Wednesday, December 15, 2010

මැද්දේගම රජ මහා විහාරය - Meddegama Raja Maha Viharaya

කළු පැහැති කවයෙන් දක්වලා තියෙන්නේ ඈතට පේන මැද්දේගම රජ මහා විහාරය

ලංකාව කියන පුංචි රටේ පුරාවිද්‍යා එක ප්‍රදේශයකට විතරක් සීමා වෙන්නේ නැතිව මුළු ලංකාව පුරාම පැතිරිලා තියෙන එක විශේෂ කාරණයක්. මේ විදිහට හැම ප්‍රදේශයක පුරාවිද්‍යා උරුමය පැතිරිලා තිබුණත් අපේ අවධානය වැඩි වශයෙන් යොමු නොවුණු ඒත් පුරාවිද්‍යාත්මක වගේම ඓතිහාසික වටිනාකම වැඩි ස්ථාන තියෙනවා. ඒ වගේ ස්ථානයක් ගැන තමා අද අවධානය යොමු කරන්නේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටලා තියෙන ඉපැරණි පූජනීය ස්ථානයක් විදිහට මැද්දේගම රජ මහා විහාරය හඳුන්වන්න පුලුවන්. කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරයෙන් කිරිඳිවැල මාර්ගයෙන්, ඒ වගේම කොළඹ - රත්නපුර මාර්ගයේ හංවැල්ල නගරයෙන් කිරිඳිවැල මාර්ගයේ ඇවිත් මැද්දේගම අමිතිරිගල මාර්ගයේ පැමිණීමෙන් මැද්දේගම රජ මහා විහාරයට පැමිණෙන්න පුලුවන්.

මැද්දේගම රජ මහා විහාරය පිහිටලා තියෙන මැද්දේගම ගමට ඒ නම ලැබුණු හැටි ගැන හොයලා බලද්දී ඒක බොහොම ඈතකට දිව යනවා. ඉස්සර කාලේ ලංකාව ත්‍රි සිංහලය ලෙස හඳුන්වන්පු කාලේ ලංකාව කොටස් තුනකට බෙදිලා තිබුණානේ රුහුණු, පිහිටි, මායා කියලා.

මේ මායා රටේ මැද හෙවත් මධ්‍යයේ පිහිටලා තිබුණු නිසා මැද්දේගම කියලා නම මේ ගමට හිමිවුණු බවයි දැනගන්න ලැබුණේ.

මැද්දේගම ඉතිහාසය ගැන හොයලා බලද්දී අනුරාධපුර යුගය දක්වාම මෙහි ඉතිහාසය දිව යනවා. ඒ කාලයේ මාතොට හෙවත් මන්නාරම් වරායේ ඉදන් මාගම්පුරයට දක්වා මිනිස්සු ගමන් කරපු මාර්ගය වැටිලා තිබුණා කියන්නේ මේ මැද්දේගම හරහායි.

ඒ වගේම අනුරාධපුරයේ රජකම් කළ දෙවනපෑතිස් රජතුමාගේ [ක්‍රි.පූ 307-267] රජතුමාගේ බාල සොහොයුරෙක් වුණු උත්තිය කුමාරයා මායා රට පාලකයා විදිහට ඒ කියන්නේ "මාපා" විදිහට කටයුතු කරද්දී මේ ප්‍රදේශයේ මාළිගාවක් ඉදි කරලා තිබුණා කියලත් ගම්වාසීන් කියනවා.

ඒ මාළිගාව පිහිටලා තිබ්බ ස්ථානයේ පස්සේ කාලයේ හිටපු අගමැති S.W.R.D. බණ්ඩාරනායක මැතුතිමන්ගේ පියා වුණු ශ්‍රීමත් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහ මුදලිතුමා නිවසක් 1887 වර්ෂයේදී ඉදි කරලා තියෙනවා. ඒ නිවසට නම විදිහට යොදලා තියෙන්නේ "මැද්දේගම මාළිගාව" කියලා.

ශ්‍රීමත් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහ මුදලිතුමා

ඒ කාලයේ ප්‍රභූවරුන්ගේ නිවෙස් හැඳින්වුණේ වලව් නමින්. උදාහරණ විදිහට කිව්වොත් බණ්ඩාරනායකවරුන්ගේ හොරගොල්ල වලව්ව, සේනානායකවරුන්ගේ බෝතලේ වලව්ව, කොතලාවලවරුන්ගේ කඳවල වලව්ව යනාදී විදිහට.

ඒත් මේ මැද්දේගම තනපු නිවස මැද්දේගම වලව්ව ලෙස නොව මැද්දේගම මාළිගාව විදිහට නම් කළේ උත්තිය මාපාණන්ගේ මාළිගාව තිබූ තැන ඉදි කරපු නිසා කියලයි ගම්වාසීන් කියන්නේ. [මැද්දේගම මාළිගාව ගැනත් ලිපියක් ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන අවසරය ලැබුණු ගමන් ඒකත් ඔයාලට කියවන්න පුලුවන්] පස්සේ උත්තිය මාපාණන් දෙවනපෑතිස් රජතුමාගේ අභාවයෙන් පස්සේ අනුරාධපුරයේ රාජ්‍යත්වයට පත්වෙනවා ක්‍රි.පූ 267 දී.

ඉතින් ඒ වගේම ඓතිහාසික පසුබිමක් තියෙන මැද්දේගම පිහිටි මැද්දේගම රාජ මහාවිහාරයේ තිබෙන එක් එක් විහාර අංගත් එක්ක ඒවායේ යටගියාව ගැනත් කතා කරමු.

රංවල දේවාලය

මේ විහාරය තියෙන්නේ කන්දකට වගේ වෙන්න නිසා පාමුල පිහිටලා තියෙන්නේ මේ ප්‍රදේශයේ ප්‍රාදේශීය දෙවියෙක් වෙන රංවල දෙවියෝ ඒත් නැත්නම් රංවල මුත්තා වෙනුවෙන් ඉදි කරලා තියෙන දේවාලය. මේ රංවල දෙවියෝ කියන්නේ සැබෑ ලෙසම ජීවත් වුණු මිනිසුන්ට උදව් උපකාර කරපු යහපත් අයෙක් කියලයි කියන්නේ.

