අද සටහන වෙන්වන්නේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටා සුප්‍රසිද්ධ පූජනීය ස්ථානයක් අසළ පිහිටා තිබෙන එහෙත් එතරම් මහජන අවධානයක් යොමු නොවන පූජනීය ස්ථානයක් ගැන විස්තර දක්වන්න. මේ පූජනීය ස්ථානය කිත්සිරිමෙවන් කැලණි රජ මහා විහාරය.
ඓතිහාසික කැලණිය රාජ මහා විහාරය ආසන්නයේම පිහිටලා තිබෙන මේ පුදබිම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ එගොඩ කැලණිය කියන නමින්. කලින් දක්වපු විදිහට මේ පූජනීය ස්ථානය එතරම් ප්‍රසිද්ධ නොවන්නට එක් හේතුවක් වුණේ කැලණි ගඟෙන් එගොඩ පිහිටා තිබීමයි.
මුල්කාලීනව පාලම් පාරුවක් භාවිතයෙන් එගොඩ මෙගොඩ යාම සිදුවුණා. කොහොම නමුත් වර්තමානය වෙද්දී එගොඩ කැලණියට යාමට පාලමක් ඉදිකර තිබුණත් මේ පූජනීය ස්ථානයට එතරම් වන්දනාකරුවන්ගේ පැමිණීමක් දැකගන්න නැහැ.
කිත්සිරිමෙවන් කැලණි රාජ මහා විහාරයට එන ගමන් මග දැක්වුවොත් කොළඹ - නුවර මාර්ගයේ 4 කණුව මංසන්ධියෙන් බියගම දෙසට ඇති මාර්ගයේ පැමිණීමෙන් මේ පුදබිමට පැමිණෙන්න පුළුවන්.
මේ විහාරය මූලාරම්භය ගැන කතා කළොත් බුද්ධ කාලය දක්වා දිව යනවා. බුද්ධත්වයෙන් 8 වන වර්ෂයේ මණිඅක්ඛික නා රජතුමාගේ ආරාධනයෙන් කැලණියට වැඩම කළ බුදුන් වහන්සේ දහවල් දානය වැළදීමට පෙර කැලණි නදියේ ස්නානය කළ බවත් එහිදී උන් වහන්සේ භාවිතා කළ නානකඩය එහෙමත් නැත්නම් ජලසාටිකාව තැන්පත් කරලා මණිඅක්ඛික නා රජු කිත්සිරිමෙවන් කැලණි විහාර දාගැබ ඉදිකරවූ බව තමයි කියවෙන්නේ.
බුදුන් වහන්සේ පරිභෝග කළ වස්තුවක් තැන්පත් කරලා ඉදිකරපු මේ දාගැබ බුදුන් වහන්සේ පරිහරණය කරපු ජලසාටිකාවක් තැන්පත් කරලා ඉදිකරවපු ලොව එකම දාගැබ විදිහටත් හඳුන්වන්න පුළුවන්.
පසුකාලීනව ක්‍රි.ව. 304 - 328 කාලයේ කිත්සිරිමෙවන් රජ දවස ඒ කියන්නේ මහසෙන් රජතුමාගේ පුත්‍රයාගේ රාජ්‍ය කාලය තුළ මේ දාගැබ තවත් විශාල කරවලා විහාරාරාම සංකීර්ණයක් ඉදිකෙරුණු බව කියවෙනවා. ඒ නිසාම මේ විහාරයට කිත්සිරිමෙවන් කැලණි විහාරය යන නාමය යෙදුණු බවයි විශ්වාස කෙරෙන්නේ.
තවත් මතයක් වන්නේ පොළොන්නරු යුගයේදී ගජබාහු සමයේ මායා රටේ පාලකයා විදිහට කටයුතු කරපු කිත්සිරිමේඝ මාපාණන්ගේ අනුග්‍රහය මේ විහාරස්ථානය ලැබුණු නිසා කිත්සිරිමෙවන් කැලණි විහාරය යන නාමය භාවිතා වුණු බවයි.
පසුකාලීනව ගම්පොළ යුගයේදී අළගක්කෝණාර නම් අමාත්‍යවරයා විල්ගම්මුල නම් හිමියන්ගේ අනුශාසනා පරිදි ජරාවාස වී තිබුණු දාගැබ, පිළිම ගෙය සහ බෝධි ප්‍රකාර පිළිසකර කරවනවා.
වර්තමානය වන විට මේ විහාරස්ථානයේ දැකගත හැකි පැරණි ඉදිකිරීම් වන්නේ දාගැබ සහ විහාර මන්දිරය පමණයි. දාගැබ මීට පෙර දැක්වූ බුදුන් වහන්සේගේ ජලසාටිකාව තැන්පත් කර ඉදිකරවූ දාගැබ ලෙස විශ්වාස කරන අතර මේ පුදබිමෙන් හමුවන ටැම් ලිපියකද ඒ බව දක්වනවා.
