Monday, January 17, 2011

විජයබාහු මාළිගාව Palace of King Vijayabahu


අනුරාධපුරේ යනවා කියලා කියපු ගමන් අපේ සිහියට එන්නේ ශ්‍රී මහා බෝධිය, රුවන්මැලිසෑය, ජේතවනය, අභයගිරිය ආදී අටමස්ථාන වගේම සමාධි බුදු පිළිමය, සඳකඩ පහණ වගේ නිර්මාණ. ඒත් මේ උරුමයන්ට අමතරව තවත් වටිනා කියන උරුමයන් රාශියක් අනුරාධපුරයේ පිහිටලා තිබුණත් ඒවාට එතරම් සංචාරක අවධානයක් තාමත් යොමු නොවීම ගැටළුවක්.

ඒ වගේ ස්ථාන කීපයක් ගැන අවධානය යොමු කරන්නයි e-අටුවාවේ උත්සාහය. අද ඉදන් "නොදුටු අනුරාධපුර" නමින් ඒවා පළකරන්නයි අදහස.

නොදුටු අනුරාධපුරය ගැන කතා කරද්දී මුල්ම අවධානය යොමු කරන්න හිතුවේ ලක්දිව සිටි ශ්‍රේෂ්ඨම නරපතියෙක් වන මහා විජයබාහු රජතුමා අනුරාධපුරයේ ඉදි කළ මාළිගාව ගැනයි. එය වැදගත් වෙන්න ප්‍රධානම හේතුව වෙන්නේ අනුරාධපුරයේ දැනට හමුව තියෙන එකම රජ මාළිගාව වන්නේ මේ විජයබාහු මාළිගාව වීමයි.

අපි පළමුවෙන්ම රජතුමා ගැන කෙටියෙන් විමසලා බලමු.


"විජයබාහු රජතුමා නොසිටියේ නම් අද ලංකාවේ සිංහලයන් සිටිනු සැක සහිතය" මේ ප්‍රකාශයෙන්ම එතුමා ඉටුකරන ලද සුවිසල් මෙහෙය පැහැදිලිය. ක්‍රි.ව. 1017 දී ලංකාව චෝල පාලනයට යටත් වීමෙන් පසුව චෝල බලය බිඳලා නැවතත් ලංකාවේ සිංහලයන්ගේ බලය ඇතිකරන්න මුල්වුණේ මහා විජයබාහු රජතුමා.

මෙතුමා ක්‍රි.ව. 1070 දී චෝල බලය බිඳලා ලංකාව එක්සේසත් කලාට පස්සේ මුල් රාජධානිය වුණු අනුරාධපුරය ප්‍රතිසංස්කරණයට මුල්වුනා. රජතුමා පුද්ගලිකවම ඒ කටයුත්තට දායක වුණා කියලා තමා වංශකතා කියන්නේ. ඒ වගේම රජතුමා ක්‍රි.ව 1073 දී තමන්ගේ රාජාභිෂේක මංගල්‍යය පවත්වන්නේත් අනුරාධපුරයේදීමයි.

"මෙසේ ලත් ජය ඇත්තාවූ මහත්වූ නුවනැති ඒ විජයබාහු නම්වූ රජතෙමේ එකල්හි සියඅණින් නුවර බෙර හැසිරවී. සොළීරජ තෙම ස්වකීය සෙනාවගේ විනාසය අසා සිංහලයෝ බලවත්යයි සිතා නැවත සේනාව නොඑවීය. උඩඟු සොළී ශ්රෙහෂ්ඨයන් නිරවශේෂයෙන් නැසුවාවූ ඉතා මනා කොට තබනලද රජරට ඇති පණැති වීරවූ රාජශ්රෙෂ්ඨතෙම ඉෂ්ටවූ අනුරාධපුරවරයට අතිශයින් සතුටුව පසළොස්වෙනි වසයෙහි සම්ප්‍රාප්ත වූයේය. මේතෙක් හුදීජනයා ප්රොසාද සංවේග පිණිස කළ මහවස අනුරාධ පුරාබිගමන නම්වූ අට පණස්වෙනි අදියර නිමි.