කැලණි ගඟ ආසන්නයේ ජීවත් වුණු රංවල මුත්තා කැලණි ගඟේ ගල් කුළු තිබුණු තැන්වල පහන් පත්තු කරලා තියෙන කාරියක් හැමදාම කරලා තියෙනවා. ඒක නිසා ඔරුකාරයින් කිසිම කරදරයක් නැතිව ගඟේ ඉහළ පහළ යාත්‍රා කරලා තියෙනවා.

රංවල දෙවියෝ

දවසක් දා රංවල මුත්තාව හොයලා බලද්දී එයා මිය ගිහින් ඉන්නවා ගමේ මිනිස්සුන්ට දකින්න ලැබුණා. ඒත් ඔරුකාරයින්ට එදා රාත්‍රියෙත් ගල් කුළුවල පහන් පත්තු කරලා තියෙනවා දැකගන්න ලැබුණා. මේක නිසා මිනිස්සු රංවල මුත්තාව දේවත්වයෙන් වන්දනා කරන්න ආරම්භ කරලා තියෙනවා.

රංවල දෙවියන්ට බාර වූ විට පහන් දල්වන විදිහ

මැද්දේගම රජ මහා විහාරය පාමුල තිබුණු රංවල දේවාලය ගාවත් අමුතු ආකාරයට ගොක් කොළවලින් සකසපු කූඩයක පහන් දල්වලා තියෙනවා දැකගන්න පුලුවන් වුණා. රංවල දෙවියන්ට මොකක් හරි කාරණයකට බාර හාර වුණාම පහන් දල්වන්නේ ඒ විදිහටයි කියලා තමා දැනගන්න ලැබුණේ.

විහාරයට පිවිසෙන්න තියෙන්නේ ගල් පඩි තරණය කරලා. මේ විදිහට ගල් පඩි 100 කට ආසන්න ගණනක් අපිට නගින්න වුණා. මේ ගල්පඩි පෙළ 1930 දශකයේ වගේ තමා ඉදි කරලා තියෙන්නේ. ඒ ගල් පඩිවලට අනුග්‍රහය දක්වපු පිංවතුන්ගේ නම්, ගම් පවා මේවායේ කොටලා තියෙනවා දැකගන්න පුලුවන් වුණා.


ගල් පඩි තරණය කරලා මළුවකට ආපු අපිට දැකගන්න පුලුවන් වුණේ ගල් කුළක් පාමුල මැටි හා ගල් පාවිච්චි කරලා ඉදි කරලා තිබුණු මේ වෙනකොට ගරා වැටුණු කුටියක්. මේ කුටියේ හාමුදුරු නමක් මීට කාලෙකට කලින් භාවනා කරන්න යොදා ගත්තු බවත් පස්සේ කාලේ මේක ගරා වැටුණා කියලයි දැනගන්න හම්බුණේ.

ගරා වැටුණු කුටිය

එතනින් වම් පසට තියෙන පාරේ ගමන් කරද්දී කටාරම් කෙටුව ගල් ගුහාවක ඉදි කරලා තියෙන විහාර ගේ දැකගන්න පුලුවන්. අනුරාධපුර යුගයේ රජකම් කළ වළගම්බා රජ සමයේ [ක්‍රි.පූ 104-76] මේ කටාරම් කෙටුව බවයි කියන්නේ. නමුත් ඒ ගැන සෙල්ලිපි වැනි යමක් මේතාක් හමු නොවීම ගැටළුවක්.


කටාරම කොටා ඇති අයුරු
මේ විහාර ගෙය පසුකාලීන මහනුවර යුගයේදී ප්‍රතිසංස්කරණ කටයුතු කරලා තියෙනවා. මේ වෙනකොට විහාර ගෙයි සැතපෙන බුදු පිළිමයක්, ඒ දෙපස අග සවු දෙනම වන සැරියුත් හා මුගලන් මහ රහතන් වහන්සේලාගේ පිළිම, හිටි බුදු පිළිමයක්, හිඳි බුදු පිළිමයක් වගේම විෂ්ණු දේව ප්‍රතිමාවක් තිබෙනවා.


සැතපෙන බුදු පිළිම වහන්සේ

හිඳි බුදු පිළිම වහන්සේ

හිටි බුදු පිළිම වහන්සේ

විෂ්ණු දේව ප්‍රතිමාව

විහාරයේ බිතු සිතුවම් මෑත කාලයේ කරවූ බවක් තමයි පේන්න තියෙන්නේ. ඒ සිතුවම් අතර නලපාන ජාතකය ඒ වගේම රහතන් වහන්සේලාගේ සිතුවම් කීපයකුත් මේ විහාරයේ ඉතිහාසය ආරම්භ වන්නේ දෙවනපෑතිස් රජ සමයේ නිසාදෝ එතුමාගේ රුවකුත් සිතුවම් කරලා තියෙනවා.

දෙවනපෑතිස් රජතුමාගේ සිතුවම

එතනින් ඉහළට ඇති පඩි පෙළෙන් ගමන් කළාම මැද්දේගම රජ මහා විහාරයේ තිබෙන සුවිශේෂීම පූජනීය වස්තුව හමුවෙනවා. ඒ තමා දෙතිස් ඵල රූහ බෝධීන් වහන්සේලාගෙන් එක් බෝධීන් වහන්සේ නමක්.


දෙතිස් ඵල රූහ බෝධීන් වහන්සේලා ගැන කෙටි විස්තරයක් කළොත් අනුරාධපුර යුගයේ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ මෙරටට වැඩම කරවපු බුද්ධගයාවේ පිහිටි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වුණු ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරපුර මහමෙවුනා උයනේ රෝපණය කිරීමෙන් පසුව මුලින්ම හටගත්තු හට ගත්තා බෝ පැළ 8 ක් ඒවා හඳුන්වනවා "අෂ්ඨ ඵල රූහ බෝධි" නමින්.

