා එතැනට යන්න කලින් කෝකටත් ඒ හරියේ ඉන්න පොලිස් නිලධාරියෙක්ව දැනුවත් කරලා යන්න. ඒ වගේමයි ඡායාරූප එහෙම ගන්නවා නම් ඒ ගැනත් දැනුවත් කරන්න. 


විශේෂ ස්තුතිය මේ චාරිකාවට මාත් එක්ක එකතු වුණු කළණ මිතුරු ගිහාන් චාමරට

40 comments:

  1. සුපිරිම ලිපියක් සහෝ මාර වටින තොරතුරු ටික.
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
    Replies
    1. මා ගොඩවැදුණු බ්ලොග් අතර වටිනාම බ්ලොගයක් මේක දිගටම පවත්වාගනයන්න
      මම සමකය වටේ (samakaya wate)දුවන එකා

      Delete
    2. @ Naleen Dilruksha

      ස්තුතියි ඔබේ අගය කිරීමට වගේම දිරි ගැන්වීමට :)

      Delete
  2. මේක වටිනා පෝස්ට් එකක්. මට වුනත් තිබ්බ ගැටලුව අන්තිමේ ඔය විදියට ලිහලා දුන්න එකට බොහොම ස්තුතියි. ඒ එක්කම අර රජු හිටිය ගෙදර අද කෝ?

    ReplyDelete
    Replies
    1. @ Alexander Cage

      රජතුමා හිටිය ගෙදර පිහිටලා තියෙන්න ඇත්තේ වර්තමාන මහ බැංකුව, සෙලින්කෝ ගොඩනැගිල්ල පිහිටලා තියෙන බිමේ වෙන්න ඕනේ. ඒ මන්දිරය කඩලා පසුකාලීනව වෙනත් ඉදිකිරීම් කරලා

      Delete
  3. මම W.T.C. එකේ වැඩ කරන දවස්වල ඕලන්ද රෝහල දැකල තියෙනවා... නමුත් සිර මැදිරිය ගැන ඇහුවේ අදයි. වටිනා ලිපියක් සහෝ...

    ReplyDelete
    Replies
    1. @ මාටියා

      WTC ඉදන් බලද්දී ඕලන්ද රෝහලට වම් පැත්තෙන් සෙලින්කෝ ගොඩනැගිල්ල තියෙනවානේ. ඒ ගොඩනැගිල්ලේ වම් පැත්තේ තියෙන වාහන නැවතුමේ වම් පැත්තේ තාප්පේ කොණටම වෙන්න තියෙන පොඩි කුටිය තමා මේ සිරකුටිය

      Delete
  4. මමත් මේ ගැන ඇහුවේ අදයි යන්න ඕන වෙලාවක බලන්න.ස්තුතියි

    ReplyDelete
    Replies
    1. @ රනා

      අනිවාර්යයෙන්ම ගිහින් බලන්න අයියා. මිනිස්සු හුඟක් මේ තැන බලන්න එනවා නම් බලධාරීන්ගේ අවදානය මේ ගැන යොමු වෙයි

      Delete
  5. නියම ලිපියක් මල්ලි. මේවා අප්‍රසිද්ධ ඓතිහාසික තොරතුරු නේ.අදමයි දැන ගත්තේ.

    ReplyDelete
    Replies
    1. @ Chandana

      මේක අපේ වගකීම නොවැ අයියණ්ඩි :)

      Delete
  6. හසිතගේ ලිපියෙන් ගොඩක් සැඟවී ඇති කරුනු අපි දැනගන්නවා. ඒක නෙවෙයි.. මට හිනා එන්නේ අර සිංහල රාජවංශයේ අන්තිම රජු කියල කොටල තියෙන එකටයි .. ජාති භේදය කියන්නේ මහ බොරුවක් කියල ඒකෙන්ම ඔප්පු වෙනවා. කන්න ඕන උනාම කබරයාත් තලගොයා කරගන්නවා.