(ඒ නරෙශ්වරතෙම) ලඞකාව ආරක්ෂාකරණ පිණිස ‍යොධ සම්මතවූ බලවත් ඇමතියන් කටයුතු උගන්වා හාත්පස යෙදී. අබිසෙස් මඟුල් පිණිස ප්‍රසාදාදීවූ නොයෙක් කළමනා සම්පාදනය කටයුතුයයි ඇමතියෙකුට නියෝග කොට ඒ පිය‍සෙහි වැඳිය යුතුවූ නොයෙක් චෛත්‍යයන් වඳිමින් තුන්මසක් ගෙවා පොළොන්නරුවට නැවත පැමිනියේය."

මහාවංශය - 59 වැනි පරිච්ඡේදය

මේ කාලය තුල රජතුමාට වාසය කරන්න මාළිගාවක් අනුරාධපුරයේදී ඉදිවෙනවා. ඒ වගේම පසුකාලීනව රාජ්‍ය උත්සව පවත්වන්නත් මේ මාළිගාව භාවිතා වෙනවා කියලා පනාකඩුව තඹ සන්නස කියවද්දී පැහැදිලි වෙනවා.

මහා විජයබාහු රජතුමා කුමාර කාලයේ වනගතව ගත කරද්දී වගේම චෝල බලය පරදවන්න උදව් කරපු බුද්ධරාජ එහෙමත් නැත්නම් සිත්නරුබිම් බුදල්නාවන්ට කල පරිත්‍යාග දක්වලා තියෙන්නේ මේ පනාකඩුව තඹ සන්නසේ. එහි මුල් කොටසේ (අ ) 6 පේළියේ දැක්වෙන්නේ

" ........ වක්දවස් නුරුපුරවරෙහි සිහසිනරා කිරුළුමිණි රසින් පළ සෙසත් කිස තවරමින් වැඩැහින් දෑ ....."

මෙහි තේරුම වන්නේ ..... දිනයෙහි අනුරුධපුරවරෙයහි සිංහාසනාරූඪ ව කිරීට මාණික්‍ය රශ්මියෙන් පැතුරුණු සේසත් ඇතුළත ආලෝක කරමින් වැඩ හිඳ.........

ඒ අනුව බලද්දී මේ මාළිගාව විජයබා රජ සමයේ වැදගත් ගොඩනැගිල්ලක් වූ බව පැහැදිලියි.

මේ මාළිගාව පිහිටලා තියෙන්නේ ථූපාරාමය අසළ ඇති සංඝමිත්තා මාවතේයි. මේ ස්ථානයේ පිහිටීම ගැන සිතියමක් බලන්න මෙතන කොටන්න.

මාළිගාව පිහිටලා තියෙනබිමට ඇතුළු වුනාම දැකගන්න පුලුවන් බහිරව රූප දෙකක් මුරගල් වශයෙන් තබා ඇති පියගැට පෙළක්. මාළිගාවට පිවිසෙන්නේ ඒ ද්වාරයෙන්.

මේ මුරගල්වලට භාවිතා කරලා තියෙන්නේ වස්තුවට අධිපතු කුවේර දෙවියන්ගේ ආරක්ෂකයන් විදිහට සළකන සංඛ හා පද්ම කියන බහිරවයක් දෙදෙනා. මේ බහිරව රූ දෙකම අභයගිරි විහාරයට පිවිසෙන පියගැට පෙළ දෙපසත් දකින්න පුලුවන්.

මාළිගාව සාමාන්‍ය ප්‍රමාණයේ මාළිගාවක්. මෙහි දිග පළල සළකලා බැලුවොත් 128 x 216 ප්‍රමාණයක් තමා තියෙන්නේ. මෙහි තියෙන බැමිවල ආකාරය අනුව උඩු මහලක් පවතින්න ඇති කියලා අනුමාන කරන්න පුලුවන්.

ඒ වගේම තවත් සුවිශේෂී දෙයක් වෙන්නේ තවමත් මෙහි ඉපැරණි බදාම තට්ටු වගේම චිත්‍ර දැකගන්න පුලුවන් වීමයි. ඒවායේ ආරක්ෂාවට ආවරණයක් ඉදි කරලා තිබුණත් ඊට වඩා හොඳ ආවරණයක් ඉක්මණින් ඉදිකළ යුතුයි.

මාළිගාව වටා ආරක්ෂිත පවුරු පැවති බවකුත් පෙනෙනවා. මුල් කාලීනව මේ විදිහට පැවතුණු මාළිගා මහා පරාක්‍රමබාහු සමය වනවිට දියුණු මට්ටකට පැමිණි බවත් පෙනෙනවා.