ඉන්පසුව බෝ පැළ 32 ක් හටගන්නවා. ඒවා හඳුන්වන්නේ "දෙතිස් ඵල රූහ බෝධි" නමින්. මේ සියල්ල "සම සතළිස් බෝධි" ලෙස හඳුන්වනවා.

මේ සම සතළිස් බෝධීන් වහන්සේලා රෝපණය කිරීම ගැන ක්‍රි.ව 10 වන සියවසේ රජ කළ IV වන මිහිඳු රාජ සමයේදී උපතිස්ස හිමියන් රචනා කළ මහා බෝධි වංශයේ 14 වෙනි පරිච්ඡේදයේ දැක්වෙන්නේ මේ ලෙසින්. ඒ අතර මැද්දේගම යන නමද දැකගත හැකියි.

".......එයින් එක් බෝපැළයක් සමුද්රපතීරයෙහි සිටැ එන ගමනේ මහා බෝධින් වහන්සේ පිහිටි තැන දඹුලු තොටැ රෝපණය කෙළේ යැ. එකක් තවක්ක නම් බ්‍රාහ්මණ ග්‍රාමයෙහි පිහිටුවුයේ යැ. එකක් ථුපාරාමයෙහි පිහිටු වුයේ යැ. එකක් කසුන්ගිරි වෙහෙරැ පිහිටු වුයේ යැ. එකක් ප්‍රථමක චෛත්‍යස්ථානයෙහි පිහටුවුයේ යැ. එකක් සෑගිරියෙහි පිහිටුවුයේ යැ. එකක් රෝහණ ජනපදයෙහි කදරගම පිහිටුවුයේ යැ, එක් බෝපැලයක් එහි මැ සඳුන්ගමැ රෝපණය කැරැවුයේ යැ.

ඉක්බිත්තෙන් ඉතිරි ඵල සතර දෙනාගේ බිජුවටින් අට අට බැගින් උපන් දෙතිස් ඵලරුහ ශ්රීත මහා බෝධීන් වහන්සේ අතුරින් මල් වැස්සා වෙහෙරැ එක් ඵලරුහ බෝධියක් ද, එසේ මැ තන්ත්රිසමාල නම් වෙහෙරැ එකක් ද පිහිටියේ යැ, මුහුදු බඩ මහාජල්ලික නම් කෙවුල් ගමැ එක් බෝධියක් ද, මෙසේ මැ කොට්ටියාරම ද, පොලොන්නරුවෙහි ද, මාතලේ රුයිගම ද, රුහුණු රටැ මාගම ද, වීල්වලද, මහියඬ්ගණයෙහි ද, සේරුවිල සමීපයෙහි නයින් ගේ විල්ගම්වෙහෙරැ ද, ඌව බදුල්ලේ මුතියඬ්ගණයෙහි ද, එම රටැ බුත්හල හප්පෝරු වෙහෙරැ ද රුහුණු රටැ සිතුල්පවු වෙහෙරැ ද, තංගලු වෙහෙරට බටහිර දික්හි වු වනවාස වෙහෙරැ ද, වැලිගම් වෙහෙරැ ද, පරගොඩැ ද, මැද්දේගමැ ද, ගණේගමැ ද, කොත්මලේ පුසුල් පිටියෙහි ද, මායාරට වතුරේ ද, බෙලිගලැ ද, බෙල්ලන්විලැ ද, වඳුරව ද, වට්ටාරමේ රජමහාවිහාරයෙහි ද, සුලුගල්ලේ ද, රැස්වෙරුවේ ද, කථියාවෙහි ද, ගිරිබා වෙහෙරෙ ද, යාපවු සුන්දරගිරි පවුවෙහි ද, කසාගලු වෙහෙරෙහි ද, ඇඹලව රහත් ගල්වෙහෙරෙහි දැ”යි මෙසේ සමසතළිස් මහා බෝධි රාජයෝ බුදුරජාණන් වහන්නේ ගේ අධිෂ්ඨාන වු ලෙසට මැ මේ ශ්‍රී ලඬ්කාද්වීපයෙහි පිහිටියාහු යැ....."

මහා බෝධි වංශය කියවන්න කැමති නම් මෙතන කොටන්න.


මේ බෝධි වෘක්ෂය රෝපණය කර ඇති ආකාරයද විශේෂී වන්නේ එහි සතර කොන්වලටද පරිවාර බෝධි 4 ක් රෝපණය කර ඇති නිසායි. ඒ ලෙස ප්‍රධාන බෝධීන් වහන්සේ වටා පරිවාර බෝධින් වහන්සේලා රෝපණය කර ඇති ස්ථානයක් ලෙස මම දැකලා තියෙන්නේ අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය කර ඇති ස්ථානය පමණයි.

එසේම බෝධි වෘක්ෂයේ පැරණි බව නිසාම මේ වනවිට කඳ මැදින් දිරා ගොස් කුහරයක් සෑදී තිබීම නිසායි. ඇති ආකාරයකුත් දැකගන්න පුලුවන් වුණා. එයට පිළියමක් ලෙසදෝ බෝධි වෘක්ෂයේ කඳ වටා යකඩ පටියක් දමා තිබුණා.


අනුහස් ඇති බෝධි වෘක්ෂයක් ලෙස ගම්වාසීන් අතර මේ බෝධි වෘක්ෂය වන්දනාවට පාත්‍රවන අතර මෙහි ඇති ඉදිකිරීම් කීපයක්ම එලෙස විවිධ ප්‍රභූන් වූ බාර හාර වෙනුවෙන් ඉදිකළ ඒවා බවයි කියවෙන්නේ.