ඒ හැරෙන්නට ඇති විහාර මන්දිරය එතරම් පැරණි නොවූවත් මහනුවර යුගයේ ලක්ෂණ පෙන්වන හිඳි බුදු පිළිම වහන්සේ නමක්ද දැකගත හැකියි.
එසේම දාගැබේ මලසුන්ගෙයක තබා වන්දනා කරන සිරිපතුලක්ද දැක ගත හැක. බුද්ධ ප්‍රතිමා නිර්මාණය නොකෙරුණු මුල්කාලීනව බුදුන් වහන්සේ සංකේතවත් කිරීමට සිරි පතුල, බෝධිය, වජ්‍රාසනය වැනි දෑ භාවිතා වුණු අතර මේ සිරි පතුලද එවැන්නකි.
මේ හැරුණු කොට දාගැබ් මළුව තුළ හිටි පිළිමයක කොටස් මෙන්ම සෙල්ලිපි කීපයක්ද දැකගත හැකි වන අතර ඒ අතරින් වැදගත් සෙල්ලිපියක් වන්නේ කිත්සිරිමෙවන් කැලණි විහාර ලිපියයි.
මේ ලිපිය ආගමික මෙන්ම දේශපාලනික අතිනුත් වැදගත් වන ලිපියක් බවයි විද්වතුන්ගේ මතය වෙන්නේ. ලිපිය ගැන කෙටි විස්තරයක් දැක්වුවොත් කොටස් දෙකකින් යුක්ත වන මේ ලිපියේ පළමු කොටසේ විහාරයේ කරන ලද ප්‍රතිසංස්කරණ කටයුතු දිගු පේළි 51 කින් දක්වනවා.
දෙවෙනි කොටසේ මේ පින්කමට බාධා පමුණුවන්නන් අපායගාමී වන බව කෙටි පේළි 15 කින් දක්වන අතරම මේ පූජාව ඉර හඳ පවතින තුරු සාංඝික දේපළ වන බවත් පුද්ගලික පරිහරණයට යොදා ගන්නවුන් බල්ලන් හා කපුටන් වන බව සංකේතවලින් දක්වා තිබෙනවා.
ලිපියේ සාරාංශයක් දැක්වුවහොත් බුද්ධ වර්ෂ 1887 දී ගඟතලාකරඹවලාන් පරපුරෙන් පැමිණි විල්ගම්මුල හිමියන් කිත්සිරිමේ රජ දවස සිට බන්ධු පරම්පරාවෙන් දස වෙනුව තමන්ට හිමිවුණු කිත්සිරිමෙවන් කැලණි විහාරය විශිෂ්ට වඤ්චී පරපුරෙන් පැමිණි නිශ්ශංක අළගක්කෝණාර අමාත්‍යතුමාගේ පරපුරේ අළගක්කෝණාර අමාත්‍යතුමාගේ අනුග්‍රහයෙන් ජරාවාස වී තිබුණු දාගැබ, විහාර ගෙය, බෝධි ප්‍රාකාරය පිළිසකර කළ බවත් විහාරයේ නඩත්තුවට කුඹුරු පූජා කළ බවත් විල්ගම්මුල හිමියන්ට රාත්‍රි කාලයේ බණ කීමෙන් රජු පූජා කළ දාස දාසීන් මේ විහාරයේ කටයුතු සඳහා පූජා කළ බවත් කියවෙනවා.
මේ පිංකමට බාධා පමුණුවන්නන් අපායගාමී වන බවත් අවසාන වශයෙන් ඉර හඳ පවතින තුරු සාංඝික වන මේ දේපළ පුද්ගලික පරිහරණයට යොදා ගන්නවුන් බලු කපුටන් වන බවත් දක්වා තිබෙනවා.
මූලිකව මේ ලිපිය තුළ ඒ වනවිට රාජ්‍යත්වය හිමිව තිබුණු IV බුවනෙකබාහු රජතුමා ගැන සඳහන් නොවීමෙන් රජුගේ බලය නොපිළිගත් ප්‍රාදේශීය නායකයෙක් පිළිබඳ අදහසක් ගත හැකි අතර ගම්පොළ යුගයේ දේශපාලනික අතින් විශාල බලයක් හිමිව තිබුණු අළගක්කෝණාර පරපුර ගැනද විස්තරයක් හමුවෙනවා.