තවත් මෙවැනිම අනුරපුර නොදුටු උරුමයකින් හමුවෙමු............

16 comments:

  1. නියමයි මල්ලී...ඔහොම යO

    ReplyDelete
  2. ඇත්තටම් හරිම වටිනවා මල්ලී මේ ලිපිය.

    බොහෝම ස්තූතියි

    ReplyDelete
  3. අනුරාධපුරයේ ගිහින් තියෙනවා නමුත් ඔය කියන මාලිගාව බලන්න ගිහින් නෑ.
    ගොඩක් වටිනවා මල්ලි ඔය ලිපිය.

    ReplyDelete
  4. මලයෝ, මේ චිත්‍ර ගැන තොරතුරු තියෙනවද? තියෙනවනම් පොඩ්ඩක් ඒ ගැනත් කතා කරමුද?

    ReplyDelete
  5. මයියා,
    දුකා

    ස්තුතියි අයියලා දෙන්නාටම දීපු හයියට :)

    ReplyDelete
  6. මධුරංග

    මේ මාලිගාව වගේම අනුරාධපුරේ තියෙන තවත් මේ වගේම තැන් කීපයක් ගැන ලියන්න තමා ඉන්නේ අයියා. මහාපාලි දාන ශාලාව, අනුරාධපුර දළදා මාළිගාව එහෙම ගැනත් ලිපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න

    ReplyDelete
  7. විකී

    චිත්‍ර කියලා පැහැදිලිව පේන්න තියෙන ප්‍රමාණය හුඟාක් අඩුයි අයියා. වර්ණ රේඛා වගේ ඒවා තමා හුඟාක් දකින්න පුලුවන්.

    ඒවා සංරක්ෂණය කරන්න විධිමත් වැඩපිලිවෙලක් නැති නිසා තවත් විනාශවෙමින් තමා තියෙන්නේ. විධිමත් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කළොත් චිත්‍ර පැහැදිලිව හඳුනගන්න වගේම ආරක්ෂා කරගන්නත් පුලුවන් වෙයි.

    ReplyDelete
  8. E-අටුවාව නෙත ගැටුනේ අදයි.මගෙත් ප්‍රියතම විශයයක් තමයි ඉතිහාසය හා පුරාවිද්‍යාව.හසිතට සුභපැතුම්!

    ReplyDelete
  9. වැදගත්.ඉතාම වැදඟත් මල්ලි!

    ReplyDelete
  10. බොහොම පින් .. හැම අවුරුද්දෙම නොවරදවාම අනුරපුරේ ගියාට බැලුව.. වැන්දා.. ආඩම්බර උන. ගරු කල විතරයි.. . ඊළඟ පාර ගියාම ටිකක් මොලේ ඇතුව දේවල් අපහු අලුතින් දකින්න ඔබේ සටහන මට ඉගැන්නුවා.

    ReplyDelete
  11. ජයශ්‍රී

    ස්තුතියි අගය කිරීමට ඉදිරියටත් රැඳෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  12. ඉන්දික

    ස්තුතියි අයියා :)

    ReplyDelete
  13. සරත් ලංකාප්‍රිය

    ඔබේ අදහසට මම එකඟයි වගේම සතුටුයි. මගේ අරමුණ වෙන්නෙත් නොදුටු නොඇසු ඒත් අපේ උරුමයත් එක්ක බැඳුණු තැන ගැන අනිත් අයව දැනුවත් කරන එක.

    ReplyDelete
  14. කාලෙකට පස්සේ නැවතත් නොදුටු අනුරාධපුර ලිපි මාලාවත් එක්ක. දුටුගැමුණු මහ රජතුමා ආදාහනය කරපු ස්ථානයේ ඉදි කරපු දක්ඛිණ ථූපය ගැනයි අද විස්තරය............

    http://eatuwawa.blogspot.com/2011/05/dakkina-stupa.html

    ReplyDelete
  15. හොද වැඩක්. ලංකාව ගැන, අතීතය ගැන, ලංකාවෙ නැරඹිය හැකි ස්ථාන ගැන මෙහෙම දැනුවත් කිරීම ගොඩක් අගය කරනවා සහෝදරයා!

    ReplyDelete
    Replies
    1. @ FOX Creationz

      ස්තුතියි ඔබේ වදන් මට සවියක් :)

      Delete