නිදහස් ශ්‍රී ලංකාව වෙනුවෙන් පැවති ප්‍රථම මැතිවරණයේ ජය පතා සේනානායක මැතිතුමා ඇතුළු පිරිස මෙහි බෝධි පූජාවක් පැවැත්වූ බවත්, එසේම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය තමන්ගේ මැතිවරණ ජය පතා කළ බාරයක් වෙනුවෙන් මෙහි ගල් බැම්මක් ඉදි කිරීමට දායක වුණු බවත්, හිටපු දියවඩන නිලමේවරයෙක් වෙන නිශ්ශංක විජයරත්න මැතිතුමාද කළ බෝධි ප්‍රාකාරයේ ඉදි කිරීමක්ද මෙහි දැකගන්න පුලුවන්.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ඉදි කරවූ ගල් බැම්ම

හිටපු දියවඩන නිලමේ නිශ්ශංක විජයරත්න මැතිතුමා ඉදි කරවූ බෝධි ප්‍රාකාරය

බෝ මළුව අසළම අළුතින් රෝපණය කර ඇති බෝ වෘක්ෂයක් මෙන්ම ඒ වටා අටවිසි බුදු පිළිම වහන්සේලා තැන්පත් කර ඇති ප්‍රාකාරයක් දැකගන්න පුලුවන්. ඒ ඉදිකිරීම කර ඇති ස්ථානයේ පැරණි ඉදිකිරීමක නටබුන් තිබූ බවත් මේ වනවිට එයින් ගල් කණුවල කොටස් 3 ක් පමණක් ඉතිරිව ඇති බවත් දැනගන්න ලැබුණා.

පැරණි ඉදිකිරීමේ ඉතිරිව ඇති ගල් කණුවක කොටසක්

කෙසේ නමුත් නව ඉදිකිරීම කිරීමේදී එම ගල් කණුවල කොටස් ඉවත් නොකර ඒ ඉදිකිරීම කර තිබීම ගැන සතුටු වෙන්න පුලුවන් යම්තාක් දුරකට හරි.

එසේම ඒ ආසන්නයේම වතුර පිරී තුබුණු පොකුණක් දැකගන්න පුලුවන් වුණා. එයින් කන්ද පාමුල ඇති දොළ පහරක් වෙතට ගමන් කළ හැකි රහස් මාර්ගයක් ඇති බවයි කියන්නේ.


මෑත කාලීන ඉදිකිරීමක් ලෙස චෛත්‍යරාජයාණන් වහන්සේ දැකගත හැකි අතර ඒ අසළත් සාමාන්‍යයෙන් විශාල පොකුණක් දැකගත හැකියි.

චෛත්‍යරාජයාණන් වහන්සේ

චෛත්‍යරාජයාණන් වහන්සේ ඉදිරිපස ඇති තරමක් විශාල පොකුණ

අනුරාධපුර යුගයට දක්වා දිවෙන ඉතිහාසයක් ඇති මැද්දේගම රජ මහා විහාරයේ ඓතිහාසික බව තහවුරු කරන්නට වැඩි වශයෙන් දායක වෙන්නේ ගම්මුන්ගේ මුඛ පරම්පරාගතව එන ජන කතා වගේම මහා බෝධිවංශය වැනි සාහිත්‍ය මූලාශ්‍ර කීපයක් පමණයි. මෙහි විධිමත්ව ගවේෂණයක් කළොත් බොහෝ කරුණු කාරණා සොයාගත හැකි බව මේ ගමනේදී අපිට කරුණු කියාදෙන්න එකතු වුණු අනුරුද්ධ තාඹුගල මිතුරාගේ අදහසයි.

මැද්දේගම රජ මහා විහාරයේ තවත් ඡායාරූප බලන්න ඕනේ නම් මෙතන කොටන්න.

අපේ විශ්වවිද්‍යාලයේ මිතුරෙක් වන අනුරුද්ධ තාඹුගලගේ ගෙදර අපි කීපදෙනෙක් ගිය වෙලාවක තමයි මේ ඉපැරණි ස්ථානයට යන්න අපිටත් හැකිවුණේ. ඒක නිසා අනුරුද්ධටත් එයාගේ පවුලේ අයටත් විශේෂ ස්තුතිය පුද කරන්න ඕනේ අපිව මේ ස්ථානයට රැගෙන යාම වගේම ආහාර පානවලින් සංග්‍රහ සත්කාර කිරීම සම්බන්ධව :)

Saturday, November 6, 2010

පොතුවිල් මුහුදු මහා විහාරය - Muhudu Maha Viaharaya


පොතුවිල් මුහුදු වෙරළ

ශ්‍රී ලංකාව වගේ පුරාවිද්‍යා උරුමයන්ගෙන් පොහොසත් වන රටවල් හරි දුලබයි කියලා තමා මට හිතෙන්නේ. ඒ විදිහට පුරාවිද්‍යා උරුමයන් විශාල වශයෙන් තිබ්බත් ඒවා සංරක්ෂණය කිරීමක් මතු පරම්පරාවලට දායාද කිරීමක් හරි විදිහකට වෙනවද කියලා සැක සහිතයි. ඉතින් පුරාවිද්‍යා උරුමයක් වගේම ආගමික අතිනුත් වැදගත් වෙන පුදබිමක් ගැන තමා කියන්න යන්නේ.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රදේශයේ පිහිටලා තියෙන මුහුදු මහා විහාරය ගැන තමා අද e - අටුවාවේ අවධානය යොමු වෙන්නේ.


Google maps මඟින් ගත් ප්‍රදේශයේ ඡායාරූපයක් [අරුණ රණවක මහතාගේ facebook ගිණුමෙන්]

ලංකාව අතීතයේ සිටි රජ දරුවෝ ලංකාව වටා පිහිටලා තිබුණු වරායවල්, තොටුපොළවල් ආශ්‍රිතව ආගමික ස්ථාන ඉදිකිරීමක් කරලා තියෙනවා. ඒකෙන් ඒ නැව්තොටවල්වලට එන විදේශිකයන්ට මේ රටේ තියෙන ආගම්, ඇදහීම් ගැන අවබෝධයක් ලබාදෙන්න උත්සාහයක් ගත්තා වෙන්න පුලුවන්.