විශේෂයෙන් එකල භික්ෂූන් වහන්සේලාට බණ කීම වෙනුවෙන් සේවක සේවිකාවන් පූජා කළ බවත් පෙනෙන අතර සතර දිසාවෙන්ම පැමිණි නොපැමිණි සංඝයාට යනුවෙන් පැවති සාමූහික දේපළ ක්‍රමය වෙනුවට ගුරු ශිෂ්‍ය පරම්පරාවෙන් හෝ ඤාති පරම්පරාවෙන් විහාරවල හිමිකාරීත්වය ලැබීමෙන් එකල සංඝයා වහන්සේලා විනය නීති ඉක්මවා යමින් තිබීමක්ද දැකගත හැකියි.
මෙවැනි කරුණු රැසක්ම මේ ලිපියෙන් හෙළිදරව් වීම තුළින් මේ ලිපියේ ඇති වටිනාකම මොනවට පැහැදිලිය.
වර්තමානය වන විට මේ පුදබිම තුළ නව ඉදිකිරීම් ලෙස ධර්ම ශාලාවක් මෙන්ම බෝධි ප්‍රාකාරයක්ද දැකගත හැකියි. ඉඩක් ලැබුණු විටෙක ඔබත් මේ ස්ථානය වන්දනා කරන්නට යන්න.
මේ ස්ථූපය වන්දනා කරන ගාථාව වෙන්නේ
සද්ධාය යාය මණිඅක්ඛික නාගරාජා
චේතිං ආකාසිවර අන්තරවාසකංයං
යස්මිං නිධාය මුනිනො තමනුස්සරන්තෝ
වන්දාමි කිත්තිසිරි සව්හය ථූපරාජං
චේතිං ආකාසිවර අන්තරවාසකංයං
යස්මිං නිධාය මුනිනො තමනුස්සරන්තෝ
වන්දාමි කිත්තිසිරි සව්හය ථූපරාජං
කිත්සිරිමෙවන් කැලණි විහාරයේ තවත් ඡායාරූප බලන්න මෙතන කොටන්න
ප.ලි.: මේ ලිපිය ලියද්දී කිත්සිරිමෙවන් කැලණි විහාර ලිපිය පිළිබඳව කරුණු උපුටා ගත්තේ මෑතකදී දැයෙන් සමුගත් මහැදුරු මැන්දිස් රෝහණදීරයන්ගේ මහාසාමි සංඝරාජ පරපුර කෘතියෙන්. ලාංකේය ඉතිහාසය අධ්‍යනයේලා එතුමන් කළ මෙහෙවර අනගිභවනීයයි. එතුමන්ට නිවන් සුව අත්වේවායි පතමු.......
ස්තුති අයියේ දැනුවත් කළාට...
ReplyDeleteඔය පැත්තට ආපු ගමන් පන්සල බලන්න යනවා...
මම් පොඩි කාලේ නම් එගොඩ කැළණියේ පාලමක් තිබ්බේ නෑ. ඔරුවකින් තමයි ගියේ. දැන් පාලමක් තියෙන හන්දා යන්නත් ලේසියි. දවසක ගිහින්ම බලන්න ඕනා. මම ගිහින්ම නෑ.
ReplyDeleteකලින් අහලා තිබුණා. මේ ලිපිය කියවීමෙන් පසු ගිහින් වන්දනා කරන්න, නරඹන්න ආසා හිතුනා. ස්තූතියි මල්ලී
ReplyDeleteමේ ලිපියට නම් බොහොම ස්තුතියි මල්ලි . බුදු රදුන් සැබෑවටම වැඩියේ එගේද කැලණියට බවත් මතයක් තියනවා . අපි පොඩි කාලේ පෙරහැර කාලෙට පාරු පාලමක් දානවා ගඟ හරහා . ඒත් එක වරයි මන් ගිහින් තියෙන්නේ . පහසුවෙන් යන්න බැරි නිසාම කිත්සිරිමෙවන් කැලණිය මගේ හිතට ගෙනාවේ ගුප්ත වස්තුවක් වගේ හැඟීමක් . දැන් නම් රූන් ගාල ගියහැකි නේද .
ReplyDeleteඅපි ඔය ලඟ හරියෙ ජීවත් උනත් මෙතරම් විස්තර දන්නේ නෑ, හරිම ප්‍රයොජනයි.
ReplyDeleteරහස් පරික්ෂකයා
ReplyDeleteමලයා මේ පැත්තට නෙමෙයිනේ ගෙන්දගම් පොළව පැත්තටනේ ගියේ. ඒ කොහොම වුණත් පුලුවන් වෙලාවක ඇවිත් යන්න එන්න. එන දවසක් කියන්න පුලුවන් වුණොත් මාත් එන්නම්
මධුරංග
ඔව් අයියා ඉස්සරම පාලම් පාරුවකින් තමා එගොඩ මෙගොඩ ගියේ. පෙරහැර කාලෙට විතරක් බෝට්ටු ගොඩක් එක පෙලට තියලා ලෑලි පාලම්ක් හැදුවා. අන්තිමට චින්තනෙන් හොඳට පාලම හැදුවා.......