    ReplyDelete
    Replies
    1. @ සරත් ලංකාප්‍රිය

      ජාති භේදය නම් මහ බොරු කතාවක් තමා අයියා. රජ කරන්න එකෙක් නැතිවුණාම දෙමළා හොඳයි. මුලින්ම උගත් ශ්‍රී ලාංකිකයෙක් ඡන්දෙන් පත් කරන්න යද්දී ඒකට ඉදිරිපත් වුණු සිංහල එකා කුලහීනයෙක් නිසා කුලයෙන් උසස් දෙමළාව ඒකට පත් කරන්නත් හොඳා. දෙමළගේ සාරිත් හොඳා. දෙමළගේ කෑමත් හොඳා. දෙමළගේ දෙයියත් හොඳා. හැබැයි දෙමළා හොඳ නැහැ. මේක තමා අපේ අයගේ ධර්මය

      Delete
  7. අගය කරනවා ඔබේ ලියවිල්ල සහෝ! අඩුවෙන් ලියවෙන දේ නෙ..ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. @ හිරුහිමාවී

      …මේ ලිපි ලියන්න ටිකක් මහන්සි වෙන්න ඕනේ නිසා වගේම මගේ තියෙන කම්මැලිකම [ඒක තම ප්‍රධානම හේතුව] නිසා තමා මේ ලිපි අඩුවෙන් ලියවෙන්නේ

      Delete
  8. කාලෙකට පස්සේ අටුවට පණ ඇවිත් තියෙන්නේ.
    මේක මගේ පුද්ගලික අදහසක්.
    ඉතිහාස කතා සේරම ටික අටුවේ ලියලා සාමාන්‍ය ජීවිතයේදි අත්විඳින්න වෙන කතා සේරම ආගිය කතා වල ලිව්වා නම් හොදයි කියලා හිතෙනවා. එතකොට ඉතිහාසයට ප්‍රිය කරන/ඉගෙන ගන්න අය කෙලින්ම අටුවට ඇවිත් එක දිගටෝම ඉගෙන ගනීවි.

    ඔන්න ආයෙමත් කියන්නේ මේක මගේ පුද්ගලික අදහසක් විතරයි.

    ReplyDelete
    Replies
    1. @ මධුරංග

      අදහස නම් හොඳයි අයියා. ඒක ගැන පොඩ්ඩක් හිතලා බලන්නම්. මොකද ඊ අටුවාව ලියන්න පටන් ගද්දිම මම බලාපොරොත්තු වුණේ අප්‍රකට අපේ උරුමයන් ගැන විතරක් ඒකෙන් කතා කරන්න.

      Delete
    2. හොඳ දෙයක් කරන්න මල්ලි. මොක උනත් අටුවාව පාළු වෙන්ඩ දෙන්ඩ එපා.

      Delete
    3. @ මධුරංග

      කම්මැලිකම කියන එකටත් බේතක් ගන්න ඕනේ අයියා :D

      Delete
  9. කාලෙකට පස්සේ අ‍ටුවාව ලියවිලා. වටිනා තොරතුරු ගොඩක් තියෙනවා.

    ඉංග්‍රීසීන් ශ්‍රී වික්‍රම රජ්ජුරුවන්ට හොඳින් සැලකුවා වගේම එක්නැලිගොඩයා රජ්ජුරුවන්ට ඌරෙකුට වගේ තලලා වැල් පොටවල්වලින් බැඳලා ගෙනාවා කියලා මම අහලා තියෙනවා. බිසවුන්නාන්සෙලාගෙ කරාබු කඩා ගන්නකොට කන් ඉරිලා ලේ ගැලුවලු. එක අතකින් අන්තිම කාලෙ රජ්ජුරුවො කරපු දේවල්වල හැටියට ඒ වගේ වෛරයක් තිබුනු එකේ පුදුමයක් නෑ.

    ReplyDelete
    Replies
    1. @ Gaminie Vijith Samarakoon

      රජතුමා අල්ලා ගනිපු හැටි සවිස්තරාත්මකව මම ආගිය කතා බ්ලොග් එකේ ලියපු නිසා ඒක ආයි මෙතනදීත් ලියන්න හිතුවේ නැහැ අයියා. මෙන්න ඒ ලිපිය කියවන්න යන්න පාර

      http://aagiyakatha.blogspot.com/2012/07/09.html

      Delete
  10. අපි මොනවද දන්නෙ කියල හිතුනා. ස්තූතියි මල්ලි

    ReplyDelete
    Replies
    1. @ සිඳු

      ඒක තමා අක්කේ. අපිට ජීවිත කාලේ ඉවර වෙනකම්ම ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒත් ඉගෙන ගන්න දේවල් ඉවරයක් නැහැ :)

      Delete
  11. සුපිරි ලිපියක්!!! ගොඩක් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. @ nishuoc

      තැන්කු වේවා :)

      Delete
  12. හ්ම්ම්ම්ම් මේක කරන්නෙත් හසිතමද? එළනේ. ඔන්න තවත් නොදන්නා තොරතුරු රැසක් දැනගත්තා.