උදාහරණ විදිහට ත්‍රිකුණාමලය හෙවත් අතීතයේ ගෝකණ්ණ විදිහට හැඳින්වුණු වරායේ තියෙන ගෝකණ්ණ විහාරය, දෙවිනුවර ප්‍රදේශයේ තියෙන උපුල්වන් දේවාලය, දඹකොළ පටුනේ තියෙන බෞද්ධ විහාරය වගේ ඒවා දක්වන්න පුලුවන්.

දෙවිනුවර උපුල්වන් දේවාලය

ඒ විදිහටම ඉදි කරපු ජූජනීය ස්ථානයක් විදිහට මේ මුහුදු මහා විහාරයත් දක්වන්න පුලුවන්. ජනප්‍රවාදවල එන විදිහට ක්‍රි.පූ 2 වන සියවසේදී විතර කැලණි රාජධානියට ඇතිවෙන සුනාමි තත්වයෙන් මිදෙන්න කැලණි රාජධානියේ පාලකයා වුණු කැලණිතිස්ස රජතුමා තමන්ගේ දූ කුමරිය වෙන දේවි කුමරියව මුහුදට බිලි දෙනවා.

කැලණිතිස්ස රජ දවස කැලණියට ආ සුනාමිය

ඒ කියන්නේ කුමාරිව ඔරුවක දාලා මුහුදට පා කරලා හරිනවා. ඒ විදිහට මුහුදට බිලි දෙන දේවි පා වෙලා ගිහින් ගොඩ බහින්නේ මේ මුහුදු මහා විහාරය පිහිටලා තියෙන ස්ථානයටයි.

කිරින්ද

නමුත් ප්‍රසිද්ධ මතය වෙන්නේ දකුණු පළාතේ පිහිටලා තියෙන කිරින්ද ප්‍රදේශයට තමා දේවි කුමාරි ගොඩ බැස්සේ කියලා. ඒත් මට හිතෙන දෙයක් තමා කිරින්ද වගේ ගල් කුළු හුඟාක් තියෙන මුහුදු රළ හුඟාක් තියෙන ස්ථානයකට ඔරුවක් කොහොමද එන්නේ කියලා.

ඉතින් හුඟාක් දුරට දේවි කුමාරි ගොඩ බැස්සේ මුහුදු මහා විහාරය පිහිටලා තියෙන ප්‍රදේශයට වෙන්න ඕනේ කියලා හිතෙන අනික් කාරණේ තමා ඒ ආසන්නයේ ලාහුගල ප්‍රදේශයේ පිහිටලා තියෙන මඟුල් මහා විහාරය කියන ස්ථානයේ තියෙන ගල්වලින් කරපු නිර්මාණය කාවන්තිස්ස විහාර මහ දේවි දෙදෙනාගේ විවාහයට භාවිත කරපු මඟුල් පෝරුව කියලා විශ්වාස කරන එක.



ලාහුගල මඟුල් මහා විහාරයේ ඇති කාවන්තිස්ස රජතුමාගේ විවාහයට යොදා ගත්තා යැයි කියන මඟුල් පෝරුව

ජනප්‍රවාද වගේම නොයෙක් මති මතාන්තර තිබුණත් පුරාවිද්‍යා කැණීම්වලින් පස්සේ දක්වන අදහස වෙන්නේ මේ සිද්ධස්ථානය ගොඩනගලා තියෙන්නේ මහා දාඨික මහානාග රජ දවසේ කියලා. ඒ කියන්නේ කාවන්තිස්ස රජ සමයෙන් වසර 200 කට විතර පස්සේ කියලා. ඒ වගේම මහාවංශයේ 34 වෙනි පරිච්ඡේදයේ රුහුණු රට ලංකා විහාරය විදිහට මේ විහාරය හඳුන්වලා තියෙනවා කියලා සොයාගෙන තියෙනවා.

මේ ස්ථානය වර්තමානයේදී සොයා ගෙන තියෙන්නේ 1960 දශකයේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතානයන් විසින්. එතුමා මේ භූමිය පුරාවිද්‍යා සංරක්ෂිතයක් බවට පත් කරලා තියෙනවා. ඒකත් එක්කම මේ විහාරය අමරපුර ශ්‍රී කල්‍යාණවංශ නිකායට අයත් පන්සලක් බවට පත්වෙලා තියෙනවා.

ඒ යටතේ මේ විහාරයේ මෑතකාලින් ඉතිහාසයේ ප්‍රථම විහාරාධිපති විදිහට කටයුතු කරලා තියෙන්නේ තංගල්ලේ සිරි සුනන්ද අනුනායක හිමිපාණන් වහන්සේයි.

වර්තමානයේ මේ විහාරස්ථානයේ තියෙන ගොඩනැගිලි ආදි දේ ගැන කතා කළොත් භික්ෂූන් වහන්සේලාගේ විනය කර්මවලට භාවිතා කරපු සීමා මාලකයක් වගේම මුහුදු වැල්ලෙන් වැසිගියපු චෛත්‍යයකුත් දැකගන්න පුලුවන්. තවත් පාදා නොගත්තු පුරාවස්තු රැසක් මේ බිම පුරා විසිරිලා තියෙනවා. ඒ වගේම විහාර මහා දේවිය පැමිණි ඔරුව මේ අසළ නිදන් කර ඇති බවකුත් කියවෙනවා.





පොතුවිල් මුහුදු මහා විහාරයේ පැරණි සීමා මාලකය

සීමා මාලකය ගැන කතා කළොත් හිටි බුදු පිළිමයක් වගේම තවත් හඳුනා නොගත්තු පිළිම දෙකකුත් සීමා මාලකයේ තැන්පත් කරලා තියෙනවා. ඒ ගැන මත කීපයක්ම පලවෙලා තියෙනවා. ඒවා අවලෝකිතේශ්වර බෝසත් පිළිම බව එක් මතයක්. තවත් මතයක් වෙන්නේ ඒවා කාවන්තිස්ස රජතුමාගෙයි විහාර මහා දේවියගෙයි පිළිම බවයි.