හරී - පිණිපළස
ඔව් අක්කේ ලංකාවට ආපු වෙලාවක අනිවා බලන්න යන්න. මේ වගේ ප්‍රසිද්ධ පන්සල් ගාව තියෙන වැදගත් තැන් තියෙනවා ඒත් ඒවා එච්චර ජනප්‍රිය නැති එක තමා වැඩේ.......
Bindi
මාත් පොඩි කාලේ එක පාරක් පාලම් පාරුවෙන් ගියා මතකයි අක්කේ. ඊට පස්සේ අලුත් පාලම දැම්මට පස්සේ තමා ගියේ. අපිට මේ අවුරුද්දෙදී ගම්පළ යුගයේ ඉතිහාසය උගන්වපු නිසා ඒකටත් අදාළ කිත්සිරිමෙවන් කැලණි විහාර ලිපිය මේ පන්සලේ පිහිටලා තියෙන නිසා තමා අපිත් ගියේ
Dayal Bathee
ප්‍රයෝජනයක් වුණා නම් සතුටුයි. මේ ළඟපාත තියෙන තවත් වටිනා කියන තැන් ගැන ඉස්සරහට කියන්නම්
හෆොයි මේ ආයිත් ලියල තියෙන්නේ. හොඳයි බොහොම සතුටුයි.. මන් කීපවතාවක් ආව මොකුත් නෑ කියල බැන බැන ගියා..
ReplyDeleteසරත් ලංකාප්‍රිය
ReplyDeleteබොහොම ස්තුතියි මේ පැත්තේ ඇවිත් යන්න ආවාට :)
වටිනා ලිපියක්..
ReplyDeleteනිෂ්
Deleteස්තුතියි. තවත් වටිනා ලිපි ඉදිරියට.........
අපි බලන් ඉන්නවා....
Deleteනිෂ්
Deleteස්තුතියි ස්තුතියි
වටිනා ලිපියක් හසිත අයියේ .. :)
ReplyDelete@ කවි ලියන කින්නරී
Deleteස්තුති නඟා. ඉස්සරහටත් මේ පැත්තේ එන්නකෝ
ඉතිහාසය ගැන ඔබේ දැනුම නම් ඉතාම අගය කළ යුතුයි හසිත..පුවත් පත් වලටත් ලියනවද?
ReplyDelete@ උමා
Deleteස්තුති.
පුවත්පත්වලට තාම නම් ලියලා නැහැ. ඉස්සරහට ලියන්න බලාපොරොත්තුවක් තියෙනවා. බලමුකෝ :)
ඉතිහාසෙට ආදරය කරනු ලබන ඔබ වැනි අය නේ රටට වාසනාවකි
ReplyDelete@ ruwan ranasinhe
Deleteස්තුතියි. ඒ ගුණය ඔබ තුළත් පෙනෙන්න තිබුණු බව කියන්නේ ලොකු සතුටකින්
අපේ හසිත සර් .ඔබතුමාගෙන් සරසවියේ ඉතිහාසය විෂය ඉගෙන්ගැනීමට ලැබීමත් අපට ලොකු භාග්‍යයක් ..💝
Deleteහොද ලිපියක්!
ReplyDeleteමේ ෆොටෝස් ඔයාම ගත්ත ඒවාද?
@ FOX Creationz
Deleteෆොටෝස් ගත්තේ මමම තමා. දවසක් කැලණි පන්සල ගාව තිබුණු ඔෆිස් එකකට වැඩකට ආපු ගමන් වෙලාව ඉතුරු වුණු නිසා තමා මේ පැත්තේ යන්න හිතුණේ
වැලිගම තියෙන ප්‍රතිමාව නම් මමත් බලල තියෙනවා... නියම පෝස්ට් එකක්...
ReplyDelete@ මාටියා
Deleteමම හිතන්නේ මේ ප්‍රතිචාරය අදාළ වෙන්නේ අවලෝකිතේශ්වර බෝසත් ප්‍රතිමාව ගැන මම ලියපු සටහනට වෙන්න ඕනේ. ස්තුතියි ඔබේ ප්‍රතිචාරයටත්
මිනිස්සු ගොඩාක්ම යන්නේ මෙගොඩ කෑළණියට. නමුත් හාස්කම් සහිත ස්ථානය මේගොඩ කෑළණිය......
ReplyDelete@ Anonymous October 21, 2012 at 7:26 PM
Deleteඒකට මුල් කාලයේ හේතුව නම් යන්න පාර නොතිබුණු නිසා. දැන් නම් පාලම තියෙන නිසා ඒ තත්වය අඩුයි. හාස්කම් සම්බන්ධව අදහස්ක් නම් නැහැ