    ReplyDelete
    Replies
    1. @ කෝරලේ මහත්තයා

      ඔව් ඔව් ඒ හසිතයාම තමා :P

      Delete
  13. නියම විස්තරයක්.මට තියෙන ප්‍රශ්නෙ තමයි ඔය ඉන්දියාවට රජතුමා පිටුවහල් කලාට පස්සේ ඔහු ගැන සදහනක් නැද්ද කියලා? විශේෂයෙන්ම ඔහුගේ මරණය සම්බන්ධයෙන්? ආ ගිය කතා වල තියෙන ලිපිය නම් කියෙව්වේ නෑ මං.

    ReplyDelete
    Replies
    1. @ thisara wickrama

      ඉන්දියාවට පිටුවහල් කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා වෙල්ලෝරයේදී මියයාම දක්වා වූ සම්පූර්ණ විස්තරය ආගිය කතාවල තියෙන ලිපියේ තියෙනවා. ඒක කියවලා බලන්න.

      http://aagiyakatha.blogspot.com/2012/07/09.html

      Delete
  14. හොද ලිපියක්.ඔය රජ තුමා බෙහෙවින් කෘර උනේ ඉංග්‍රීසීන්ගේ උපක්‍රම නිසා නේද? අපේ මිනිස්සු රජතුමා අල්ලගෙන එතුමට වධ හිංමා කරා කියන්නේ ඇත්තද?

    ReplyDelete
    Replies
    1. @ ධමිමික ස‍‍දරුවන්

      රජතුමාගේ උන්මත්තක තත්වයට පත්වෙන්න ඩොයිලිගේ උපක්‍රමයක් විදිහට ලබාදීපු මත්පැන් පවා හේතුවුණා කියනවා. ඒ වගේමයි රදළයන් අතරේ ඩොයිලි ඇතිකරපු තත්වය නිසා රජතුමා හැම තිස්සේම අනිත් අය ගැන සැකයෙන් බලන්න පුරුදු වුණු බව හිතන්න පුලුවන්.

      රජතුමා අල්ලා ගත්තු වෙලේ බිම පෙරලාගෙන ගුටි බැට දීපු බවත් පයින් පවා පහර දුන් බව සඳහන් වෙනවා. ඒ වගේමයි රජතුමාට වගේම බිසෝවරුන්ට නොයෙක් අඩම්තේට්ටම් වුණු බව කියවෙනවා. ඒක එතැන හිටිය ඉංග්‍රීසි භාෂා පරිවර්තකමයි කියන්නේ. ඒ ගැන විස්තර මේ සටහන් දේකෙ ඇති

      http://aagiyakatha.blogspot.com/2012/07/09.html

      http://aagiyakatha.blogspot.com/2012/06/07.html

      Delete
  15. //නෙක දුක් සැවොම විදිමින් සොමි ගුණෙන් යුතා
    විතරක් නොවෙන වැඩ සෑදූ දනන් වෙතා
    සිරි වික්මන් නමැති සුරතල් ඔබගෙ පුතා
    අද දුක් විදින සිරකරුවෙකි අහෝ ඉතා//

    ..මට ඒ ජනකවිය මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. @ Rain_Girl

      මේ කවිය නම් මම අදමයි ඇහුවේ. කොහෙන්ද මේ කවිය හොයා ගත්තේ ?

      Delete
  16. ආයුබෝවේවා :)

    මේ පැත්තට ආවේ අදයි... ඉතා වටිනා විස්තරයක්

    ReplyDelete
    Replies
    1. @ ගවේශකයා

      සාදරයෙන් පිළිගන්නවා :)

      Delete
  17. Replies
    1. @ Awantha Artigala

      ස්තුතියි අගය කළාට

      Delete
  18. ඇයි අයියෙ මේ ලියන එක නවත්තල දාලා :(

    ReplyDelete
  19. නොබෙල්
    තියාගන්න

    ReplyDelete
  20. මෙවැනි අගනා අපේ ඉතිහාස තොරතුරැ තවදුරටත් අපේ දරැවන්ට ලබාදෙන්න.ස්තුතියි.

    ReplyDelete