පැරණි සීමා මාලකය තුළ ඇති හිටි බුදු පිළිමය




පැරණි සීමා මාලකය තුළ ඇති හඳුනා නොගත් ප්‍රතිමා

මේ පිළිම බොහෝවිට බෝසත් පිළිම වන්නට පුළුවන්. ඒකට උදාහරණයක් විදිහට වැලිගම කුෂ්ඨරාජගල ඇති අවලෝකිතේශ්වර බෝසත් පිළිමයේ හා මේ අවසාන පිළිමයේ තියෙන සමානකම දක්වන්න පුලුවන්.

වැලිගම කුෂ්ඨරාජගල ඇති අවලෝකිතේශ්වර බෝසත් පිළිමය

ඒ වගේම මුහුදු වැල්ලෙන් වැසිලා තියෙන චෛත්‍යයේ මේ වනවිට දකින්න ලැබෙන්නේ ගල් කණු කීපයක් විතරයි. ඒකට හේතුව කිසියම් කණ්ඩායමක් විසින් ඒ ස්ථානය ඩෝසර් කිරීමයි.

ඩෝසර් කර ඇති චෛත්‍යයේ දැනට ඉතිරි කොටස්

මේ වෙනකොට මුහුදු මහා විහාරය මුහුණ දෙන විශාලම ගැටළුව වෙන්නේ නියමිත පරිදි සීමා ලකුණු නොකිරීම නිසා විවිධ කණ්ඩායම් පුරාවිද්‍යා රක්ෂිතයේ තමන්ගේ ගෙවල් තනාගෙන සිටීම. 1960 දශකයේ මුහුදු මහා විහාරය පුරාවිද්‍යා සංරක්ෂිතයක් බවට පත් කරද්දී අක්කර 73 ක් භූමියක් පැවති බවත් එය මේ වෙද්දී අක්කර 3 ක් දක්වා අඩුවෙලා තියෙනවා.

මේ විහාරයට අටුවාකරුට යන්න හැකිවුණේ මේ වසරේ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ වාර්ෂික චාරිකාව අම්පාර ප්‍රදේශය මූලික කරගෙන පිටත්වුණු නිසා. ඉතින් වර්තමාන මුහුදු මහා විහාරයේ විහාරාධිපති හිමියන් වෙන වරකාපොල ඉන්දසිරි හාමුදුරුවෝ විහාරය මුහුණ පාලා තියෙන ගැටළු ගැන සාධක ඇතිවම විස්තර කළා.


මේ විදිහට පුරාවිද්‍යා උරුමය වැනසෙන්නට ඉඩ නොදී ඒවා ආරක්ෂා කරන්න කටයුතු කරන එක හැමෝගෙම වගකීම වෙනවා.

ලිපිය ලියන්න පාදක වුණේ 2010 ඔක්තෝබර් 17 වෙනි ඉරිදා ලංකාදීප පුවත්පතේ පළවුණු "ඩෝසරයට යටවුණු මුහුදු මහා විහාරය" ලිපිය

පොතුවිල් මුහුදු මහා විහාරයේ තවත් ඡායාරූප බලන්න මෙතන කොටන්න.

Sunday, October 24, 2010

රාවණා යුගයෙන් ඇරඹෙන බොල්තුඹේ සමන් දේවාලය - Sumana Saman [Deity]

සුමන සමන් දෙවියන් කියලා පිළිගන්නේ ශ්‍රී පාද කන්දට අධිපතිව වැඩ වාසය කරන සෝවාන් වුණු ඒ වගේම ශ්‍රී ලාංකික බෞද්ධ දෙවි කෙනෙක්ව.

ඉතින් සුමන සමන් දේව සංකල්පය ගැන විවිධ මත කීපයක් දැක ගන්න පුලුවන්.

  • ලාංකික වංශකතාවල කියන්නේ කඳුකර ප්‍රදේශයේ දේව ගෝත්‍රික නායකයෙක් වුණු සුමන සමන් බුදු හාමුදුරුවෝ ප්‍රථම වරට ලංකාවට වැඩම කරපු අවස්ථාවේ ඒ කියන්නේ යක්ෂයින් දමනය කරන්න මහියංගණයට වැඩම කරපු අවස්ථාවේ දහම් අහලා සෝවාන් වුණු බවත්, මහියංගණ දාගැබ ඉදි කරපු බවත්, ඊට පස්සේ බුදු හාමුදුරුවෝ තුන්වෙනි වරට කැලණියට වැඩම කරපු අවස්ථාවේ සුමන සමන්ගේ ආරාධනයෙන් එයාගේ වාසස්ථානය වුණු සමනළ කන්දට වැඩම කරලා සිරි පතුල පිහිටෙව්වා කියන එක.
[රාම කුමරුට දකුණු පසින් ඉන්නේ ලක්ෂ්මණ කුමරු]

කොහොමින් කොහොම හරි මාතෘකාව සුමන සමන් දේව පුරාණය ගැන කතා කිරීම නෙමෙයි මාතෘකාවට ප්‍රවේශයක් ගන්න තමා ඒ ගැන කතා කළේ. මගේ උවමනාව ලංකාවේ තියෙන අප්‍රකට සුමන සමන් දේවාලයක් ගැන කතා කිරීම.

රත්නපුරේ පිහිටි සබරගමු මහ සමන් දේවාලය

සුමන සමන් දේවාල කියපුවාම අපේ මතකට නැගෙන්නේ රත්නපුරයේ පිහිටලා තියෙන සබරගමු මහ සමන් දේවාලයයි.

සිරිපා මළුවේ ඇති සමන් දේවාලය

ඒත් සිරිපා මළුවේ පිහිටා තිබෙන සමන් දේවාලය මුල් කරගෙන හතර දිශාවට සමන් දේවාල 4 ක් ඉදිකර තියෙන බවයි කියන්නේ. ඒ කියන්නේ රත්නපුරේ තියෙන සබරගමු මහ සමන් දේවාලය ඇරුණාම තවත් සමන් දේවාල 3 ක් තියෙනවා කියන එකනේ.

ඒ එක සමන් දේවාලයක් බලංගොඩ, බොල්තුඹේ ප්‍රදේශයේ පිහිටලා තියෙන්නේ. බලංගොඩ ඉදන් පින්නවල හරහා බගවන්තලාවට වැටිලා තියෙන පාරේ කිලෝමීටර් 14 ක් විතර ගියාම මේ කියන බොල්තුඹේ සමන් දේවාලයට එන්න පුලුවන්.

දේවාල බිම පේන විදිහ

මේ ප්‍රදේශයට භාවිතා වෙන බොල්තුඹේ කියන ග්‍රාම නාමය හැදුණු ආකාරය ගැන මත 2 ක් දැකගන්න පුලුවන්. එකක් තමා මේ දේවාලය ආසන්නයේ තියෙන වෙල් යායේ අස්වැන්න ගත්තු එක් අවස්ථාවක බොල් තුඹක් [?] විතරක් ඉතුරු වෙලා තිබුණු නිසා බොල්තිඹේ කියලා ව්‍යවහාර වෙලා පස්සේ බොල්තුඹේ කියලා සකක් වුණා කියලා.


අනෙක් මතය අපි කතා කරන්න යන මාතෘකාවලට අදාළයි. ඒ මතය තමා රාමා රාවණා ගැටුමේදී රාම කුමරයා එවපු ඊතල පහරකින් රාවණා රජු මියගිය බවත් ඊතල පාර නිසා රාවණා රජුගේ හිස වලවේ ගඟ ආසන්නයේ තියෙන ඕලු ගංතොට ප්‍රදේශයේ වැටුණු බවත්, කවන්ධය බොල්තුඹේ දේවාලය පිහිටලා තියෙන බිමට වැටුණු බවත්ය.

ඉතින් ඒ ප්‍රදේශයේ මිනිස්සු හිස නැති රාවණා රජතුමාගේ කඳ කොටස විශාල පස් ගොඩක් දමා වැසූ බවත් ඒ නිසා බහලතුඹ නමින් ව්‍යවහාර වෙලා බොල්තුඹේ වුණා කියන එකයි.

රත්නපුර මහ සමන් දේවාලයේ වැඩසිටින මාළිගාව එයට සම්බන්ධ වෙන දික් ගෙය


බොල්තුඹේ සමන් දේවාලයේ වැඩසිටින මාළිගාව එයට සම්බන්ධ වෙන දික් ගෙය

මේ දේවාලයත් සබරගමුවේ මහ සමන් දේවාලයේ ආකෘතියටම සකස් කරපු එකක්. ඒ සඳහා මූලික වුණේ සීතාවක රාජසිංහ රජතුමා බවත් එතුමාගේ නියෝග පරිදි මෙම දේවාලයේ ගොඩනැගිලි හදලා ගම් බිම් පුදලා බොල්තුඹේ සමන් දේවාලය කියලා මේ දේවාලය නම් කරලා සබරගමු මහ සමන් දේවාලයට අයිති දේවාලයක් බවට පත් කරපු බව සබරගමු මහ සමන් දේවාලයේ පැරණි ලිපි ලේඛනවල දකින්න පුලුවන්.

ඒ වගේම සබරගමු මහ සමන් දේවාලයට පර සතුරු උවදුරක් වුණොත් දේවාභරණ වගේම වටිනා වස්තුව බොල්තුඹේ සමන් දේවාලයේ තැන්පත් කළ යුතුයි කියලා රජතුමා නියෝග කරලා ඉතාමත් ශක්තිමත් ආකාරයෙන් මේ දේවාලය සකස් කරා කියලා දක්වනවා.

ඒක නිසා බොල්තුඹේ සමන් දේවාලය සබරගමු මහ සමන් දේවාලයේ කඳුකර දේව ගබඩාව විදිහටත් හඳුන්වලා තියෙනවා. ඒ වගේම ඒ ප්‍රදේශවාසීන්ගේ මතය වෙන්නේ සමන් දෙවියන්ගේ අඩවිය වන ශ්‍රී පාදයේ ඉදන් ඉතාමත්ම ආසන්නයෙන් මේ දේවාලය පිහිටලා තියෙන නිසා සමන් දේව බැල්ම බොල්තුඹේ දේවාලයේ වැඩි බවයි.

නමුත් සීතාවක රාජසිංහ රජතුමාගේ කාලෙටත් බොහෝ කාලෙකට ඉස්සර ඉදන් මේ ස්ථානයේ දේවාලයක් තිබුණු බවත් එය රාවණා රජතුමා වෙනුවෙන් ඉදිකර තිබුණු බවත් ජනවහරේ දැක්වෙනවා. මේ ප්‍රදේශයට නම සෑදෙන්නත් මේ රාවණා රජතුමා මුල් වුණා කියලා මම මුලින් කිව්වේ. ඉතින් මේ ආසන්නයේ තියෙන දෙතනගල කන්ද ආසන්නයේ රාම රාවණ ගැටුම වුණු බවත් එය සිහිවීමට මේ දේවාලය කරවූ බව බොල්තුඹේ සමන් දේවාලයේ කපුරාළගේ යාතිකාවේ දැක්වෙනවා.

දේවාල බිමට පේන මීදුමෙන් වැහිලා තියෙන දෙතනගල කඳුවැටිය

ඒ වගේම මේ දේවාලයේ අභ්‍යන්තරයේ රාවණා රථය හා රාවණා රජුගේ කොඩිය තැන්පත් කරලා තියෙනවා කියලා කියනවා. දේවාලයේ තියෙන සාම්ප්‍රදායික චාරිත්‍රවලට අනුව එය කිසිවෙකුටත් නොපෙන්වන බවත් ඉංග්‍රීසි පාලන කාලේ සබරගමුවේ ආදායම් පරීක්ෂක නිලධාරියා දේවාලය පරීක්ෂා කරන්න ඇවිත් දේවාලයේ ඇති සියළුම භාණ්ඩ එළියට ගත් බවත් දේවාලය ඇතුළත තියෙන රාවණා රථය හා කොඩිය ඉවතට ගන්න ගිය බවත් එසේ කළොත් විපතක් වෙනවා කියලා කපු මහත්තයා සුදු නිලධාරියාට දන්වලා තියෙනවා.

නමුත් ඒවා නොතකා එම භාණ්ඩ එළියට ගත් බවත් ඒ අවස්ථාවේදීම හෙණ හතක් පුපුරා ගිහින් එක දිගට දවස් 7 ක් වැහැලා මේ සුදු නිලධාරියාට ආපසු යන්න බැරිව ඇතෙක් ගෙන්වලා ඇතා පිටින් ආපසු ගිය බවත් ඒ ඇතාගෙත් කරවටක් වෙනකම් වතුරෙන් ඒ ප්‍රදේශය යටවෙලා තිබුණු බවයි ජනප්‍රවාදවල කියන්නේ.

රාවණා කොඩියට සමානව සකසපු කොඩියක්

කොහොම වෙතත් මේ වෙද්දී රාවණා රජතුමාගේ රුවක් තියෙන කොඩියක් මේ දේවාලයේ වගේම සොරගුණේ, උග්ගල් අළුත් නුවර දේවාලවල පෙරහැරවල්වලදී රැගෙන යාමක් කරනවා.

ඒ වගේම තාමත් මේ ප්‍රදේශයෙන් ඊතල හැඩයේ ලෝහ කැබලි හමුවෙන බවත් ඒවා දේවාලයට භාරදීමක් ගැමියන් සිදු කරනවා. ගැමියන් විශ්වාස කරන්නේ ඒවා රාම රාවණා යුද්ධයේදී වැටුණු ඊතල විදිහටයි.

වර්තමානය වෙද්දී දේවාල බිමේ තිබෙන ගොඩනැගිලි ගැන විස්තරයක් කළොත් ප්‍රධාන දේවාලය ඇතුළු වැඩසිටින මාළිගාව, ඒකට දකුණු දෙසින් චෛත්‍යය හා විහාර ගෙයත්, වම් පසින් පත්තිනි දේවාලයත්, පහත මළුවේ දේව රථය නවත්වන ස්ථානයත් සිංහාසන ගොඩනැගිල්ලත් පිහිටා තිබෙනවා.

පියගැට පෙළ සහ දඩුහැල

දඩුහැල පසුකර දික් ගෙයට පිවිසෙන තැන ඇති කැටයම් සහිත උළුවස්ස

දික් ගෙය

දික් ගෙයි ඇති කැටයම් සහිත ලී කඳන්

දික් ගෙයින් වැඩ සිටින මාළිගයට පිවිසෙන තැන ඇති කැටයම් සහිත උළුවස්ස


වැඩ සිටින මාළිගාවේ දේව පූජා හා යාතිකා කරන ස්ථානය


චෛත්‍යය හා විහාර ගෙය



පත්තිනි දේවාලය


ඇසළ පෙරහැර මංගල්‍යයේදී දේවාභරණ වැඩම කරවන රථය


ඉතින් මේ ඉපැරණි සමන් දේවාලයේ වාර්ෂිකව ඇසළ පෙරහැර මංගල්‍යයක් සෑම වසරකම අගෝස්තු මාසයේ පවත්වනවා. මේ ඇසළ පෙරහැරේ සුවිශේෂී ලක්ෂණයක් තමා අලි ඇතුන් මේ පෙරහැරේ ගමන් නොකිරීමයි. ඒක ගැන මටත් පුදුම හිතුණා. සමන් දෙවියන්ගේ වාහනය වෙන්නෙත් සුදු ඇතෙක් වෙන නිසා. ඒත් දැනගන්න ලැබුණේ අලි ඇතුන් දේවාල භූමියට අරගෙන ආපුවාම සන්සුන් කරන්න අමාරු විදිහට කුලප්පු වෙන බවයි.

පසුගිය වසරේ පැවැත්වුණු ඇසළ පෙරහැර මංගල්‍යයට සම්බන්ධ වෙන්න මට පුලුවන් වුණා. [ඒකට මුල්වුණේ මම ආගිය කතාවලදී හුඟාක් වෙලාවට කියන අපේ A/L Logic මිස්. එයාගේ පංතියට මේ දේවාලයේ බස්නායක නිලමේතුමාගේ දියණිය ආවා. ඒ යටතේ තමා අපිටත් අවස්ථාවක් හම්බුණේ මේ පෙරහැර මංගල්‍යයට සම්බන්ධ වෙන්න] වසර ගාණකට පස්සේ පැවැත්වුණු මේ ඇසළ පෙරහැර මංගල්‍යය පවත්වන්න දැඩි වෙහෙසක් ගත්තේ අළුතින් බස්නායක නිළමේවරයා විදිහට පත්වුණු මිගාර ජයසුන්දර මැතිතුමා.

ඔයාලටත් හැකියාවක්, වෙලාවක් තියෙන වෙලාවක බලන්න යන්න මේ බොල්තුඹේ ප්‍රදේශයේ පිහිටලා තියෙන ඓතිහාසික සුමන සමන් දේවාලය.

ලිපිය ලියන්න පාදක වුණේ,
  • 2007 මැයි 13 ඉරිදා ලක්බිම පුවත්පතේ "රාවණා රජුගේ දඬු මොණරය අදත් බලංගොඩ ප්‍රදේශයේ" ලිපිය
  • 2009 බොල්තුඹේ සමන් දේවාලයේ ඇසළ මහා පෙරහැර වෙනුවෙන් නිකුත් කළ සමරු කලාපය